පිළිකාව (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පළමුවෙන්ම කිව යුතු දේ තමයි පිළිකාව නැමැති වචනය ඇසූ පමණින් කිසිවෙක් ඒ වදනට බය වෙන්න එපා.
කෝවිඩ් ගැන ලංකාවේ අපට දැන ගන්න ලැබෙන්නෙ 2020 මාර්තු මාසයේ. මට මතකයි මාර්තු 19 රාත්රී සිට රජයෙන් දැනුම් දුන්නා නිවසින් පිටව නොයන ලෙස. මම ගෙදර ඉඳන් රැකියාවේ යෙදුනා ඔන් ලයින් ක්රමයට.
හැමදාම උදේට ආහාර සකස් කරලා ඉන් අනතුරුව කොම්පියුටර් එක ගාවට වෙලා වැඩ. මැයි මාසයේ මුල් දිනවල ක්රම ක්රමයෙන් මට ආහාර අරුචියක් දැනුනා. ඒ වගේම උදරය ඉදිරියට නෙරා එන්න පටන් ගත්තා. ඒ දවස්වල රෝහලකට යන්න තරම් ධෛර්යයක් තිබුණේ නෑ. කෝවිඩ් වලට බයේ. 😬 දැනුත් බයයි.
මැයි මාසයේ 14 වෙනිදා මගේ එකම සොහොයුරා මගේ බාලම නැගණිය සමග හදිසියේම මාව බලන්න ආවා. ඒ ආවේ මගේ අම්මා ගෙවත්තේ හැදුනු මුල්ම අඹ අස්වැන්නේ මගේ පංගුව ඔවුන් අත එවා තිබුණ හින්දා.
මගේ සොහොයුරාත්, සොහොයුරියත් මගේ ස්වරූපය දැකලා හොඳටම කලබල වෙලා, තවත් මොනවද බලාගෙන ඉන්නේ ඔයාට තේරෙන්නෙ නැද්ද කියලා මට ඇවිටිලි කලා රෝහලකට යන්න. ඒ වෙනකොට මටත් දැනිලා තිබුනේ බඩ ඉදිමීමේ වේදනාව දරාගන්න අපහසු බව. කොහොම හරි එදා පෞද්ගලික රෝහලක general physician විශේෂඥ වෛද්යවරියක් හමු වුනා. ඇය මට ප්රතිකාර නියම කරන්න කලින් වෛද්ය වාර්තා කිහිපයක් රැගෙන පසුදිනම ඇය හමුවන ලෙස පැවසූවා. පසුදින මගේ ultrasound වාර්තාව බලලා ඇය නිගමනය කලා වහාම ප්රසව හා නාරිවේද විශේෂඥ ශල්ය වෛද්යවරයෙක් හමුවිය යුතු බව. CA 125 රිපෝට් එක නිකුත් කරන්න දින දෙකක් ගතවන නිසා ඒක විතරයි අඩුවකට තිබුනේ. කෙසේ වෙතත් වෛද්යවරිය ඒ අවස්ථාවේ මට පිළිකා තත්ත්වයක් ඇති බව අනිත් වෛද්ය වාර්තා අනුව නිගමනය කලා. ඇය ඒ ගැන පැවසූ මොහොතේ මට ක්ෂණිකව හිතට සංවේගයක් දැනුනත් මගේ සොහොයුරියට ඇතිවූ කම්පනයත් සමග ඇගේ හඬා වැටීම දැකීමෙන් මට ලොකු ආත්ම ශක්තියක් ඇති උනා . මම හිතුවා දැන් තමයි මම වැඩියෙන්ම ධෛර්යමත් වෙන්න ඕන. ඒ හින්දා මට ආදරය කරන හැමෝගෙන්ම ඉල්ලුවේ මා ඉදිරිපිට කම්පා නොවී කඳුළු නොපෙන්වා සිටින ලෙසයි.
ප්රසව හා නාරිවේද විශේෂඥ ශල්ය වෛද්යවරයාගේ උපදෙස් මත එක්ස් රේ, CT Scan රිපෝට් රැගෙන ඔහු හමුවූ පසු මට ඇත්තේ high grade serous adenocarcinoma of fallopian tubes T3 තත්ත්වයේ පිළිකාවක් බව නිගමනය කලා. සාමාන්යයෙන් පළමුව කිමෝ තෙරපි 3ක් කර ඉන් පසුව ශල්යකර්මයකින් ගර්භාෂය ඉවත් කිරීම කලයුතු වුවත් මගේ වෛද්යවරයා ඒ අවස්ථාවේ කල හැකි උපරිමය කරන බව ඔහුගේ පැහැදිලි කිරීමේදී මට දැනුනා. කොහොම හරි මැයි 20 මම ශල්යකර්මයට සාර්ථකව මුහුණ දුන්නා. පපුවට අඟලක් විතර පහල සිට අඟල් 15ක ප්රමාණයක කැපුමක්. ලීටර් පහකට ආසන්නව වතුර පිරිලා තිබුණා. ඒ තුවාලයේ වේදනාව මම දැන් කියන්න යන්නේ නෑ. වෛද්ය උපදෙස් 100% ක්ම මම පිළිපැද්දා. සීනි බිංදුවක්වත් ගත්තේ නෑ. ක්ලිප් ගැලෙව්වේ ජුනි 7 දා. හරියටම මගේ උපන් දිනය දවසේ, ජූනි 10 chemotherapy පටන් ගත්තා. ශාරීරික වේදනාව , නින්ද නොයාම කෑම අරුචිය. බොහොම වෙහෙසකර කාලයක්. ඒ උනාට මම මගේ අම්මා ආදරයෙන් සකස් කරලා දෙන ආහාරය දෝතින්ම අරගෙන හිමීට කනවා. ඕනෑම කෙනෙකුට දිවේ මුල සිට අඟල් දෙකක් පමණ ඇති කොටසට පමණයි රස දැනෙන්නේ. මම මතක් කරගන්නවා අතීතයේ රසවත්ව තලු මර මර ඒ කෑම ජාති කාපු හැටි. එහෙම හිතලා කෑම කනවා. පිඟාන හිස් කරලා තමයි කෑම අවසන් කරන්නේ. ලංකාවේ හැදෙන දෙලුම්, කටු අනෝදා නිතරම කෑවා. තැඹිලි ගෙඩි හතරක් පහක් විතර දවසකට බිව්වා. සව් , බාර්ලි තම්බලා බිව්වා. කොළ කැඳ බිව්වා. හැමදාම ස්නානය කලා. උදේ හවස පිරිත් සජ්ඣායනය කලා. විශේෂයෙන්ම ගිරිමානන්ද සූත්රය නිරන්තරවම සජ්ඣායනය කලා. පොත් පත් කියෙව්වා. මනස නිරවුල්ව තබාගන්න උපකාරී වන පොත් වැඩිපුර කියෙව්වා. හැම තිස්සෙම සතිමත්ව සිටින්න උත්සාහ කලා. නින්ද නොයන රාත්රි කාලයේ සක්මන් භාවනාවේ යෙදුනා. මේ හැමදේකින්ම මට ධෛර්යයක් ලැබුණා වේදනාව තුනී කරගන්න. මම chemotherapy හයකට මුහුණ දුන්නා. පළමුවරම මගේ හිසකෙස් ගැලවී යන්න පටන් ගත්තා. මම තීරණය කළා විග් පාවිච්චි නොකරන්න. එතකොට අනිත්ය මෙනෙහි කරන්න පහසුයි. අනුකම්පාවෙන්, පුදුමෙන් වගේම අපුලෙන් අපි දිහා බලන අයට මෛත්රී වඩන්න පුරුදු වෙන්න. 🙂
අවශ්යම වෙලාවක තොප්පියක් හෝ ස්කාෆ් එකකින් හිස ආවරණය කරගන්න. අවට මිනිස්සු ගැන නොහිතා තමන් අදහන ආගම දහම අනුව කාලය ගත කරන්න. හැම අවස්ථාවකම තම රුධිර මට්ටම නියමිත ප්රමාණයට පවත්වා ගන්න අවශ්ය කරන ආහාර පාන ගනීමට උනන්දු වෙන්න. මම කිසිම වෙලාවක මට පිළිකාවක් තියෙනවා කියලා හිත හිතා ඒ ගැන කල්පනා කලේ නෑ. සමහර මගේ මිතුරු මිතුරියන් මාව දැකලා හඬමින් කතා කරන කොට මම හිනාවෙලා අහනවා ඇයි අඬන්නේ. මම මේ හොඳට ඉන්නේ කියලා. එයාලා සමුගෙන යන්නේ සිනාසෙමින්. අනිත් අයවත් ප්රබෝධමත් කරමින් ජීවත් වෙන්න. දැනෙන්න ජීවත් වෙන්න. 4වන කිමෝ තෙරපි එකෙන් පස්සේ මම හිතවතෙක්ගේ විවාහ මංගල්යය උත්සවයකටත් සහභාගී උනා වෛද්ය අවසරය අරගෙන.
මම සුවයෙන් බව හැම වෙලාවෙම හිතන්න පුරුදු වෙන්න. මගේ වෛද්යවරුන් ගැන වගේම ඖෂධ, ගන්නා ආහාර පාන ගැන මම බොහොම ලොකු විශ්වාසයකින් හිටියා. නොයෙකුත් ප්රතිකාර ක්රම සහ එක එක ස්ථාන වලට යන්න කියලා බොහොම දෙනෙක් කීවත් මම සිටියේ එකම ස්ථාවරයක. මම උපරිමයෙන් විශ්වාස කලා මම සුවවන බව. හිත සැහැල්ලුවෙන් සතුටින් සිටියා. මට ප්රතිකාර කල වෛද්යවරුන්ට මම හැම දාම පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මාහිතවත් සීලවන්ත ගුණවන්ත ස්වාමීන්වහන්සේලාටත් මගේ ආදරණීය පවුලේ හැම දෙනාමත්, බෝධි පූජා තබමින් සෙත් පැතූ සැමට. දෙවියන්ට යාඥා කල කතෝලික, ක්රිස්තියානි, හින්දු ආගමික මගේ යාළුවන්ට නිදුක් නීරෝගී චිර ජීවනය පතමි. සියලු දෙනා සුවපත් වෙත්වා.
🙏🙏🙏
උපුටා ගැනීම: Kanthi Tissakuttiarachchi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!