පිළිතුර (කෙටි කතාවකි) (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
සුධාරි අවදිවූයේ අම්මා “චාස්“ හඬ නගන ලෙස යමක් තෙල් බඳුනකට දමන හඬිනි. මඳ වේලාවකින් ආවේ ලූණු බැඳුමක සුවඳය. එක්වරම ඇගේ මතකයට ආවේ සහන්ය. සහන් විදේශගතවූ පසු අම්මා ලූණූ බැඳුම් සැදුම නවතා දැමුවේ තම සිත රිදෙනු ඇතැයි සිතා බව ඇය දනී.
අද සහන්ගේ තැන ගන්නට කෙනෙකු එන බැවින් ඔහු සඳහා අම්මා මෙලෙස ලුණු මිරිස්, ලූණු බැඳුම්, මාලු ඇඹුල් තියල් හා කැකුළු කිරිබත් ආදියෙන් සමන්විත තම අග්රගණ්ය පාතරාසය සකසන්නට ඇත.
අද මේනක හා ඔහුගේ ව්යාපාරික කටයුත්තක් සදහා සීතාවක යෑමට තමන්ට සිදුවේ. ඔහුගේ කිව යුතු වරදක් නැත. උපාධිදාරිනියක වන තමා තරම් උගත් නැතත් ඔහු ඉතා සාර්ථක ව්යාපාර රැසක හිමිකරුවකුගේ වැඩිමහල් පුතුය. පෙනුම වරදක් නැත.
තිස් වියට එළඹ සිටින තමන් කෙනෙකුට කැමති වීම පිළිබඳව උදාසීන වී ඇති බැවින් ඔහු හොඳද නරකද යන්නවත් ඇය ගැඹුරින් සිතා බලා නැති වීම වෙනම කාරණයකි.
——-
සරසවියේ පළමු වසරේම සහන් හා බැඳුණු පසු ඇයට වෙනත් පිරිමින් තේරුම් ගැනීමට හෝ ඔවුන් කොයි වාගේදැයි කල්පනා කිරීමට අවශ්ය වූයේ නැත.
සිව් වසරක් එක්ව සිටි සහන් යම් ආර්ථික ස්ථාවරකයට ඒමට ඩුබායි බලා ගියේ වසර දෙකක් පමණ එහි ගතකර ලංකාවට පැමිණ ඇය හා විවාහ වීමටය.
නැතහොත් ඔහු ඒ දිනවල කියූයේ එසේය. නමුත් සහන් වසරකින් ලංකාවට පැමිණ මහා මංගල්යයක් ගෙන සිඩ්නි නුවර වාසය කරන ඉතා ධනවත් සිංහල පවුලක දියණියක් විවාහ කරගෙන ඕස්ට්රේලියාවේ පදිංචියටම ගියේය.
ඒ තරුණිය ඔහුගේ ෆේස් බුක් මිතුරියක බවත් සරසවි සමයේ සිටම දෙදෙනා ෆේස් බුක් චැට් මඟින් හොද මිතුරන්ව සිටි බවත් සුධාරි දැනගත්තේ සියල්ල අවසන් වූ පසුවය.
——
දැන් වසර තුනක් ගතවී ඇති බැවින් දුකද ලැජ්ජාවද තරහද තනුක වී තිබේ. ඇයට තවමත් ඉවසීමට නොහැකි එකම දෙය සහන්ට තම දරුවකු ලෙස ලෙංගතුකමින් සැළකූ තම මව්පියන්ට අත්වූ දුකය.
තම සබඳතාවය නිවසට පවසා ටික දිනකින්ම තමා සමග සති අන්තයේ ගෙදර ආ සහන් අදරින් පිළිගෙන ඔවුහු තමන්ගේ දරුවකුට මෙන් ඔහුට සත්කාර කළෝය.
අම්මා ඔහුගේ ඝන ඩෙනිම් කලිසම් අතුල්ලා සෝදනුත් “අර පුතා කැමතිනේ“ කියා විශ්රාම වැටුප ගන්නා දවසට තාත්තා අසල කඩයෙන් ආප්ප හෝ කොත්තු පාර්සල් ගෙන එනුත් ඇයට අද මෙන් සිහි කළ හැක.
———
මව්පියන් අහිමිව තම වැඩිමහල් සොහොයුරාගේ පවුල සමග වාසය කළ සහන්ට මෙලෙස ආදරය කරන දෙමව්පියන් නිසා ඔහු තමන්ට තවත් බැඳෙනු ඇතැයි එකල සිතූ හැටි සුධාරිට මතකය.
ඉරිදා හවස නේවාසිකාගාරයේ කොල්ලන් හා කන්නට තැම්බූ බිත්තර දෙක තුනක්, අල බැඳුමක්, පරිප්පු හා බටු බැඳුම් ආදිය පිරි විශාල බත් මුල අතට දෙන අම්මාටද දාහක් හෝ දෙදාහක් මිට මොලවන තාත්තාටද ඔහු වැන්ඳේ තමන්ටත් වඩා පහත් වී පය අල්ලා බව ඇයට මතකය.
——
ඇතැම්විට මව්පිය ආදරය අහිමිව අසංවේදීව සැඳුණු සහන් තමා හා තම පවුල සරසවි කාලයට පහසුව තකා පමණක් ඇසුරු කරන්නට ඇති බව පසුව ඒ ගැන සිතද්දී ඇයට බොහෝ විට සිතුණු දෙයකි.
බැච් එකේ කෙල්ලන් අතරින් වැඩියෙන්ම පිළිවෙළ අත් අකුරු හා සටහන් තමන්ගේ බව සියළු දෙනා සරසවියට පිවිසී සති කිහිපයකින්ම දැනගත්හ. තමන් හා බැඳෙන්නට එයද හේතුවක් වන්නට ඇත. එයින් වඩාත්ම ප්රයෝජන අත් වූයේද ඔහුටය.
වියදම පිරිමසා ගැනීමටත් CIMA විභාග කිරීමටත් මුදල් සොයාගැනීමට ඔහු සාමාන්ය පෙළ දරුවන්ට ගණිත පන්ති කළ බැවින් බොහෝ විට ඔහු සවස් වරුවේ දේශනවලට ආවේ නැත.
නමුත් තමන් මුතු අකුරින් ලියන සටහන් පාඩම් කළ ඔහුට කිසිදිනක ලකුණු අඩු වූයේද නැත. ඔහු වෙනුවෙන් ඇය ඇගයීම්ද කණ්ඩායම් වැඩද සියල්ල කළේ ඔහුට පන්ති කිරීමට හා CIMA පන්ති යෑමට නිදහස ලබා දෙන අටියෙනි.
——-
සුධාරිට තවමත් ඉවසන්නටම බැරි කරුණ වන්නේ අවසානයේ තමන් අන්ධයකු මෙන් රැවටීමට හසුව තිබීමය. විවාහයෙන් පසුව සිඩ්නි නුවර කුමාර දිවියක් ගෙවන සහන්ව ඇතැම් විට ඇය දකින්නේ එහි යන සරසවි සගයන්ගේ ඡායාරූප වලිනි.
තමන්ට ඔහු කළ තිරිසන් රැවටීම දැන දැන ඔවුන් ඔහු හා පෙර පරිදිම මිතුරුව විසීම ඇයට අතීතයේ දැඩි වේදනාවක් ගෙන දුන්නද දැන් එය මිනිස් ස්වභාවය බව ඇය දනී.
ඕස්ට්රේලියාවේ ස්ථිර පදිංචිය හිමි, මෙල්බර්න් නගරයේ සුපිරි දිවියක් ගත කරන, වරප්රසාද ඇති සහන්ගේ මිතුරුකම ලංකාවේ සාමාන්ය පවුලක ඉපිද දැන් සාමාන්ය රජයේ රැකියාවක් කරන තමන්ගේ හිතවත්කමට වඩා කිහිප ගුණයකින් වටිනාකමක් ඇත්තකි.
දැන් ඇය සරසවි මතක සියල්ල ඈත් කර අම්මලා කියන දේකට කැමති වෙන්නම් යැයි උපේක්ෂාවෙන් ගත වන කාලයයි.
——
වෙනත් කිසිවකටත් වඩා ඇයට අවශ්ය සහන් කළ දෙය නිසා අකාලයේ වියපත් වූ මව්පියන්ට සැනසිල්ලක් දීමට ඉක්මනින් විවාහයකට එළඹීමටය.
වැඩි කලබලයක් නැති, මහා ලොකු බලාපොරොත්තු නැති තමාට සාමාන්ය තරමින් හොද ගතිගුණ ඇත්තකු සමග හොද ජීවිතයක් ගත කිරීමට පුලුවන් බව ඇය දනී.
මේනක කරළියට ආවේ සය වන මනාලයා ලෙසය. දැන් ගෙවල් දෙකේම ගමන් බිමන් කර මූලික ගැලපීම් කර අවසන්ය. මෙතෙක් ආ අය අතරින් ලොකු දොසක් නැති ඔහු හා බොහෝ විට විවාහ වන්නට තමන්ට සිදුවනු ඇත. අද සීතාවක ඉඩම බැලීමේ ගමනට තමා එක්වීමද තමන් දෙදෙනා දැන හදුනාගන්නට උපකාරී වනු පිණිස ගත් පියවරකි.
අද දිනයෙන් පසු බොහෝ විට මේනක පිළිබදව තීරණයක් ගැනීමට තමන්ට හැකි වනු ඇත.
——-
සුධාරි හැඳ පැළඳ මඟ බලා සිටින විටය මේනකගේ රථය පැමිණියේ. පැයකින් පමණ ඔවුන් පිටත් වූයේ මේනක වර්ණනා කර කර ආහාර ගැනීම නිසා සතුටින් සිටින අම්මාට අත වනමිනි.
කැස්බෑවේ සිට සීතාවකට එන තුරු විවිධ වල්පල් කතා කරමින් පැමිණි මේනක “ඇත්තටම නරක නැති“ බවය සුධාරිට සිතුණේ.
අතුරු පාරක කිලෝ මීටර් පහළවක් පමණ ගිය ඔවුන් පැමිණියේ නුවරඑළිය වැනි සෞම්ය ප්රදේශයකටය. කඩයක් අසල සිට බ්රෝකර්වරයා වන ගුණවීර නරියකු වැනි බව සුධාරිට ඔහු දුටු වනම සිතිණි. වාහනයේ පසුපස අසුනේ යන්තම් පස්ස තබාගෙනම එබී මේනක හා ඔහු කතා කළේම ගන්නට යන ඉඩමේ වටිනාකම ගැනය.
“අප්පෝ අහලා තියනවද සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගෙ මැණික් ඔරුවක් පෙරළුණා කියලා කැළණි ගඟේ?. හරියටම ඔය ඉඩමට එපා පැත්තේ. වැඩිය කවුරුත් දන්නෑ. හැබැයි ඔතන නාන්න ගිය එවුන්ට හිට නිල් හම්බවෙලා තියනවා. අප්පෝ අරගෙන මට බාර දෙන්න මං එක මාසෙන් ඔය ටික ගොඩ දාලා දෙන්නං අපේ කොල්ලො ටිකක් දාලා. අප්පොට තියෙන්නේ පොලිසිය මාසෙකට සේප් කරගන්න එකයි“
“අනේ මට මැණික් ගරන්න බෑ ගුණේ, මට ඉඩම ඕනෙ වෙන වැඩකටනේ.“
ක්ෂුද්ර ජල විදිලි බලාගාර සෑදීම මේනකගේ පියා ධනවතකු කළ ව්යාපාරය බව ඔහු පැමිණෙන විට කීවේය. මේනක දැන් තබන්නට යන්නේ එහි තවත් පියවරකි.
—–
මඟක වාහනය නවතා ගල් බොරළු පිරුණු පාරක පල්ලම් බසිද්දී සුධාරිට තැන් තුන හතරකදී මේනකගේ සහය පතන්නට සිදුවිය. නමුත් ගන්නා හුස්මේ පවා නැවුම් ගස් කොළංවල සුවඳ රැඳි මේ ගමන සුධාරි ඇත්තටම රස විඳින්නට පටන් ගත්තාය.
කොන්ක්රීට් වනන්තරයේ සිරවී සිටින තමා ගම්බද ප්රදේශයකට මේ පැමිණියේද සෑහෙන කලකින් බව ඇයට සිතිණි.
කුරුල්ලන්ගේ කිචි කිචිය ඉතා තීව්රය. දහවල් එකොළහ පමණ වුවත් කිසිදු අවු රස්නයක් නැත්තේ තුරු වියනේ ඝනකම හේතුවෙනි.
පුරාජේරු, පම්පෝරි කියවමින් ගුණවීර නඩේ ගුරා මෙන් ඉදිරියෙන් යන බැවින් තමන්ට නිදහසේ යෑමට හැක. අසල ගසකින් පිරුණු නමිනං පොකුරක් කඩා ගත් මේනක තමන් කෑ ගෙඩියේ ඇටය පිටුපා යන ගුණවීරගේ තට්ටයට එල්ල කර සන් කළේය.
“එපා අනේ“ සුධාරිට නවතාගත නොහැකිව සිනා ගියේද සෑහෙන කාලයකිනි.
—————————————–
තවත් ටික දුරක් යද්දී ගඟේ සිළි සිළිය ඇසෙන්නට විය. ගඟ ආසන්නයේම ඉවුරේ වූයේ කුඩා මැටි ගෙයකි. එහි වූ මැදි වියේ කාන්තාවක් ගුණවීරගේ ඇමතුමෙන් පිටතට පැමිණ මේනක දැක සතුටින් පිනා යන්නට වූවාය.
“අප්පේ මේ මේනක අප්පොනේ. ඉස්සර නං අප්පච්චි එක්ක ඇවිත් මාව දානවලට එහෙම එක්කං යනවා.“
“කොහොමද ලීලාවතී?“
මේනකද ඇසුවේ සතුටින් බව සුධාරිට ඔහුගේ කටහඩින්ම දැනුණි.
“මේ ලිලාවතීට ගහන්න උඳුවැල් හදන්න කාටවත් බෑ. ඉස්සර මායි අයියයි තාච්චිය දෙපැත්තේ වාඩි වෙනවා ලිලාවතීට උඳුවැල් හදලා ඉවරයක් වෙන්නෙ නෑ හදන හදන එක අපි කනවා. මම දන්නෑ ලීලාවතී මෙහෙ ඉන්නෙ කියලා“
“අනේ මේ ගුණවීරයියා කිව්වේ නෑනෙ අප්පෝ එන්නේ කියලා.”
“මොකද උඹ කිව්වා නං තොරං ගහන්නද?”
තේ බී යන්නට යැයි ලීලාවතීගේ පෙරැත්තය ප්රතික්ෂේප කළ ඔවුන් ගඟ පැත්තට යන විට ඇයද ඒ පස්සේ ඇදුණාය.
——-
පටු ගල් පඩි කිහිපයකින් බැසීමෙන් පසු හමුවන ගඟෙහි සැඬ පහර ඉතා තදය. මේනකගේ ව්යාපාරයට සරිලන ලක්ෂණ එහි තිබෙන බව ඔහු එන අතර කී විස්තර අනුව සුධාරිටද සිතිණි.
“ලීලාවතී අමාරු නැද්ද පාරෙන් මෙච්චර ඈත ඉන්නේ?”
“මගේ පොඩි පුතා සාලාවෙ ඉන්නෙ අප්පෝ, මට වදේ බෑ එහෙ නවතින්න එන්න. මට ඉතිං අර මෙතන දාලා” ඇය මඳ සිනහවක් නැගුවා මිස වාක්යය අවසන් කළේ නැත.
“ලීලාවතීගේ ළමයයි මනුස්සයයි මෙතනනේ ගහගෙන ගියේ අප්පෝ” කීවේ ගුණවීරය.
“කෙල්ලට අවුරුදු හතයි අප්පෝ මට පුතා හම්බවෙන්න ළඟ. මම නාලා ගොඩ ඇවිත් රෙදි වැණුවා කෙල්ලට බාල්දිය අරන් එන්න කියලා. සබන් කෑල්ල වතුරට වැටුණා කියලා නැමුණා විතරයි අප්පේ වැටුණා කෙල්ල. ඊළගට බලද්දි අර හරියේ. මට බඩත් උස්සගෙන පඩිවත් බහින්න බෑ. පුතාලගෙ තාත්තා උණ ගන්ඩ වගේ කියලා ගෙදර නිදි. මම කෑගහලා කෑගහලා ඇහැරවලා අනේ යවනකොට කෙල්ල පේන්නවත් නෑ. මේ මනුස්සයා පිස්සුවෙන් වගේ උඩ ඉදන්ම ගඟට පැන්නා. මම ළඟ පාත අය එක්ක එනකොට පහළටම ගිහින්. මෙතන හැඬ පාරත් එක්ක හොදට ඉන්න කෙනෙකුටවත් පොව්වන්න බෑ. ඇඟපත අමාරුවෙනුත් නේ හිටියේ.’ සුධාරි බලා සිටියේ කම්පාවෙනි. වසර ගණනක් කඳුළු නිම වන තුරු හඩා ඇති නිසාදෝ ලීලාවතී නැගුවේ වියළි සිනහවකි.
“මම ඉතිං ඉන්නකං මෙතන පෝයට පානක් හරි පත්තු කරනවා”.
“අනේ මට යන්තම් මතකයි අම්මලා මං පොඩි කාලෙ ඔහොම විස්තරයක් කියනවා” මේනකගේද ස්වරය මඳක් වෙනස් වී ඇති බව සුධාරිට දැනිණි.
——
ලීලාවතී නැවත ගෙදර ගියේ ඔවුන්ට තේ ලෑස්ති කිරීමටය. ගුණවීර නොනවත්වා කියවූවත් මේනක වැඩි අනුබලයක් නොදෙන බව සුධාරිට තේරිණි.
ඇය ගඟ දෙස බලා උන්නාය. ගල් පර වල වැදී සුදු පෙණ නගමින් ගඟ ගලා යයි. ඈත ඉවුරෙහි කුඩා ඔරුවකි. ගඟට නැමුණු ගස් අතුවල වැදෙමින් ගඟ ගලා යන්නේ ලතාවටය. දියට නැමී ඇති කොබෝලීල ගසක දම් පැහැ මල් පෙති ගඟට වැටී දම් පලසක් දිය මත මවා ඇත. සැඬ පහරින් ඔබ්බෙහි නිසල දියට එලෙස වැටෙන මල් පෙති ගඟ දිය හා පහළට යන්නේ ටික ටිකය.
“අපි යමු සුධාරි”
ඔවුන් නැවත ආවේ ලීලාවතී සූදානම් කර තිබූ අග්ගලාද පූවාලු කෙසෙල්ද කා කහට බීමෙන් අනතුරුවය. සුදු වැලි මිදුලේ බංකුවක ඉඳගෙන තේ බීමෙන් අනතුරුව ලීලාවතී හා නිවස තුළට ගිය මේනක පෙරැත්තයෙන් ඇගේ අත මුදලක් තබනු සුධාරීට පෙනුණි.
——
ඔවුන් ප්රධාන පාරට නැවත ගියේ මාර්ගය ඔස්සේ ඉහළට ගොස් තවත් ඉඩම් තුනක් බැලීමෙන් අනතුරුවය. නමුත් ඒ කිසිවකින් මේනක සතුටු නොවූ බව සුධාරිට වැටහිණි. ඔහුගේ අවශ්යතාවයට ගැළපෙන්නේ ලීලාවතීගේ ඉඩම පමණි. ගුණවීර නිවස අසලින් බස්වා අවිස්සාවේල්ලට එද්දි සුධාරිද සිටියේ දැඩි බඩගින්නෙනි. වෙලාවද හතරට ආසන්නය.
“බඩගිනි නේද? ඔන්න අම්මලට එහෙම කියන්න එපා, අර මිනිහා එක්ක ගියා කන්න අරන් දුන්නේ වත් නෑ කියලා”
ඔහු රිය නැවැත්වූයේ ෆ්රෙෂ් වේ නම් අවන්හලක් ළගය.
“බත් නම් නැතුව ඇති මේ වෙලාවට, හැබැයි මරු කෑමක් තියෙනවා එන්නකෝ”
මේනක මුදල් ගෙවා ගෙන ආවේ උණු රෝස් පාන් වලින් සෑදූ සැන්විච් කිහිපයකි. ඒවායේ ප්රණීත ලෙස සැකසූ සීනි සම්බල්, පොල් සම්බෝල, ඩෙවල් කළ කුකුල් මස් හා සොසේජස් බැදුම් පුරවා තිබුණු අතර දැඩි කුසගින්නේ සිටි සුධාරිද මහත් සේ රස විදිමින් ඒවා කන්නට පටන් ගත්තාය.
“මම මේ පැත්තේ ආවොත් රෝස් පාන් කාල තමයි යන්නේ”
“මාර රසයි නේද?”
ප්රණීත තේ වලින්ද සප්පායම් වී පිටත් වීමට පෙර මේනක එතැනින් රසකැවිලි පාර්සල් දෙකක් ගත්තේය.
“ආ ඔයාට’ ඔහු එකක් ඇයට දුන්නේ එසේ කියමිනි. “අම්මා කිව්වනේ ඔයා නිදිමරාගෙන පොත් බලනවා කියලා, රෑට පොත් බලනකොට හපන්න ජාති”
——-
පැය තුනකින් පමණ පසු නිවස ළග බසින විට සුධාරි සිතුවේ තමන් සෑහෙන කලකින් බොහෝ කතා කළ බවය. රැකියාව කරන තැනද සම වියේ කිසිවකු නොමැති බැවින් සරසවියෙන් පිටවූ පසුම මෙලෙස එකිනෙකට සම්බන්ධ නැති මාතෘකා ඔස්සේ කතා කළ වෙනත් දිනක් ඇයට මතක නැත.
“තේ ටිකක් බීලා යමු පුතා, ටිකක් හිටියොත් නම් රෑට කාලත් ගියෑකි’ ඉස්තෝප්පුවේ ඔවුන් එනතුරු සිටි තාත්තා කීවේය.
“නෑ අංකල්, අද යන්නම්. මට තව පොඩි වැඩක් කරගන්න තියෙනවා යන ගමන්” ඔහු සමුගෙන වාහනය නවත්වා ඇති තැනට ගියේ නිවසට යාමටය.
“ලොකු මාමත් එනවා කිව්වා රෑ වෙලා” තාත්තා කියන්නේ සුධාරිට ඇසෙන්නටය.
ලොකු මාමා එන්නේ තමන් සමග මේනක ගැන කතා කිරීමට බව සුධාරි දනී.
සාමාන්යයෙන් ඔවුන්ගේ නිවසේ වැදගත් තීරණ ගන්නේ ලොකු මාමා හා කතා කිරීමෙන් අනතුරුවය.
——–
මේනක යන දෙස මඳක් බලා සිටි සුධාරි මව්පියන්ට කිසිත් නොකියා නැවත මිදුලට බැස්සාය. මඳ අදුරක් පැතිරි අහසේ තරු එකින් එක දිලේ.
“මේනක, මොකද ලීලාවතීගේ ඉඩමට කරන්නේ?”
“මම ඒක ගන්නෑ සුධාරි, හොදටම වටින තැනක් තමයි. ගුණවීරයාගේ අර මැණික් ඔරුවේ කතාව නැතත් එතන මගේ වැඩේට අයිඩියල්. ඒත් ලීලාවතීගේ මූණ බලාගෙන අහන්නේ කොහොමද? අර දෙන්නා ගහගෙන ගිය තැන මට බිල්ඩිං ගහන්න බෑනෙ. වෙන තැනක් බලන්න කියනවා ගුණවීරට”
මේනක යන්නට හැරිණි.
තමන් තීරණයක් ගත යුත්තේ අම්මලා හා ලොකු මාමා සමග සාකච්ඡා කර බව සුධාරි දනී. තීරණයෙන් පසු එය මේනකගේ නිවසටද ඔහුටද දැනුම් දිය යුතුය.
නමුත් අද රැයද අපතේ යවන්නේ අපරාදේ යයි හැඟුමින් පිරි ඇගේ සිතට සිතිණි.
ඔහු ගෙනදුන් කඩචෝරු කමින් ඔහු හා දොඩමලු වී තවත් පැය ගණනක් ගත කළ යුතු බව සිත කියයි. තවත් කාලයක් එළෙස කතා කළ පසු මේනකගේ සුන්දර සිතේ අරුණලු තමාගේ අඳුරු හද ගැඹුරට වැටී එහිද නැවුම් කැකුළු පුබුදු වනු ඇති බව ඇය දනී.
“මේනක” මේනක හැරුණේ සිනා මුහුණෙනි.
දිනය මුළුල්ලේ කතා කළ ස්වරයට වඩා දැන් සුධාරි “මේනක’ කී අයුරු වෙනස්ය. සමීපය. ඔහු අසන්නටද පෙර පිළිතුර දෙන බව හගවන ස්වරයකි ඒ.
“හා”
උපුටා ගැනීම:  පවිත්රා අභයවර්ධන

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!