“පිරිමි කඳුලු” (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“පිරිමි කඳුලු” ගැන වැඩි වැඩියෙන් සිදුවෙන කතාබහ දිහා බලාගෙන ඉඳලා මට මතක් වුනේ වෙනම කතාවක් වුනත්, මේවත් පිරිමි කඳුලු. මේක සත්ය කතාවක් (නම් ගම් පමණක් සඟවන).
ඒ වෙනකොට මම නැවතිලා හිටපු බෝඩිම ටිකක් වැදගත් පන්නයේ එකක්. තනි කාමර රැසක් තිබුණු බෝඩිම් සංකීර්ණයේ හිටපු බහුතරයක් වෛද්යවරු, ඉංජිනේරුවො සහ නීතිවේදියෝ (මම ඒ මොකෙක්වත් නෙමෙයි. ඒක නෙමෙයි කතාව).
මගේ කාමරයට එහා කාමරයේ නැවතිලා හිටපු වෛද්යතුමා ඉන් ඉවත්වෙලා ගිහින් සති කිහිපයක් ගතවුනා. මට තිබුණු කාර්යබහුලත්වයත් එක්ක ඒ කාමරේට අලුතින් එන්නෙ කවුද කියන කාරණය හොයන්න මම මහන්සි වුනේ නෑ. ඒත් එක හවසක මේ හයේ හතරේ මනුස්සයා, විවෘත කර තිබුණු මගෙ දොර ඉදිරියේ හිටගත්තා.
ඔහුට වයස අවුරුදු 50ක් විතර ඇති. කොණ්ඩෙ පිටිපස්සට පීරලයි තිබුනේ. මුහුණ පුරාම රැවුල කපලා. උඩුකය නිරුවත්. කොට කලිසමකුත් ඇඳලා. බෙල්ලේ තිබුනේ රත්තරන් සුරයක් එල්ලපු මහත රන් මාලයක්. මේ මනුස්සයා බඩ මැදට අතකුත් තියාගෙන මට හිනාවෙනවා.
බලාපොරොත්තු නොවුණු අමුත්තෙක් නිසා මම ප්රතිචාර දක්වන්න ඇත්තෙ නුරුස්නා බැල්මකින්. ඒ මගෙ හැටි. මම තනි බෝඩිමක හිටියෙ මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ඉන්න අවශ්ය නිසා. ඒත් කවුද දැන් මේ මනුස්සයා?
“මල්ලි…”
ඔහුගෙ ස්වරය කරුණාවන්ත එකක්. එහෙම නොවෙයි නම් කරුණාව ඉල්ලා සිටින පන්නයේ එකක්. “මල්ලි” කියන එක ඔහු කිව්වෙ අග අකුර ඇදලා බොහොම අහිංසක විදිහට. එතෙක් නුරුස්නා හැඟීමකින් ඔහු දිහා බලාගෙන හිටපු මගෙ මූණ වෙනස් වෙන්න ඇති.
“ඔව්,” මේ කොමාව දැම්මෙ මම ඒක කියපු ස්වරය ඔබට තේරෙන්න. මම “ඔව්” කිව්වෙ ඔහු ආවෙ මොකටද කියලා අහන්නා වාගේ ස්වරයකින්.
“මල්ලි… මම තමයි එහා කාමරේට අලුතින් ආවෙ මල්ලි… මම සුසන්ත. සුසන්ත ගාර්දිහේවා.”
මම ඒ නම කලින් අහලා තිබුනේ නෑ. මම හිනාවෙලා මාවත් ඔහුට හඳුන්වා දුන්නා. සුසන්ත, එහෙමත් නැත්නම් මම ඔහුට අමතපු විදිහට ‘සුසන්ත අයියා’ ව්යාපාරිකයෙක්. මම ඔහුව ඇත්තටම අඳුරගත්තෙ ඔහුට අයත් ව්යාපාර වල නම් ඇහුනයින් පස්සේ. ඒවායේ නම් මෙතන නොලියා ඉන්නෙ ඔහුට අවමානයක් නොකරන අදිටනින්.
ඔහු කවුද, මොනවද කරන්නෙ කියන ටික විතරක් ඇහුවත්, “ඔහු ඇයි බෝඩිමකට ආවෙ?” වගේ ප්රශ්න මම අහන්න ගියේ නෑ. අදාළ නැති දේවල්නෙ. ඒත් ඔහු බෝඩිම් ජීවිතයට අළුත් බව මට තේරුනේ ඔහුගෙ හැසිරීම නිසා.
ඔහු දවසකට තුන් හතර වතාවක් නම් බෝඩිම අතුගෑවා. බිම හේදුවා. දිනපතා රෙදි සෝදන යන්ත්රයෙන් රෙදි හේදුවා. උදේ 6.30-7.00 වෙද්දි පත්තර කිහිපයක් අරන් ආවා. එහෙව් පත්තර මිටිගණන් ඔහුගෙ කාමරය ඉදිරියේ ගොඩගැහුනා. ඔහුගේ කාමරේ එළියේ බිත්ති වල පවා ඔහු අලංකාර පින්තූර එල්ලුවා. මල් වැව්වා.
මේ ඔක්කොම අතරේ ඔහු දිනකට දුම්වැටි 15කට වඩා උරන හැටි මම දැක්කා. පුරුද්දට දුම්වැටි උරන්නෙකුගේ වගේ ඉරිතැලුණු මූණක් නොවෙයි ඔහුට තිබුනේ. ඒත් ඔහු එහෙම කළා. පිරිමි දුම්බොන්නේ මෝඩකමටම නොවෙයි. මානසික පීඩනය සැහැල්ලු කරගැනීමේ උපක්රමයක් විදියට. ඉන් ඇතිවෙන ශාරීරික දුබලතා ගණන් ගන්න බැරි තරමටම ඒ මානසික පීඩා වලින් ඔවුන් පෙළෙනවා. පාලනයක් නැතිව දුම් බොන්නෙ ඒකයි. ඒ අතින් දුම්පානය කරන්නන් ගැන මේ රට විසින් කියවගෙන තියෙන ආකාරය හරි ප්රාථමිකයි. ඔව්, ඒක ශරීරයට අහිතකරයි. ඒත් මානසික වේදනා ඊට වඩා බරයි.
දින කිහිපයක් ගතවෙනකොට බෝඩිම් ජීවිතයට අළුත්, ව්යාපාරික සුසන්ත මට ආරාධනයක් කළා.
“මල්ලි… හෙට මගෙ උපන් දිනේ මල්ලි. අපි හවස බියර් එකක් වගේ බොමුද?”
එදා දවස මටත් නිදහස් දවසක්. මම ඊට එකඟ වුනා.
“මල්ලිට කෑමට මොනවද ඕන මල්ලි? ඔක්කොම මං ගේන්නම්. උණුවෙන් ඕඩර් කරමු.”
එදා හවස මම ඔහුගේ කාමරයට ගියා. ඒක සුඛෝපභෝගි කාමරයක්. ඔහු ඒක ඉතාම පිරිසිදුවට තියාගෙන හිටියා. අඟල් 60කට වඩා විශාල තිරයක් තිබුණු රූපවාහිනියක් බිත්තියක එල්ලා තිබුනා. තිදෙනෙකුට විතර නිදහසේ නිදියන්න හැකි ලොකු ඇඳක් තිබුනා. කළුපාට දොර තුනේ අල්මාරියක් තිබුනා. ශීතකරණයක්, ඉලෙක්ට්රොනික උදුනක්, හෝම් තියටර් පද්ධතියක් කියන මේ හැමදේම ඒ කාමරේ ඇතුළෙ තිබුනා. එක දෙයක් හැර. ඔහු ඒ ගැන විවෘත වුනේ බියර් බෝතල් කිහිපයක් හිස් වුනායින් පස්සෙයි.
“මං මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙමෙයි මල්ලි. මට ලස්සන පවුලක් තිබුනා. අද ඒ ඔක්කොම නැතිවෙලා මල්ලි…”
‘මේ මොන මරාලයක්ද’ කියලා නොහිතා ඔහුට සවන් දුන්නු එක ගැන අද මම සතුටු වෙනවා. මම ඔහුට කතා කරන්න ඉඩදුන්නා.
“මං ගොඩක් දුකින් ඉන්න කෙනෙක් මල්ලි. මගෙ නෝනා හරිම හොඳ කෙනෙක්. එයාගෙ අම්මා එයාව රැවැට්ටුවා මල්ලි. එයා දැන් මගෙ ළඟ නෑ මල්ලි.”
වයස අවුරුදු 50 ඉක්මවපු මේ හයේ හතරේ ධනවත් මනුස්සයා අවුරුදු 15-16 යෞවනයෙක් වගේ ආදරේ ඉස්සරහ අසරණ වෙලා. ඔහු මට ඔහුගෙ දුරකතනයෙන් රූප පෙන්නන්න පටන් ගත්තා.
“මේ ඉන්නෙ එයා මල්ලි. ලස්සනයි නේද එයා? මං එයාට විතරයි ආදරේ මල්ලි. ඔයාට තේරෙනවනෙ. දේපල ඉඩකඩම් ඔක්කොම ලිව්වෙත් එයාට මල්ලි. එයාගෙ අම්මා තමයි මේ ඔක්කොම කරේ. එයා එහෙම නෑ මල්ලි. එයා අද වුනත් මං ළඟට එන්න ලෑස්තියි මල්ලි. එයා නරක කෙනෙක් නෙමෙයි.”
ඒක ආදරේ හැටි. කොච්චර ව්යාපාර අධිරාජ්යයක හිමිකරුවෙකු වුනත් ආදරේ ඉස්සරහ අන්ධ වෙන එක සිදුවෙන්න පුළුවන්. ආදරේ නරක නෑ, අන්ධ වීම? ඔබම තීරණය කරන්න. ඔහුගෙ කතාව තවම ඉවර නෑ.
“ආ, මේ ඉන්නෙ මගෙ කෙල්ල මල්ලි. අනේ කෙල්ලට තාම අවුරුදු 7යි. මට හැමදාම කෝල් කරනවා මල්ලි… දුවව මගෙ ළඟට ගන්න මට නඩු කියන්න වෙලා මල්ලි…”
ඔහුට ඇඬුම් එනවා. උපන්දින සාදයක් වෙන්න තිබුණු ඒ අවස්ථාව හරිම සංවේදී අවස්ථාවක් බවට පත්වුනා. මම කළේ අහගෙන ඉන්න එක විතරයි.
“හැබැයි මං මගෙ කෙල්ලව මං ළඟට ගන්නවා. ඕකුන්ට හොඳක් සිද්ධවෙන්නෙ නෑ මල්ලි මට මේ කරපු දේට. අපිට කිසිම ප්රශ්නයක් තිබුනෙ නෑ මල්ලි. අවුරුදු ගානක් ගිහිල්ලත් අපි සෙක්ස් කරෙත් පොඩිඋන් දෙන්නෙක් වගේ. අපි හරි ආදරෙන් හිටියෙ මල්ලි.”
“ලැජ්ජ වෙන්න ඕන නෑ මල්ලි මං මේ ඇත්ත කියන්නෙ. මගෙ ලස්සන පවුල උන් කඩා දැම්මා මල්ලි.”
“මට ඕන තරම් සල්ලි තිබුනා මල්ලි. මොනව තිබුනත් සතුට නැතුව වැඩක් තියෙනවද මල්ලි?”
ඔහු අඬනවා. පැය ගානක් ඔහුට ඔහුගෙ දුක කියන්න මම ඉඩ දුන්නා. අන්තිමට ඔහු පපුව අල්ලගෙන ඇඳේ වැතිරුනා.
“මේ, අපි එළියට යමු අයියෙ. සිගරට් එකක් බීලා එමු. කෝ යං”
පොඩි මතක් තිබුනත්, ඔහුවත් නැගිට්ටවගෙන පයින්ම නගරය පුරා ඇවිද්දා. බිත්තර රොටී කෑවා, ප්ලේන්ටී බිව්වා. ඒක ලොකු සැහැල්ලුවක් බව ඇත්ත. ඒත් ඔහුගෙ දුක නිවන ක්රමය ඒක නොවෙන බව මම දැනගෙන හිටියා.
මම තේරුම් ගත්තු විදියට සිද්ධිය වෙලා තියෙන්නේ ඔහු යුරෝපා සංචාරයක ගිහින් ඉන්න වෙලාවක. ඔහුගේ බිරිඳගේ පවුලේ අය (දේපලත් සම්පූර්ණයෙන්ම ඇයට ලියා තිබුණු නිසා) පොඩි කුමන්ත්රණයකින් දේපල වල බලය ලබාගන්න යොදපු උපක්රමයක් ගිහින් තිබුනේ මේ මනුස්සයාගෙයි, ඔහුගෙ බිරිඳගෙයි, දරුවගෙයි කර පිටින්. මොන තරම් පාපයක්ද…
එදායින් පස්සෙත් කිහිපවරක්ම ඔහුගෙ දුක අහන්න මට සිද්ධවුනා. ඔහු නඩුවාර වලට යද්දි මටත් කියලම ගියේ දරුවා ඔහුට ලැබෙන්න පතන්න කියන ගමන්. ප්රාර්ථනා ගැන ඔහු හරියට විශ්වාස කළා.
මාස කිහිපයකින් ඔහු බෝඩිම හැර ගිහින් තිබුනා. තිබුණු සියළු බඩු භාණ්ඩත් එක්කම. ඉන් කෙටි කාලෙකට පස්සේ ඔහුයි බිරිඳයි ආයෙත් එක්වුණු පුවත මට අහන්න ලැබුනා. මේ වෙනකොට ඔවුන් දෙන්නා ජීවත් වෙන්නෙ ආයෙත් එකම ගෙදරක.
සමහර මිනිස්සුන්ට “ආදරේ සහ සතුට ඉස්සරහ සැප සම්පත් නම් කෙතරම් නොවටනේද” කියලා මට හිතුනා. “ඒ ඉතින් තියෙන නිසානෙ” කියලත් කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.
ඒවගේම සමහර මිනිස්සුන්ට සැප සම්පත් ඉස්සරහ “ආදරේ නම් කෙතරම් නොවටනේද” කියලා මතක් වෙද්දි තමයි වාවන්න බැරි.
  උපුටා ගැනීම:  අසංක හදිරම්පෑල

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!