පියාණෙනී… මා ඔබෙ ආදර දෝණී…. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තාත්තලා කියන ජාතිය ලේසියෙන් අඬන අය නෙවෙයිනෙ. හැබැයි එයාලා ඉඳලා ඉඳලා අඬන්නෙ පපුවට ගොඩාක්ම දැනුනම. තාත්තෙකුගෙයි දුවෙකුගෙයි ආදරයක් කියන්නෙ හරිම සංවේදී දෙයක්. ඒක වචන වලින් කියන්න බෑ. මම සම්බන්ධව වෙච්ච අන්න ඒ වගේ සංවේදී හේතු කීපයක් නිසා, අපේ තාත්තත් කිහිප අවස්ථාවකම අඬලා තියෙනවා. හැබැයි ඒ එක පාරක්වත් මට පේන්න කවදාවත් අඬලා නෑ. මේ ඒ වගේ මට මතක ම අවස්ථා කීපයක්.
පලවෙනි සිදුවීම-
මුලින්ම තාත්තා ඇඬුවා කියලා මගේ මතකෙ තියෙන සිද්ධිය උනේ එක වසරෙදි. ඒ කාලෙ තාත්තගෙ බිස්නස් වගයක් අවුල් ගිහින් තාත්තා හොඳටම මානසික ව වැටිලා, දණිස් තුවාල වෙලා හිටියෙ. ඉතින් අම්මයි, තාත්තයි ඒ ප්රශ්න ගැන කතා කරනවා ඇහෙන නිසා මට තේරුනා සල්ලි ප්රශ්නයක් තමයි කියලා.
ඉතින් ඒ දවස්වල මම ඉස්කෝලෙ යන පාර අයිනෙ තිබ්බ ගෙදරක ගේට්ටුවේ “ගෙදර වැඩට කෙනෙක් අවශ්යයි” කියලා බෝඩ් එකක් ගහලා, ෆෝන් නම්බර් එකත් දාලා තිබ්බා. මම ඒක ලියාගෙන ගෙදර ඇවිත් ඒ නම්බර් එකට කෝල් කරලා කිව්වා “ගෙදර වැඩට එන්න කැමතියි.” කියලා. ඒ අංකල් මගේ වයසයි නමයි එඩ්රස් එකයි ඇහුවම මම කාගෙ කවුද කියලා අඳුරගෙන.
“හරි එහෙනම් ඔය ලමයා ඇඳුම් ලෑස්ති කරන් ඉන්න. මම හවස 5ට එන්නම් එක්කගෙන යන්න” කිව්වා. ඔන්න ඉතින් මාත් ගෙදරට හොරෙන් ඇඳුම් 3,4ක් බෑග් එකට දාගෙන ලෑස්තිවෙලා ඉන්නවා. අර අංකල් 5.30ට විතර හිනාවෙවී අපේ ගෙදරට ආවා. එතකන් ගෙදර අය දන්නෑ. අංකල් ඒ වෙලාවෙ කිව්වම තමයි තාත්තයි අම්මයි සිද්ධිය දැනගත්තෙ. අම්මා ඇහුවා,
“ඇයි පුතේ ඔයා මේ අංකල් ලගෙ ගෙදර වැඩට යන්න හැදුවෙ.” කියලා.
මම කිව්වා “තාත්තට සල්ලි නැති නිසා. තාත්තා දුකෙන් නෙ ඉන්නෙ. ඒකයි.” කියලා.
එහෙම කිව්ව ගමන් තාත්තා මාව ඇදලා අරගෙන ගොඩක් වෙලා තුරුල් කරන් හිටියා මට අදවගේ මතකයි. අම්මා තාම කියනවා එදා රෑ තාත්තා නිදාගන්නෙ නැතුව ගොඩක් වෙලා ඇඬුවලු. තාත්තා අඬනවා අම්මා මුලින්ම දැක්කෙ එදා ලු.
දෙවෙනි සිදුවීම-
මේක උනේ මම ශිෂ්යත්වෙ කරද්දි. මම ඒකාලෙ ඉගෙනීමේ වැඩ වලට ලොකු උනන්දුවක් තිබ්බෙ නෑ. පිස්සු නැටිල්ල විතරයි. ඒත් පන්තියේ 10 වෙනියගෙන් මෙහා හිටියා. අපේ අක්කා ශිෂ්යත්වෙට ලකුණු 168යි.
තාත්තා කිව්වා “ඔයානම් වැඩක් නෑ. පාඩම් කරන්නෙත් නෑ. ඔයා අපිටත් ලැජ්ජ කරනවා. ඔයා ශිෂ්යත්වෙන් ලකුණු 100ක් වත් ගන්න එකක් නෑ.” කියලා.
ඕකට අම්මා තාත්තට බැන්නා “ලමයා ව මානසික වැටෙනවා ඔහොම කිව්වම.ඒනිසා ඔහොම කියන්න එපා” කියලා. ඒත් තාත්තා දැනගෙන හිටියා මට චැලෙන්ජ් එකක් කරාම මම ඒක සීරියස් කරගෙන කොහොමහරි කරනවා කියලා.
මම තාත්තට චැලෙන්ජ් කරා,
“100ක් නෙවෙයි, අක්කට වඩා එක ලකුණක් හරි වැඩිපුර ගන්නවා.” කියලා.
තාත්තා චැලෙන්ජ් ඇසෙප්ටඩ්. ගිෆ්ට් එක තමයි මවුන්ටන් බයික් එකයි, මට ම කියලා කම්පියුටර් එකයි. මොකද ගෙදර තිබ්බ කම්පියුටර් එක අක්කා බදු අරන් තිබ්බෙ. මට අල්ලන්නවත් දුන්නෑ.
ප්රතිපල ආවා. අක්කට වඩා එක ලකුණක් නෙවෙයි, ලකුණු 2ක් මම වැඩිපුර අරන් තිබ්බා. 170යි. රිසල්ට් එක දැනගනිද්දි තාත්තා ගෙදර නෑ. තාත්තා එනකන් මම ඉස්තෝප්පුවේ හාන්සි පුටුවෙ වාඩිවෙලා, ස්ටූල් එකක් උඩ කකුල් තියාගෙන පොතක් බල බල හෙන ලොකු සීන් එකෙන් හිටියෙ, හරියට අර වලව් වල ඉන්න හාමු ලා ඉන්නවා වගේ. ඔන්න තාත්තා ආවා. මම තාත්තව ගණන් ගත්තෙත් නෑ.
“රිසල්ට්ස් ආවා නේද. කොහොමද.”
මම නෝ ආන්සර්. ඊටපස්සෙ අම්මගෙන් ඇහුවා. අම්මා හිනාවෙවී කිව්වා,
“ඔය ඉන්නෙ කටු අත්ත. එයාගෙන්ම අහන්න” කියලා.
ආයිත් තාත්තා ආදරෙන් මගෙන් ඇහුවා,
“කොහොමද පුතේ රිසල්ට්ස්?” කියලා.
මම ඔලුව වත් උස්සන්නෙ නැතුව හෙන ම ලොකු ලයින් එකෙන් වගේ “170යි.” කිව්වා.
තාත්තා දුවගෙන ඇවිත් මාව උස්සලා වඩාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා. ඒත් මම ගේමේ හිටියෙ.
“අනේ යන්න. ඔයාට අක්කවනෙ ලොකුවෙලා හිටියෙ. බොරුවට ආදරේ පෙන්නන්න ඕන නෑ දැන්. මට පොරොන්දු වෙච්ච තෑගි ටික අරන් දෙන්න. ඒ ඇති. එච්චරයි.” කිව්වා.
එදා රෑ ත් මම නිදාගත්තට පස්සෙ තාත්තා අම්මත් එක්ක මං ගැන කිය කිය අඬලා තිබ්බා සතුටට. තෑගි ටිකත් සතියක් යන්න කලින් හම්බ උනා.
3 වෙනි සිදුවීම-
මේකත් උනේ 6 වසරෙදි වගේ. මම මීට කලින් දාපු පෝස්ට් එකේ කිව්වනෙ මගේ තිබ්බ “පූස් පිස්සුව” ගැන. (නොදැක්ක අයට කියවන්න ඒකෙ ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ දාන්නම්.)
පාර අයිනක කවුරුහරි ගෙනත් දාපු පූස් පැටියෙක් දැක්කොත් පපුව උණුවෙලා වැක්කෙරෙන ගතියක් මට තාම තියෙනවා. ඒ වෙද්දි එහෙම පාර අයිනෙ ඉඳලා මම අරන් ආපු පූස් පැටව් දෙන්නෙක් අපේ ගෙදර හිටපු නිසා මට යෙලෝ කාඩ් එක වැදිලා තිබ්බෙ ගෙදරින්.
ඔන්න ඉතින් තව දවසක් ඉස්කෝලෙ ගිහින් එද්දි චූටි පූස් පැටියෙක් ඇවිදගන්නවත් බැරුව පාරක් අයිනෙ හිටියා. ඌව දැක්ක ගමන් හිතේ දුක ඩබල් වෙලා, මට ගෙදරින් දීලා තිබ්බ යෙලෝ කාඩ් එක අමතක උනා. ආයි හෙවිල්ලක් බැලිල්ලක් නෑ, ඌව උස්සලා අරන් තුරුල් කරගෙන ගෙදර ගෙනාවා.
එද්දි තාත්තා ගෙදර. පූස් පැටියව දැක්කා විතරයි තාත්තට මළ හොඳම එකෙන් පැන්නා.
“කේෂී, මොකද මේ වෙලා තියෙන්නෙ. පාර අයිනෙ ඉන්න හැම කුණුගොඩම ගෙදර උස්සන් එන්න තියාගත්තද ඒ ගමන. ඉන්න උන් දෙන්නා මදිවටද? මූව ගෙනාපු දිහාවටම ගිහින් දාන්න. නැත්නම් ඉන්න පූසො ටිකත් අරන් ඔයත් ගෙදරින් යන්න. ගිහින් උන් එක්කම ඉන්න.”
මම මුකුත් නොකිය ගේ ඇතුලට ගියා. අතට අහුවෙච්ච ඇඳුමක් ඇඳගෙන, තව ඇඳුම් 3,4ක් පොඩි බෑග් එකකටත් දාගෙන ගෙදරින් එලියට බැස්සා. තාත්තා එතකොට කාමරේ ට ගිහින්. මම අඬ අඬ ගේට්ටුවත් ඇරගෙන පාරට ගියා.
තාත්තට ඇහිලා ගේට්ටුව අරින සද්දෙ. එයා ජනේලෙන් බලලා, ඒත් කවුරුත් නැති නිසා ආයිත් නිකන් ඉඳලා. ඒත් එයාට සැක හිතිලා ආයිත් එලියට ඇවිත් ගේට්ටුව ඇරලා පාර බලලා. ඒ බලද්දි මම කිලුටු වෙච්ච ඇඳුමක් ඇඳගෙන, පූස් පැටව් 3දෙනාව මල්ලක දාගෙන මීටර් 50ක් විතර දුර ගිහින්. තාත්තා කෑ ගගහා දුවගෙන ආවෙ උඩට ෂර්ට් එකක්වත් නැතුව. මම එතකොටත් අඬනවා. ආපු ගමන් මාව වඩාගෙන, තුරුල් කරගෙන,
“ඇයි පුතේ එහෙම යන්න ගියේ, මම විහිලුවටනෙ කිව්වෙ. හරි හරි. අපි මේ පැටියාවත් හදමුකො. ආයිත් ඔහොම යන්න එපා හොඳද.” කිව්වා.
එදා ගෙදර ඇවිත් තාත්තා මාව ඔඩොක්කුවේ තියාගෙන ගොඩක් වෙලා හිටියා. මට එහෙමම නින්ද ගියා. අම්මා කිව්වා “ඔයා නිදාගෙන ඉද්දි තාත්තා ඔයාගෙ ඔලුව අත ගගා ඇඬුවා” කියලා.
මේ මට මතක ම සහ මම කැමතිම අවස්ථා ටික විතරයි. තව ලියන්න ගියොත් මේක මාගලක් වගේ වෙන නිසා තව ලියන්නෙ නෑ.
අදටත් මගේ තාත්තා මං ගැන හොයන්නෙ, වදවෙන්නෙ, අර පොඩි කාලෙ මාව බලාගත්ත විදියටමයි. එයාගෙ ආදරේ විස්තර කරන්න තේරෙන්නෙ නෑ මට. මට විතරක් නෙවෙයි, ලෝකෙ ඉන්න හැම දුවෙක්ටම ඒ හැඟීම දැනෙනවා ඇති.
ඉතින් ලෝකෙ ඉන්න හැම තාත්තා කෙනෙක්ටම දීර්ඝායුෂ ප්රාර්ථනා කරන ගමන් මගෙයි තාත්තගෙයි ආදර කතාව මෙතනින් නවත්තනවා.
සුභ දවසක්.
-කේෂි-
උපුටා ගැනීම: Keshika Niwarthanie

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!