මේ දවස්වල අඩයාලමේ ප්රසිද්ධ මාතෘකාව “පිටරට යාම” දැකලා තමයි මෙහෙම ලියන්න හිතුවෙ. සංචාරයකට හරි පිටරටකට යන්න බොහොමයක් දෙනා කැමතියි. මිනිස්සු තමන්ගෙ මවුබිමෙන් පිටවෙන්න හේතු බොහොමයක් තියෙනවා. ආර්ථික ප්රශ්න ඉන් එකක් විතරයි. උසස් අධ්යාපනය, විවාහය, හොද රැකියා අවස්ථා, තිබෙන රැකියාවේ කලකිරීම්, දරුවන්ගේ අනාගතය, නෑයන් සමාජීය, සංස්කෘතික ප්රශ්න වගේ බොහොමයක් කාරණා ඒ අතර තියෙනවා. මා දන්න උසස් රැකියා කළ පවුලක් විදෙස්ගත වුනේ දරුවෙකුට තිබුණු අසනීප තත්ත්වය මත වටින් පිටින් එල්ල වූ පීඩනය සහ දරුවාගෙ අවිනිශ්චිත / අනාරක්ෂිත අනාගතය හේතු කොටගෙන. තවත් පවුලකට එකම හේතුව දරුවන් නොලැබීම නිසා වූ පීඩනය. ඉතින් අපේ රට තුල කෙනෙකුට ජීවිතයේ සියල්ල යහපත් ලෙස විසදෙන්නට පුළුවන් වගේම විශේෂ කාරණා නිසා අසරණ වෙන කෙනෙකුට පිටරට යාම අවසාන විසදුම වෙන්න පුළුවන්. දියුණු රටවල්වලට ආවා වුනත් හැමෝගෙම ජීවිත ඉතා සෞම්ය ලෙස ගත වෙන්නෙ නැහැ. ලංකාවේ මොන තරාතිරමක හිටියත් මේ රටවලට ඇවිත් මුළු ජීවිත කාලයම ඉතා පහළ මට්ටමේ රැකියා කරමින් දුක් විදින , දරුවන් ඉහළට යවන්න වෙහෙස වෙන, ලංකාවේ වෙසෙන දෙමාපියන් සහෝදර සහෝදරියන්ට ආර්ථික හය්යක් වෙන්නට උත්සාහ කරන බොහොමයක් ඉන්නවා. එක රැකියාවක් නොව කිහිපයක් කරන්නට ඉඩ හසර තිබෙන නිසා දවසට ප්රමාණවත් නින්දක් නොලබන අය මට ඕනෑ තරම් මුණ ගැහෙනවා. නමුත් ලංකාවේදී හීනෙන්වත් නොලැබෙන වාහන, ගෙවල්, දරුවන්ට පාසල්, සුපිරි ආහාර පාන පිරුණ ශීතකරණය නිසා මේ අයගෙ මතුපිට ජීවිතය සතුටින් ගත වෙනවා. තවත් කොටසක් ඉන්නවා උසස් අධ්යාපනය සදහා පැමිණ, ඉතා හොද රැකියා ලබා නතර වූ අය. ඉගෙන ගන්නා කාලයේ මොන දුෂ්කරතා වින්දත් දැන් ඔවුන් බොහොම ඉහළින් ජීවත් වෙනවා. රැකියා ස්ථානවල ආතතිය ඉතා අඩුනිසා මේ අයගෙ ජීවිත පහසුයි. බොහෝ අය ප්රසිද්ධියේ හෝ අප්රසිද්ධියේ ලංකාවේ සමාජ සේවා කටයුතුවල යෙදෙන්නෙ ප්රමාණයටත් වඩා ලැබෙන ආදායමට වඩා තමන්ගේ මව්බිම නොවන නිසා ඇතිවන සාංකාව, මානසික හිඩැස වසා ගන්න දරන ප්රයත්නයක් විදියටදෝ කියලා මට නොයෙක් වර හිතෙනවා. රටින් පිටවූ බොහෝ අය රෑට දකින හීනෙ තියෙන්නෙත් ලංකාවම තමයි. **************************-**-***********-*** සන්ක්රමිකයන්ගෙ දෙවෙනි පරම්පරාව නම් අමුතුම කොටසක්. ඒ අයගේ identify loss, මානසික ප්රශ්න, අවශ්යතා, දක්ෂතා, ගැන කෙරුණු පර්යේෂණ පත්රිකා පවා තියෙනවා. අපිට සාපේක්ෂව මේ පරපුර තමන්ට අවශ්ය දේ ලබාගන්න වාසනාවන්ත වෙනවා. තරගකාරී නොවන ඉගෙනීම නිසා සාපේක්ෂව නිදහසේ හැදෙන දරුවන් ප්රශ්න අසමින් තමන්ගෙ හීන කරා ලගා වෙනවා. අපි මේ දරුවන්ගෙන් ලංකාවේ දරුවන්ගෙන් අපේක්ෂා කරන හැසිරීම බලාපොරොත්තු වෙන එක වරදක්. ආගමික භක්තිය අඩු වෙන්න තියෙන ඉඩ වැඩියි. නිවසේ දැඩි නීති දමමින් දරුවන් මවුබිමේ විදියට හදන්න උත්සාහ කරන දෙමාපියන් ඉන්නවා. ඒත් අවස්ථාව ලැබුණම සමවයස් කාණ්ඩ හැසිරෙන විදියට ඉන්න තමයි දරුවන් කැමති. දියුණු රටවල ජීවිතය පහසුයි. පරිසරය පිළිවෙලයි. පිරිසිදුයි. සමාජය සාපේක්ෂව විනයගරුක නිසා කලබල අඩුයි. අපි කුඩා කාලෙ සගරාවලින් දුටු පියකරු රූප මගතොටේදී එහෙමම දකිනවා. සමාජයේ තරගය අඩුනිසා ඒ ආතතිය අඩූයි. තමන්ගේ සිහින සැබෑ කරගන්න ඉඩ ප්රස්ථා වැඩියි. ඒත් දෙමාපියන් රැකබලා ගැනීමේ ප්රශ්න වගේම නෑ සබඳතා අඩුවීම, යහළුවන් දුරස් වීම, දරුවන් මව්බසෙන් ඈත්වීම, දරුවන් වෙන්වීම, වයසට යනවිට දැනෙන තනිකම ආදී නොයෙක් ගැටලු වලට මුහුණ දෙන්නත් වෙනවා. විශේෂයෙන් කොරෝනා කාලෙ කොපමණ මුදල් තිබුණා වුනත් අවශ්ය මොහොතේ දෙමාපියන් ලගට යන්න නොහැකිව අසරණ වුනු අය ඉන්නවා. පිටරට ජීවිතය ඔබ ජීවත් වන රට, නගරය, ඔබේ ස්ථාවරත්වය, පවුලේ අවශ්යතා ආදි නොයෙක් සාධක මත වෙනස් වෙනවා. ඩෙන්මාර්කයේ සුන්දර පරිසරය, ඕස්ට්රේලියාවේ , කැනඩාවේ ඔබට ඇති ඉල්ලුම මෙන්ම නිව් යෝර්ක් හෝ ලන්ඩනයේ ගෙවන්නට වෙන ජීවිතය එකිනෙකට වෙනස්. ඔබට ලංකාවේ ජීවිතය පහසු නම් පිටරට ස්ථිර පදිංචියට එන්න කලින් දෙවරක් හිතන්න. පිටරටක පදිංචිය, ඔබේ දිගුකාලීන සිහිනය නොවේ නම්, ඔබ යමක්කමක් තියෙන පවුලක නම්, කරදර අඩු, පිළිගත් රැකියාවක් තිබෙනවා නම්, තමන්ගේ සමීප නෑදෑයන් සමග ලංකාවේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එහෙත් එලෙස සියල්ල ලංකාවේදී සතුටින් කෙලවර නොවුනු කෙනෙකුට පිටරටදි සමහර හීන සැබෑ වෙනවා . ජිවිතයෙ ඔබට එකදෙයක් ලැබෙන කොට යමක් අහිමි වෙනවා. දෙමාපියන් සමඟ ඉන්න නොලැබුණත්, ඒ අයව සතුටින් තියන්න ලංකාවේ හිටියා නම් කරන්න නොහැකි දේවල් පිටරට ඉදලා කරන දරුවොත් ඉන්නවා. කවුරුත් රට යන නිසා නෙවෙයි තමන්ට සාපේක්ෂව හිතන්න. හැබැයි ටික දවසකට හරි ලංකාවෙන් පිට ලෝකය දකින එක නම් ජීවිතයට වටිනවා . මම මේ සියලු දේ ලිව්වෙ මගේම හා දන්න හදුනන අයගෙ අත්දැකීමෙන් . මම ඉන්නෙ පිටරට.,මගේ කැමතිම රැකියාවෙ. ඒත් මගේ හිත ඉඩ ලැබෙන හැම මොහොතේම දුවන්නෙ මගේ මව්බිමේ ආදරණීයයන් වෙත. දහසක් ආර්ථික, සමාජීය ප්රශ්න අතරෙ හිනා වෙලා ඉන්න අපේ රටේ මිනිස්සු, ඒ ප්රශ්න වලින් ගැලවෙන්න එළියට ආ මට වඩා බොහෝ සවිමත්.
උපුටා ගැනීම: Nadeeka Geethamali Chandrasiri