පුoචි සන්ධියේ සිටම තාත්තා සිටියේ මගේ සිතේ දුරකය.එයට හේතුවන්නට ඇත්තේ තාත්තා අප වෙත පෙන්වු දැඩි සහ රළු ගති පැවතුම් ය.තාත්තා වෙතින් කරගත යුතු සෑම කාරියකම අතරමැදියා අම්මා විය.එතරම්ම අකමැත්තක් තාත්තා හා කතාකරන්නට මා සිත තුළ වුණි.
කාලය බොහෝ දුර අප ගෙනගොස් ඇත.තාත්තා අප වෙනුවෙන් කළේ මොනවාදැයි වැටහෙන්නේ දැන් ය.ඒ විවාහවී මවුපියන්ගෙන් වෙන්ව සැමියාගේ නිවසට ආ පසුය.නිතර දැක බලා ගැනීමට පැමිණිය නොහැකි තරම් දුරක ආ පසුය.
ඔබේ ගුණ කදින් පෝෂණය වූ මතක කෙත් යායක මෙහි සටහන් කරන දෑ නම් එකම එක වී ඇටයක් තරම් වේ.
වැඩ ඇරී ගෙදර එන තාත්තාගේ බෑගයේ අප තිදෙනා වෙනුවෙන් කෑමට යමක් නොතිබූ දවසක් නොවීය.තාත්තාට අප සැමදා කුඩා උන් ය.කඩයට ටවුමට ගියහොත් අප වෙනුවෙන් ගෙන එන දෑ එමටය.ඒ අවස්තාවල අම්මා දොස් නගන්නේ මුදල් නාස්ති කරන්නේ වැඩකට නැති දේට කියා ය.අම්මා දෙන ලිස්ට් එකට අමතරව සෙල්ලම් බඩු, කෑම පෙට්ටි,වතුර බෝතල්,රස කැවිලි,පළතුරු මෙකී නොකී දෑ තාත්තාගේ ලිස්ට් එකේය.ඒ අප වෙනුවෙන් ය.මේ මොනදේ කළත් අපට ලොකු අම්මා ය.අම්මා ගෙන් නිතර බැනුම් ඇසුවද ආදරේ අම්මාට ය.තාත්තා ඉදහිට කේන්ති ගතහොත් අපට පෙනෙන්නේ රකුසකු ලෙසය.කළ හොද මතකම නැත.
තාත්තාගේ ලොකු ළමයා හෙවත් ලොකු දෝණිය තාත්තාගෙන් ඈත්වීම ගැන තාත්තාට දුකක් තිබෙන්නට ඇත.
මා විවාහයෙන් පසු දෙමවුපියන්ගේ නිවසින් බොහෝ දුරබැහැර සැමියාගේ නිවසේ පදිoචියට පැමිණියෙමි.
එය නිවැසි සියල්ලන්ටම පාළුවක් දැනවූ කරුණක් බව ඔවුන්ගේ කතාවෙන් මා හට වැටහී තිබුණි.මා ඔවුන් බැලීමට යායුතුව තිබුණත් අම්මා සහ තාත්තා හැකි සැම විටම මා බැලීමට ආවේ ඒ නිසාය. ගම්පහ සිට කැවිලි පෙවිලි,තෑගිබෝග රැගෙන අනුරාධපුරයට පැමිණීමේ ඒ ගමණ වයෝවෘධ ඒ සිරුරු වලට අධික වෙහෙසක් ගෙන දෙන්නක් වුවද ඒ වෙහෙස දරාගෙන ඔවුන් පැමිණෙන්නේ තමන්ගේ දෑස් මානයෙන් වෙන්වී ජීවත්වන ලොකු දෝණිය නොදැක තවත් කල්බලමින් සිටීමට ඔවුනට නොහැකි නිසාවෙනි.
සමහර අවස්තාවල අම්මා සමග පැමිණෙන තාත්තා අප නිවසෙහි සතියකට දෙකකට නතරවෙයි.
නoගී එහි තනිකර අම්මාට මෙහි නැවතීම කළ නොහැකි බැවිණි ඈ ආපසු යන්නේ.
සදහන් කළ යුතු සිදුවීම් කොතරම් තිබුණද මා මෙහි දක්වන්නට උත්සාහ කරන්නේ මා පිළිබද මගේ පියාගේ සෙනෙහස කොතරම්දැයි යන්නත් ඕනෑම පියෙකුගේ සිතුවිලි දරුවෙකු කෙරෙහි මෙබදුම වේ යැයි සිතෙන නිසාත් ය.
වෙල් යාය සහ අතුරු මාර්ගයක් මායිම්ව ඇති අප නිවස පිහිටා ඇති බිම සැදෑ යමට ඉතා සුන්දරය.වියළි කලාපයේ බොහෝ විට දක්නට ලැබෙන පැහැදිලි නිල්වන් අහසේ රත් පැහැ ගත් වළාකුළු අතරින් රන්වන් ඉර බැස යන දසුන කොහොඹ ගස් අතරින් දිස්වන්නේ දිව්ය විමානයක් ලෙසිනි.
දාහයෙන් පිරුණු දවසේ වැඩ නිමකර සිසිල් දියෙන් ගත දොවා තේ කහට කෝප්පයක් තොළ ගාමින් අප තිදෙනා බොහෝ විට සැදෑයම ගත කරන්නේ මිදුළේ ගල් බoකුවේ මේ දසුන නරඹමිණි.අප තිදෙනා නම් මා,මගේ සැමියා සහ තාත්තා ය.
තාත්තා එසේ අප සමග සිටින විට අතීත මතකයන් සිහිපත් කරමින් දොඩමළු වෙයි.තාත්තා එවිට සිනාමුසුව සතුටින් පසුවේ.අතීත දිවිය දුක සැප,ජය පැරදුමින් සැදුම් ලත් වුවද ඒවා සැබැවින්ම මිහිරි අත්දැකීම් ලෙස අද ඔහු දකියි.
තාත්තාගේ එකම පුතණුවන් වූ මගේ සහෝදරයාට වඩා සමීප බවක් මගේ සැමියා සහ මගේ පියා අතර පවතී.
එනිසාම අප නිවසේ විසුමට තාත්තා ඉතා කැමත්තක් දක්වයි.
මෙසේ ඔහු අප හා ගෙවූ දින ගණන අහවර වී නැවත මහගෙදරට යන දිනයද ලoවෙයි.ඊට කලින් දින සැදෑවේ තාත්තා සමග මිදුළේ සාමීචියේ සිටි මොහොතක “තාත්තා මෙහේ ඉදලා යද්දි මොකද හිතෙන්නෙ.පාලුවක් දැනෙනවද.මෙහෙ ඉන්න පුලුවන්නෙ හැමදාම වුනත් තාත්තට” යැයි මා පැවසූයෙමි.
“අම්මායි නoගියි එහෙ තනියමනෙ.යන්න වෙනවනෙ.. මොනවා කරන්නද ඉතින්.එත් මට මෙහෙ ඉදලා යද්දි ගේ නොපෙනී යන මානෙදි පපුව හිරකරනවා වගේ වෙනවා.අනුරාධපුරේ පහු වුණාමයි හිතේ ඒ ගතිය පොඩ්ඩක් නැතිවෙන්නෙ.”
ඒ මගේ පැනයට තාත්තාගේ පිළිතුරයි.එතරම් සoවේදී අදහසක්.මා තාත්තාගේ ලතෙත් බව,දරුසෙනෙහස හොදින් හදුනාගත් අවස්තාවකි එය.
කුඩා කළ සිට මා දුටු,තාත්තා තුළ සිටි ඒ යෝධ පෞර්ෂය සහ ඒ රළු මිනිසා කොහිද.මගේ හද කීරීගැසෙන වේදනාවකින් පිරෙයි.මෙතරම් හැගීම්බර වේදනාවක් ඔහුට මා දමා යාමේදී ඇතිවන බව ඇසීම සැබැවින්ම මා පුදුම කරවීය.කීවා සේම ඊළග උදයේ තාත්තා මගේ සැමියා සමග ගෙදරින් පිටත් වී යන අතර ඈත නොපෙණී යන තුරුම පසු පස හැරෙමින් මා දෙස බැලූ සැටි මතකය.දුර යන තාත්තාගේ දෑසේ කදුළු මා හට නොපෙනුනත් තාත්තාගේ වචන් සිහි වී මගේ දෙනෙත කදුළින් බරවිය.
එවන් පිය සෙනෙහසක්!
දරුවන් පෝෂණය කර ලොකුමහත් කිරීමේ සටනේදී ජීවිතය හා පොරබදිමින් හැල්මේ දිවූ ඔහුට සිය ආදරය අපවෙත පෙන්වීමට වේලාවක් නොතිබුණේය.නමුදු ඒ පපුව පිරී තිබුණේ අප පිළිබද වූ අසීමිත සෙනෙහසිනි.අද සැදෑසමය ගෙවන ඔහු සැනසිල්ලේ අපටහට ආදරය කරයි.අප දැකීම සහ අප ඇසුරේ රැදීම එකම අරමුණ සේ ය.
එදා සිය තරුණවිය අපගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් කැපකළ,හදේ මහමෙර තරමේ සෙනෙහසක් අදටත් දරා සිටිනා මගේ ආදරණීය තාත්තාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!
අපවෙත බැදි සෙනෙහස නිසාම තාරුණ්ය දියකර හරිමින්, දිවිමග සටන්කරමින් හෙම්බත්ව ගෙවා දැමූ මගේ සහ ඔබගේ වියපත් දෙමව්පියන් අප වෙතින් බලාපොරොත්තු වන්නේ සුඛ විහරණ නොවේ.දරුවන් වූ අපගේ ඇසුර පමණි.
එය නොඅඩුව ලබාදෙන්නට කැපවෙමු.මන්ද ඒ උතුම් මිනිසුන් නිර්ලෝභීව අප වෙනුවෙන් කැපකළ ඔවුන්ගේ කාලය,ලේ,දහඩිය සහ කදුළු වල ණය කිසිදා අපහට ගෙවා නිමකළ නොහැකි බැවිණි.
නෙත කදුළැල් පිරි පෙරමග බලනා මව් පියවරු දෑසට නොගැටේවා!
ආදරයෙන් දෑසෙහි බැද රකිනා දරුවන් සෙවනේ සුවසේ වෙසෙනා මව් පියවරු
දෑසට හමුවේවා!
“ලොකු දෝණි”
උපුටා ගැනීම: Shiromi Mathara Arachchige