පිංතූර (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපි දැං ඉන්නෙ පුදුම විදියට පිංතූර ගන්න ලෝකෙක. ඒ ගන්න පිංතූර ඒ විදියටම සමාජ මාධ්ය වල පල කරලා ඒවට ලැබෙන ප්රතිචාර ගනං කරන්න පුරුදු වෙලා ඉන්න පිරිසට වයස් බේදයක් නෑ. උදේ නැගිටල දවස පටන් ගත්ත වෙලේ ඉදන් හැම ක්රයාවක් එක්කම සෙල්ෆියක් ගහල අප්ඩේට් කරන ලෝකෙක මේ ලියවිල්ල ඊට වඩා වෙනස් දෙයක් ගැනයි.
මම උසස්පෙළ අවදිය ගත කරන කොට මට අපුරු පෙම්වතියක් හිටිය. අපූරුයි කියල කියන්නේ එහෙම කෙනෙක් ඊට පෙර හමුවෙලා තිබුනෙත් නැවත හමුවුනෙත් නැති හින්දා. ටියුෂන් ඉවර වෙලා ගෙදර එන දුම්රිය සෙනග පිරිච්ච බස් එකේ කෙලවරම අසුන්, ඉස්කොලේ පංති කාමර ක්රීඩා පිට්ටනිය කෙළවඑ ඒ ප්රේමය ඉදිරියට ගෙනියන්න ඉඩ හදල දුන්නා. ඔන්න උසස්පෙළ ලියල අන්තිමම දවසේ අපි දෙන්නම බස්ටෑන්ඩ් එකට යනවා. වෙලාවට එදා වැස්සක් වැටුන. එකම කුඩය යට. ගයාමන් දිසානායක ලියපු, ක්රෂාන්ත එරන්ක ගයන මන්දාරම් අදුර මැදින් ගීතය ඇහෙනකොට මට මතක් වෙන්නේ ඒ චිත්රය,
“මග යන එන අයට හොරෙන් ඔබෙ දෑසට එබී බලා , කොපුලෙ වැහි බිදුවක රස බලන්න තිබුනා “
හාද හාද කමක් නැද්ද කියල හාදුවකින් ගත්ත කොපුලත වැටිච්ච වැහි බිංදුවේ ඇත්තම රසත් මතකයි. එදා එයාට ඕනැ වුනා පිංතූරයක් ගන්න. පාසැල් නිල ඇදුමෙන් හමු වුන ඇත්තම අන්තිම දවස නිසා. ඒ කාලේ නගරයේ තිබ්බ එච්චර ප්රසිද්ධ නොවිච්ච ෆොටෝ සාප්පුවකට ස්ටුඩියෝ එකකට ගොඩ වුනේ දෙන්නගෙම අතේ තිබ්බ සල්ලි එකතු කරල රුපියල් 180 ක් හදාගෙන. පොටො දෙකකට රුපියල් 350ක් වගේ කිව්ව කියලයි මට මතක. ඇඩ්වාන්ස් එක විදියට එකසිය අසූව දීල පොටෝ දෙකත් අරන් රිසිට් එක සාක්කුවෙ දාගෙන මම එළියට ආවේ තව දවස් තනකින් ඇවිත් ඉතුරු සල්ලි දීල පොටෝ දෙක ගන්න පොරොන්දුව එක්ක. එයා බස් එකට නැගලා ඒ බස් එක නොපෙනී යනකං ඉදලා මමත් බස් එකක නැග්ග. මට දවස් තුනකින් පොටෝ එක ගන්න එන්නත් බුරි වුනා. බස් දෙකක නැගල දෙපැත්තට ගිය විදියටම ඒ ප්රේමය කාළය විසින් දෙපැත්තට අරන් ගියා.
කාළය ගෙවිල ගිහින් මට දවසක් මුහුණු පොතින් මැසේජ් එකක් ආවා. Request එකකුත් එක්ක. අවුරුදු දහයකට විතර පස්සේ. කොහොමද , කොහෙද, මොකද කරන්නේ විස්තර ප්රශ්න ගොඩයි. අන්තිමේ එයා මගෙන් එක ප්රශ්නයක් ඇහුව.
” කෝ අර පොටෝ ටික මට ඒක ඕනි “
මම ඇත්තම කිව්වා.. දිග නිහඩ මොහොතකට පස්සේ එයා මෙහෙම කිව්ව.
” ඒ කාලේ ලස්සනම පොටෝ අපේ හිත් ඇතුලෙ විතරක්ම තියන කොට අගේ වැඩියි “
ඔය වචන ටික මගේ හිත ඔලුව ඇතුලෙ තැන්පත් වුනා. ටික දවසක් ගිහින් මට අපුරු කවියක් හමු වුනා මුහුණු පොතෙන්. හෙල්මලී ගුණතිලක ලියපු. ඒ කවිය මට මතක හිටින්න ඕනැ තරම් සධක තිබුනා. කවියෙ මාතෘකාව මුහුණු පොතේ ඉල්ලීමක්.
මුහුණු පොතේ ඉල්ලීමක්
(වැඩියෙන්ම ආදරේ දැනුණ වෙලාවල ගැණුනු පිංතූර පහක් පල කරන්න.)
මුහුණ නිකටෙන් ඔසවා
පිසදා කඳුළු බිඳුවක්
රළු මහපටැඟිල්ලෙන්…
“නිදිමත ඇස් – කඳුළු පිරුණාම ලස්සන!”
හිනැහෙමින් කියූ දින
පින්තූරයක් නැත
දුම්රියේ සිහිසුන් වූ දා
බිය වී බොහොමත්ම
වාරු කරගෙන ළය මතට
“බෙහෙත් ගමු, ප්රෙෂර් බලමු!”
කලබලෙන් කියූ දින
පින්තූරයක් නැත
පීරා නිමක් නැති කවි රැස
අමුණා එකින් එක පිටු මත
තනවා දී පොතක්,
මගේ විස්මය දැක
දෑස දල්වා සිනාසුණු දින
පින්තූරයක් නැත
නොවැදගත් දේකට
අමනාප වී බිඳකට
යන්නටම යන්නට ගොස්
“හිතෙන්නෙත් නැහැ යන්නට”
කියා යළි ඇවිදින්
ළඟට වී එරවූ දින
පින්තූරයක් නැත
තටු ඉරී තිබුණත්
ඉගිළිය යුතුම බව දුර
පහදා සෙනෙහසින්
ඉගිලෙන්න වරම් ලද දා
පස්වනක් සතුටින්
නළල සිඹ සු’පැතූ දින
පින්තූරයක් නැත.
ඇත්ත “අපේ ලස්සනම පෝටො අපේ හිත් ඇතුලෙ විතරක්ම තියන කොට අගේ වැඩියි “.
උපුටා ගැනීම: මිගාර බමුණුසිංහ

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!