පිරිමි වෙස් ගෙන කාව්‍ය ශාස්ත්‍රය හැදෑරු ගජමන් නෝනා (චරිත)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
  • පිනවන දුටු දන සෑම
  • ගඟ ළඟ පිහිටි කදීම
  • තුරු පෙළ අවට සැදීම
  • යුත් සෙවනැල්
  • යන ඒ කුලෙ විදිලීම
  • විහඟුන් මත රැව් දීම
  • සුළඟින් අත් ලෙළදීම
  • ඇති හැමකල්
  • යන එන අය සැපසේ ම
  • එහි හිඳ ගිම් සැනසීම
  • දස දිග අතු විහිදීම
  • ගිමනෙ විසල්
  • දෙනිපිටියට ම ඉතාම
  • වටිනා මහ නුග දූම
  • බල සකි එහි සිත් සේම
  • නිලඹර දුල්
  • සැම වරදන මන නන්ද
  • පලබර පුලුපු උයන් ද
  • කෙත් වතු කුඹුරුවලින් ද
  • සැදි දෙපසේ
  • පෙම කරවන නිතියෙන් ද
  • සල්පිල් සහ ගෙවලින් ද
  • එහි සරණා මැතියෙන් ද
  • සැණකෙලි සේ
  • කවියර බඩු සිතියන් ද
  • දැන ගත් සිපි ඇදුරන් ද
  • සැදි දෙනිපිටිය නමින් ද
  • යුත් පියසේ
  • නුගතුර තුනු රුසිරෙන් ද
  • පලකර සක් දෙවියන් ද
  • පරසතු රුක විලසින් ද
  • නිබඳ දිසේ

ලංකාවේ ඉඳපු විශිෂ්ට කිවිඳියක වූ ගජමන් නෝනාගේ  දුර්ලභ විරිතකින් ලියූ ජනප්‍රිය කවි පන්තියක් මේ. කවියේ සඳහන් වන නුග රුක පිහිටලා තියෙන්නේ වැලිගමින් දෙණිපිටිය ගංගා තිලක විහාරය පසුකරල ටික දුරක ගමන් කරන විට හමුවන පොල් අතු මෝදර ගඟේ පාලම අසලයි.මේ කාව්‍ය හින්දම මේ නුග රුක ඓතිහාසික වටිනාකමක් උසුලනවා. කොහොම වුණත් අද වනවිට නම් ගජමන් නෝනාගේ කවි සිතුවිලි නිර්මාණයට පාදක වුණු ඒ නුග ගස නම් දකින්නට නැහැ. ඒ විශාල නුග ගසින් හැදුණු වෙනත් නුග ගසක් අද දැක ගත හැකියි.

නුග ගසේ විත්ති සොයාගෙන යන්නට ප්‍රථමයෙන් අපේ ගජමන් නෝනා කිවිඳිය ගැන පොඩ්ඩක් දැන ගත්තොත්  හොඳයි කියල හිතුණා. මොකද ඉහත කවි පබැදුමට පාදක වුණු නුග ගස මාතර දිස්ත්‍රික්කයේ වැලිගමට ආසන්නව තියෙන දෙණිපිටියෙ නේ. ඒත් රුහුණේ සුප්‍රසිද්ධ කිවිඳිය වූ ගජමන් නෝනාගේ උපන් ගම නම් දකුණු පළාත නොවෙයි. 1746 මාර්තු 10 වෙනිදා ඇය ඉපදුණේ කොල්ලුපිටියේ දී දෝන ඉසබෙලා කොරනේලියා නමින්. ඇය වයස අවුරුදු 13 ඉඳලම හොඳ කවිකාරියක් වුණා. දවසක් වතුර ගේන්න ළිඳට ගිහිල්ලා කළයට වතුර පුරවලා  තියලා ළමයි එක්ක සෙල්ලම් කළාලු මේ කුඩා දැරිය. සෙල්ලම් ඉවර කරලා ගෙදර එන්න බලද්දි කළය තිබුණේ නැති නිසා කළය හංගපු ජඩයට ඇහෙන්න මෙහෙම කිව්වලු.

  • පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
  • වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ
  • අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ
  • ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කළේ

ඉතින් කොල්ලුපිටියේ හිටපු ගජමන් පවුල මාතරට ගියේ ගජමන් ආරච්චිට ලැබුණු ආණ්ඩුවේ තනතුරක් නිසා . ගජමන් නෝනා වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවේ මාතර වේරගම්පිට රජ මහා විහාරයේ කරතොට ශ්‍රී ධම්මාරාම හාමුදුරුවන්ගෙන්.මේ ගැනත් රසවත් කතාවක් තියෙනවා.ඒ කාලයේ කාන්තා පාර්ශවයට භික්ෂූන් වහන්සේලාගෙන් අධ්‍යාපනය ලබන්නට අවසර හිමි වුණේ නැහැ. ඒත් ඉසබෙලාගේ කුඩා කාලයේ ඉඳලම තිබුණු කවි කීමේ හැකියාව දියුණු කරගන්න අවස්ථාවක් උදා කරලා දෙන්න ඕන කියල හිතපු ඇයගේ මාමා ඇයව පිරිමි ළමයෙකු විදියට වෙස් ගන්වා ගෙන පන්සලෙන් කාව්‍ය ශාස්ත්‍රය හැදෑරීමට යැව්වලු. පසුව තමන්ගේ අනන්‍යාතාවය ගුරු හාමුදුරුවන්ට කියල සමාවත් ගත්තලු.තරුණ වියට පත් වුණාම මැය ඉතාම සුන්දර රූප සොබාවකින් යුක්ත වුණා. ඉතින් ඇය වයස අවුරුදු 22 වන විට ගාල්ලේ තල්පේ මුහන්දිරම්  සමඟ විවාහ වෙනවා. අද වෙනකොට නම් මේ මුහන්දිරම් වලව්ව තිබුණු තැනක් වත් දකින්නට ලැබෙන්නේ නැහැ.

දැන් බලමු කොහොමද ගජමන් නෝනාට මේ නුග රුක හමුවෙන්නේ කියලා. ගජමන් නෝනා ඉඳපු කාලේ ඔය දැන් තියෙන ගාලු පාර තිබුණේ නෑ. ඒ කාලේ පාර තිබිල තියෙන්නේ මේ කියන දෙනිපිටියේ නුග රුක ගාවින්ලු. ඉතින් මේ අසලින් යන එන කරත්තකරුවන් හා මගියන් හැමදෙනාම ගිමන් නිවා ගන්නේ මෙතැනදිලු. ඒ අසලින් ගලා ගෙන යන ගඟෙන් නාලා හරකුන්ට වතුර පොවලා ගෙනාපු දෙයක් උයා පිහාගෙන කාලා යන්නේ මෙතැන නැවතිලා.ඒකාලේ මෙතන පිංතාලියකුත් තිබිලා තියෙනවා. පයින් යන මිනිස්සු මහන්සිය නිවාගන්න පිංතාලියෙන් වතුර බීලා නුග ගහේ දෙබලක ටිකක් වාඩිවෙලා ඉඳල තමයි නැවත ගමන් ආරම්භ කරන්නේ.

පස්සේ කාලයක මේ විශාල නුග ගහේ අත්තක් කැඩිලා ගඟ හරහා වැටිලා තිබුණලු.ඉතින් මිනිස්සු ඒක පාලමක් විදියට යොදා ගෙන තියෙනවා. මේ කිට්ටුවම අම්බලමකුත් ඉස්සර තිබිලා තියෙනවා. අද නම් ඒ කිසිවක් දකින්නට නැහැ. ඉතින් ගජමන් නෝනාගේ පළවෙනි දරුවා නැතිවෙලා තියෙනවා. ඒ නිසා දෙවනි දරුවා කුසට ආවම ඒ දරුවා රැක ගන්න වෙද මහත්තයකුගෙන් බේත් ගන්න ඇවිත් තියෙනවා. ආරංචි විදියට නම් ඒ වෙද මහත්තයා ජයවර්ධන පරම්පරාවේ දක්ෂ වගේම ප්‍රසිද්ධ වෙද මහත්තයෙක්ලු.

ගජමන් නෝනා බේත් ගන්න නිතර ආව ගියේ  මේ වැලිගම දෙනිපිටිය වෙද ගෙදරට .ඒ යන එන විට දෙනිපිටියේ පොල් අතු ගඟ ළඟ තියෙන සුන්දර විශාල නුග ගහ ඇය දැක තිබුණා. මේ ළඟ තිබුණ මුහන්දිරම් වලව්වේ වැස්සියෙකුත් මේ ගඟට උඩින් වැටිල තිබුණ නුග අත්ත දිගේ එහා පැත්තට ගිහින් ඉරිදා පොළේ එළවළු කන්නත් පුරුදුවෙලා හිටියලු.

ඉතින් මේ කතාන්දර හැම දෙයක්ම ගජමන් නෝනා යන එන විට දකින්නට ඇති. ඉතින් මේ විශාල නුග රුක ඇසුරින් කවි සිතුවමක් ඇය ගෙත්තම් කරන්නට ඇති. ඒත් අද වන විට අවාසනාවට ගජමන් නෝනාගේ ඒ ලස්සන පැදි පෙළට පාදක වුණු දෙනිපිටියේ සුවිසල් නුග ගස විනාශ වෙලා. ඉතින් ගජමන් නෝනාගෙ වියෝවත් එක්ක ඒ හා බැඳුණු ඉතිහාසයේ රසවත් මතක විනාශ කර තිබීම නම් ඉතාම ඛේදනීය තත්ත්වයක්.

මේ දෙනිපිටියේ නුග රුක වගේම තවත් රසවත් කවිවලින් සාහිත්‍ය පෝෂණයට උරදුන් මාතර යුගයේ ප්‍රසිද්ධ කිවිඳියගේ අවසාන කාලය ඉතාම කටුක ලෙස ගෙවමින් 1814 දී දෙසැම්බර් 15 දින මරණයට පත් වුණා.

 

 

උපුටා ගැනීම: Hela Rahas

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!