නිර්මලයි මායි පෙම් කෙලියේ 1993දී විතර. ඒ වෙනකොට මම කොලඹ හිටියට වැඩිය ඔය රෙස්ටුරන්ට් වලට ගිහින් කන පුරුද්දක් තිබුන් නෑ. මම කොහොමත් ආසා ගෙදර බත් එක කන්න. ඒත් ඉතින් පෙම් කරනකොට ඔය එක එක රෙස්ටුරන්ට් වලට කෙල්ලව ඇරන් යන්න වෙනවනේ.
ඔන්න දවසක් නිර්මලා කිව්වා ‘අනේ අපි ෆ්රයිඩ් රයිස්ම කන්නේ යන්කො පිට්ස කන්න පිට්ස හට් එකට’ කියලා. මම පිට්ස හට් අහල දැකල තිබ්බට මලාට ගිහින් කාල තිබුන් නෑ. ඇයි ඉතින් මට එහෙම ආසාවකුත් නෑනේ ඒවා කන්න. තාමත් එහෙමයි. ඉතින් ඕන් කෙල්ලව සතුටු කරන්න පිට්ස හට් ගියා. ගිය ගමන් එකෙක් ඇවිත් අපි දෙන්නට පොඩ්ඩක් ඉස්සරහා වාඩි වෙලා ඉන්න කිව්වා ටේබල් එකක් හිස් වෙනකන්. කාල වරෙන්කෝ. හරි ඉතින් ඒකත් හිටියා. ඕන් අපිට ටේබල් එකක් හම්බුනා. දැන් අර රතු ඇඳ ගත්ත මල්ලි කෙනෙක් මෙනූ එක ගෙනත් දුන්නා. නිර්මලා පී එච් ඩී එකකට පාඩම් කරන කෙනෙක් වගේ මෙනූ එකේ මූන ඔබාන කියවනවා. මම ඉතින් පිට්ස ගැන දන්න පුකක් නෑනේ. ඒත් ඉතින් ජීවිත කාලෙම කාල තිබ්බේ පිට්ස වගේ ඕන් මෙනූ එක කියෙව්වා. නිර්මලා අන්තිමට තෝර ගත්තා එකක්. මට දැන් නම හරියට මතක නෑ. මාත් ඉතින් ඔලුව වනලා ඒක ඕඩර් කරා. මෙන්න යකෝ ටිකකින් ආවා දුම් දාන පිට්ස දෙකක්. නිර්මලාට බඩ ගින්නේ හිටියේ. ගෑනුන්ගේ බඩ කොහොමත් හිස් නේ රෙස්ටුරන්ට් වලට ගියාම? ඉතින් එයා අනේ ලෝස් නැතුව අරකෙන් සමකෝණී ත්රිකෝනයක් කඩන් ඒ සින්ඳුවත් මුමුනමින් කන්න ගත්තා. මට දැන් බත් බඩ ගිනියි. ඒත් ඉතින් වවුලගෙ ගෙදර ආවානන් ලාවුලු එපායැ කන්න! මාත් අරකෙන් කෑල්ලක් කඩා ගෙන කෑවා. හෆොයි මිත්රවරුනී! මගෙ අම්මා හදන පොල් රොටී මීට පට්ට රහයි. ඒ මදිවට උනු චීස් මගේ උඩු රැවුලෙත් ගෑවෙනවා. මට ඇති වුනා එක කෑල්ලෙන්ම. අනේ නිර්මලා කෑලි දෙකක් විතර එයාගෙ එකෙන් කෑවා. ඒකෙත් ඉතුරුයි කෑලි. මගෙන් ඇහුවා ‘ඇයි රහ නැද්ද?’ කියලා. මම කිව්වා ‘නෑ පට්ට රහයි. මම මේ ඉතුරු ටික කවුතුකාගාරෙට දෙන්න ගෙනියන්න ඉතුරු කරා’ කියලා. ගෑනිට හිනා.
අපි ඉතුරු ටික පැකට් කරන් ගෙදර ආවා. ගෙදර ආවම නිර්මලාගෙ මල්ලි සාලෙට ආවා අපි මොනව හරි කන්න ගෙනද්ද බලන්න. ඌ ඉතින් කොලඹ නගර සභාව වගේ එකෙක්. දෙන ඕනෙ ස්ත්රීලින්ඟයක් කනවා බඩ පිරිනවනන්. නිර්මලා අර පැකට් එක ඌට දුන්නා. ඌ ඒක ඇරන් උගෙ කාමරේට ගියා. අපි දෙන්න ඉතින් සාලෙ ඉඳන් පෙම් සයුරේ කිමිදිලා එලියට එනකොටම වගේ ඌත් කාමරෙන් එලියට ආවා කටත් අතින් පිහ පිහ. ඌ යකෝ අර කෑලි හයම දෙසා බාලා. අම්මප ඕකගෙ බඩේ හින්ඟන්නෙක් ඉන්නව ෂුවර්!! කොටින්ම ඌ අර මෙලෝ රහක් නැති මල ජරාව ඔක්කොම කාලා කියහන්කෝ.. කට පිහ පිහ ඇවිත් ඌ අහනවා ‘ෂා මරු ඒක. මොනවද අයියේ ඒ?’ කියලා!! මටයි නිර්මලාටයි මැරෙන්න හිනා!! ඌ කාල තියෙන්නේ මොනවද කියල දන්නෙත් නැතුව!
ඕන් ඔහොමයි අපි ඒ කාලේ පිට්ස වලට ආගන්තුකයෝ වුනේ.. උඹලගෙ රෙස්ටුරන්ට් අත්දැකීමුත් කියහල්ලකෝ නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ…
උපුටා ගැනීම: Susantha Pethiyagoda