පොඩි කෙල්ලෙකුයි කොල්ලෙකුයි විදිහට පටන් ගත්ත ආදරකතාවක්. හැමෝටම පොදු සාධක අපිටත් තිබුණා. ආදරණීය ලියුම්, තෑගි, මල්පොකුරක් කලාතුරකින්, ඉර බහින දිහා බලාගෙන උරහිසට හේත්තු වෙලා ඉන්න හවසවල්, එලිසමයක් නැති කවි, කුරුටුබලි චිත්ර, සෙනඟ පිරුණු කෝච්චියක් ගැස්සෙද්දි කලබලෙන් නළල මතට දැනෙන හාදු, එක බීම එකක් අරන් පැය ගාණක් ඔහේ කරගෙන යන කතා,
අතරමැදදි,
පොඩ්ඩට රිදෙන හිත්, සැර කතා, උස් හඬ, අමනාපකම්…… මේ ඔක්කොම පොදුයි!
අවුරුදු කිහිපයකට පස්සේ අපි දෙන්නට එකට මේ ගමන යන්න අපහසු බව තීරණය කෙරුණු අඳුරු දවස්!
ඉකිගැසීම්…
ඉඳිමුණු ඇස්…
පෙඟුණු පරණ ලියුම්….
හොරෙන් ළඟ තියන් හිටපු එයාගේ ලේන්සුවක්…
සමුගැනීම….
නිහඬවම….
ලෝකයට කිසිවක් නොකියාම වෙනස් පාරවල් වල අපි ඇවිදන් යන්න පටන් ගැනීම….
හරියටම අවුරුදු 15ට පස්සේ අහම්බෙන් දකින, යන්තම් සුදු වුනු හිසකෙස් සහිතව කණ්නාඩියක් පැළඳි ඔහු….
ඉස්සර වගේමයි. ශර්ට් එකේ අත නවාගෙනමයි..!
තත්පරේකට එයා හිතනවා ඇති. ඉස්සර වගේමයි තාමත් අපිළිවෙලයි මේකි නම්…
“ඔයා ලන්ච් වලට ආවද මෙහෙට?”
ඒ එයා…
“ඔව්..”
“නිතරම මෙහෙට ආවද මේ ටිකේ? දැකලම නැහැනේ.”
“නැහැ. මේ පළවෙනි වතාව. සතියකට මෙහෙට ආවා පොඩි ට්රේනින්ග් එකකට. ඒකයි”
“ඕහ්… ඔයා කට්ටියක්ව ට්රේන් කරන්න ආවද?”
“ඔව්…”
“මට හිතුණා… ඒත් තාමත් ඒ නොසැලකිලිමත් පාට එහෙමමයි.”
(මොනා කියන්නද… පොඩි හිනාවක් මගේ තොල් වල.. ලොකු සැහැල්ලුවක් හදවතේ)
“මම විශ්වාස කරා වගේම ඔයා අරමුණු වලට ගියා. ඒ ගැන ආඩම්බරයි සෞම්යා… “
“ස්තූතියි! මම විශ්වාස කළා වගේම ඔයා සතුටෙන් ඉන්නවා. ඒ ගැන සතුටුයි මටත්. ගොඩක්!”
( හිනාවක් හුවමාරු කරගන්න එක හරි පහසුයි. මේ මනුස්සයා එක්ක අවුරුදු 15ට පස්සෙත් ඒක එහෙමයි…ඒක මාරයි)
“මම දැන් යන්න ඕනේ අරෝශන. ගිහින් එන්නම් එහෙනම්.”
“හෙටත් මෙහෙටම එනවද කන්න?”
( කලින් ලෑස්ති වුණු උත්තරයක්)
“ෂුවර් නැහැ අරෝ… අරෝශන.. ගිහින් එන්නම්.”
_________________________________________
ෂුවර් නැති දවස මඟ ඇරලා ඊළඟ දවසේ ලන්ච් එකේදිත් කණ්නාඩි දෙකක් පළඳපු මට සිටි හොඳම මිතුරා සහ සඟයා ඒ අවන්හලේම.
“මට හිතුණා ඔයා අද එයි කියලා.”
“ඔයා ඊයෙත් මෙහෙට ආවද?”
“නැහැ. මම දන්නවා ඔයා මුරණ්ඩු බව. ඒ වගේම ගණන් උස්සන බව. දන්නවද සෞම්යා එදා අපි හැමදේම ඉවර කරලා ගිය දවසේ හවස මට ඉවර කරන්න බැරි වුණු යමක් ඉතුරු වුණා.”
“ඇත්තට? මට මතක නැහැ අරෝශන. කදුළු වලින් අපි දෙන්නගෙම ඇස් බොඳවෙලානේ තිබ්බේ. මොනව හරි මිස් වෙන්න ඇති සමහර විට.”
“ඔව් මිස් වුණා. මෑතක් වෙනකන්ම මම කල්පනා කරා හරියටම ඒ මොකක්ද කියලා… පෙරේදා ඔයාව දැක්කම ටක්කෙටම පැහැදිළි වුණා මට.”
“මොකද්ද අප්පේහ් ඒ?”
“එක වතාවක් ඔයාව තද කරලා පපුවට තුරුල් කරන් ඉඹින්න මට බැරි වුණානේ එදා… “
( පපුව ගැහෙන සද්දේ එළියට ඇහෙනවද කියලා මට සැකයි)
දීර්ඝ නිශ්ශබ්දතාවයක්….
කෝපි කෝප්ප දෙකක් හිස් වෙනකන්ම නිශ්ශබ්දතාවයක්…
“ඉන්න මම ඔයාගේ බිල ගෙවන්නම්.”
“හරි. මම ගිහින් එන්නම් අරෝශන”
“ගිහින් එන්න”
__________________________________________
“අද අන්තිම දවස් නේද ට්රේනින්ග් එකේ? කවදද ෆ්ලයි කරන්නේ?”
“අද රෑම යනවා අරෝශන… වැඩ ගොඩක් තියෙනවා. යන්න ඕනේ. ඔයා කොහොමද මෙහෙ හොයා ගත්තේ?”
“ඔයා ඉන්න තැනක් හොයාගන්න එක කොච්චර අමාරුයි කියලද හිතන් ඉන්නේ දරුවෝ?”
( හයියෙන් ඇහෙන හිනාවක්)
“දරුවෝ? දරුවොත් ඉන්න මට දරුවොලු”
( හරිම සුන්දර හිනාවක් ඔහුගේ තොල් මත)
“පුරුද්දට සෞම්යා..”
“මට දරුවො කියනවනම් ඔයාගේ දරුවොන්ට මොනා කියලද කියන්නේ?”
“ඒත් දරුවො කියලා තමා බං. වයිෆ්ටත් කියවෙනවා ඉඳලා හිටලා. උඹ නිසාම පුරුදු වුණේ ඒක.”
( ආයෙත් හිනාවක් හුවමාරු වීමක්)
“එහෙනම් දැන් පිටත් වෙනවද එයාර්පෝර්ට්?”
“අනේ ඔව් අරෝශන…”
“මේ වැස්සෙම?”
“කාර් එක ආවා පහළට. මෙහෙමම යනවා. යං පහළට.”
( පඩිපෙළක් අපි එකට බහිනවා අවුරුදු 15ට පස්සේ… අපි එකට පියවර තියනවා. වෙන් වෙන්න පුළුවන් බව දැන දැනම)
(ඔහු මහත්මයෙක් වගේ මට ඉස්සර වෙලා ගිහින් කාර් එකේ දොර අරිනවා)
“යන්නම් අරෝ….”
මම ඔහුට කියනවා. ඔහු හිස වනනවා. එදා වගේමයි. සැහැල්ලුවක් දැනෙනවා මේ මොහොතෙත්.
මම සීට් එකේ ඉඳගෙනම හිතනවා…
වෙන් වෙලා යන මොහොතකත් මෙහෙම සැනසීමකින්, සැහැල්ලුවකින් වෙන් වෙලා යන්න පුළුවන් තරම් ගැඹුරු යමක් අපි බෙදාගත්තද මීට අවුරුදු 15ට කළින්? අපි නිකම්ම නිකන් කොල්ලෙකුයි කෙල්ලෙකුයි විතරයි. අපි එහෙම ආත්මීය සහනයක්, සමාදානයක් අපි අතර බෙදා ගත්තද?
වාහනය පිටත් වෙනවා.
ආයේ අවුරුදු 15කින් වත් අපි මුණ ගැහෙයිද කියලා මම දන්නේ නැහැ. ඒත් ආයේ ගෙදර ගිහින් කල්පනා කරන්න යමක් අරන් යා යුතු නැහැ මම. අවුරුදු 15ට කළින් අපි පාරවල් දෙකක යන්න හිතද්දිත් පාරේ මුලට මාව පරිස්සමෙන් ගෙනල්ලා ඇරලවපු මනුස්සයව මට පේනවා වාහනයේ වීදුරුව සහ වැහි බිඳු අතරින්. අදත් මම යද්දි ඔහු ගෞරවයෙන් බලන් ඉන්නවා. මං හිතන්නේ සමහර නිවැරදිකිරීම් අපිට හින්දි ෆිල්ම් වල විතරක් නෙමෙයි, ඇත්ත ජීවිතෙත් කරන්න පුළුවන්.
“දරුවෝ, වාහනේ පොඩ්ඩක් ඔහොම නවත්තන්න…. “
( මට හිනා යනවා. මට එයාට කියන්න අමතක වුණා මම එංගලන්තේ සුද්දොන්ට සුද්දියන්ටත් පුරුද්දට දරුවෝ කියලා කියන බව… එයාගෙන් පුරුදු වෙලා බව මටත්)
වැස්සේ වාහනෙන් බහින එක රොමෑන්ටික පොඩි කෙල්ලන්ට. කොල්ලන්ට. ඒත් මට? දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්ට? මැදි වයසේ ගෑණියෙක්ට?
මට පේනවා ඔහුව. ඔහු කලබලෙන් දුවගෙන එනවා.
“ඇයි සෞම්යා ආයේ බැස්සේ?”
“මට ඔයාට කියන්න අමතක වුණා. මටත් දරුවෝ කියලා කියවෙනවා පුරුද්දට.”
ඔහු ආයේත් හිනාවෙනවා.
“අරෝශන…
මං හිතන්නේ අපිට පුළුවන් මඟ හැරුණු යමක් සම්පූර්ණ කරන්න. තව දුරටත් පොඩි කෙල්ලෙක් සහ කොල්ලෙක් නොවුණට ඉතුරු වුණු කොටස….”
වාක්ය සම්පූර්ණ කරන්න ඉඩක් තිබුණේ නැහැ.
අවුරුදු කිහිපයක් අපි ජීවිතය බෙදා ගත්තු හැටි ඒ විනාඩිය තුළ ආයේමත්, හරිම පැහැදිළි විදිහට ඇස් ඉස්සරහ මැවුණා. පුරුදු විදිහටම කම්මුල පොඩි වෙන තරම් තද හාදුවක්. තද වැළඳගැනීමක්…! වඩා පරිණත වැළඳගැනීමක්..!
කදුළු! අපි දෙන්නගෙම ඇස් වල.
දුකටද? නැහැ. සමාදානය. සහනය. මේ ඒක.
මෛත්රිය….!
ඔව් මේ ඒක.
අවුරුදු කිහිපයක් ජීවිතේ බෙදාගෙන අපේ පාරවල් වල අපි යන්න ගියා. අවුරුදු 15ට පස්සේ අහම්බෙන් මුණ ගැහෙද්දිත්, අපි ඒ බෙදාගත්තු ගෞරවය සහ ප්රේමය අපි ආයේත් බෙදාගන්නවා. වඩා ලොකු ගෞරවයකින්. වඩා පැහැදිළි මෛත්රියකින්…..!
ආයෙත් ඔහු දොර ඇරගෙන බලන් ඉන්නවා.
“එහෙනම් යන්නම් අරෝශන.”
මම එහෙම කිව්වම ඔහු ආයේ හිනැහෙනවා.
“සුද්දොන්ට කියලා දීපිය දරුවෝ කියන එකේ තේරුම. ඒ එක්කම මරුවෝ කියන එකත් කියලා දීපිය….”
එහෙම කියමින් ඔහු හිනැහෙනවා
“එහෙනම් පරිස්සමෙන් සෞම්යා…”
“හරි… ඔයත්!”
වාහනේ ඉස්සරහට යනවා. මම ආයේ හැරිලා බැලිය යුතු නැහැ. ඒක ඔහු වගේ සද්දන්ත මිනිහෙක්ට කරන අගෞරවයක්.
අවුරුදු 15ක් ඔහු මඟහැරුණු වැළඳගැනීමක් වෙනුවෙන් බලා හිටියා.
මම?
මම මේ තහවුරු කරගැනීම වෙනුවෙන් බලා හිටියා. සාමාන්ය කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයිත් ගෞරවයෙන් සහ ආදරයෙන් වෙන්ව යන්න පුළුවන් බවත් ප්රේමයට පළුදු නොකර අත් අරින්න සහ බලා ඉන්න පුළුවන් බව තහවුරු කරගන්න මම බලන් හිටියා….!
ඉතින් දැන් අපිට මඟ හැරුණු යමක් නැහැ. ඒත් අපි ගොඩනඟපු යමක් තියෙනවා. ආඩම්බරෙන් මතක් කළ හැකි යමක්! ආදරය ගැන කවි ලිව්ව බොහෝ මිනිස්සුන්ටත් මඟ හැරුණු යමක් අපි ලබාගෙන තියෙනවා.
ස්තූතියි දරුවෝ…!
මම එයාර්පෝර්ට් එක ඇතුළට යනවා!
උපුටා ගැනීම: ෂෙනූ පෙරේරා