සාමාන්ය ජනතාව අතරින් වසන් වී තිබෙන හෝ බොහෝ විට අවධානයට ලක්නොවන, එසේ නමුත් ඉතාමත් ම වැදගත් කරුණු කීපයක් මත පදනම්ව ලිපි පෙලක් ගෙන ඒමේ ප්රයත්නයේ ඇරඹුම ලෙස මෙම ලිපිය අකුරු කරනු කැමැත්තෙමි.
ශ්රී ලාංකිකයෙකු වශයෙන් හැමදාමත් මේ මව් බිමට දිවි හිමියෙන් ආදරය කරන බව හා දේශප්රේමීත්වයේ වේදනාව කැටි කොට, මෙතෙක් කලක් කරන ලද අධ්යයනයන් පසුබිම් කර ගෙන මෙම ලිපිය අකුරු කරන්නට තීරණය කළෙමි.
ලෝක ඉතිහාසයට ඈදුණු පොඩි අතීත කතාවක් ඉතාමත් කෙටියෙන් මතක් කර දෙන ගමන් ප්රවේශයක් ගත්තොත් සුදුසු යැයි මට සිතේ.
1929 දී ඇමරිකානු කොටස් වෙළෙඳ පොළේ සීඝ්ර පසුබෑමත් (Black Tuesday – 29 /10/1929) සමග ඇති වූ ආර්ථික අවපාතය (Great Depression ) 1929-1932 හා, දෙවන ලෝක යුද්ධය නිසාවෙන් නැවතත් ආර්ථික අවපාතයක් ඇති වීම වැළැක්වීමේ අදහසින් 1944 වසරේ දී ලෝකයේ රටවල් 44 ක එකගතාවයෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දී බ්රෙට්න් වුඩ්ස් (Bretton Woods) සම්මුතිය ඇති කර ගන්නා ලදී. සරලව ම ගත හොත් එහි දී සිදු වූයේ රටට ඇති රත්රන් සංචිත ප්රමාණයට සාපේක්ෂව එම රටේ විනිමය අනුපාතය තීරණය කිරීමයි(Gold Standard ). එම ක්රියාවලිය මගින් හිතුමතේ මුදල් අච්චු ගැසීමේ ක්රියාවලිය ඇතුළුව තවත් බොහෝ ආර්ථික වශයෙන් වැදගත් වූ නිර්ණායක පාලනයකට නතු කරන ලදී. එමගින් රත්රන් ට්රෝයි අවුන්සයක මිල (1 Troy Ounce = 31.103g) ඇමරිකානු ඩොලර් 35ක පාලන මිලකට නතුකරන ලදී. නමුත් වසර 1971 දි බ්රෙට්න් වුඩ්ස් සම්මුතියෙන් ඇමරිකාව ඒක පාර්ශ්විකව ඉවත් වීමත් සමගම නාමික අගයක් පමණක් පවතින තත්ත්වයකට මුදල් ඒකක (Fiat Currency ) පත් විය . එනම් රටට ඇති විදේශ සංචිත හා රත්රන් සංචිත නොසලකා හැර මුදල් ප්රමාණයක් සංසරණයට එක් කිරීමේ අවස්ථාව රජයයන් වලට හිමි විය.
දැන් අපි ලංකාව දෙසට හැරෙමු!( කේරළය පසෙකින් තබමු ).
ශ්රී ලංකා මහ බැංකුවේ වාර්තා පරිදි 2019 හතරවන කාර්තුව වන විට ශ්රී ලංකාව සතුව පැවති මෙට්රික් ටොන් 19.66 ක් වූ රත්රන් සංචිත ප්රමාණය වසර 2020 ජූලි මාසය වන විට මෙට්රික් ටොන් 6.7 ක් දක්වා අඩුවී ඇත. එනම් 66% කට ආසන්න ප්රමාණයක් විකුණා දමා ඇත. එම වාර්තා වලට අනුව වර්ෂ 2019 අගභාගය වන විට ශ්රී ලංකාව සතුව විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 7.6 ක පමණ ප්රමාණයක් පැවතිණි. 2020 වසර අග වන විට විදේශ ණය පියවා දැමීමත් සමඟ එම ප්රමාණය ද සීඝ්රයෙන් පහත යන ලදී.වත්මන් විදේශ විනිමය සංචිත ප්රමාණය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක් පමණ වේ. මෙම වසර තුළ ගෙවා දැමීමට නියමිත විදේශ ණය මුදල් ප්රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 4.8 ක් වන හෙයින් අනාගතයේ දී අපට ඉතිරි වන විදේශ විනිමය සංචිත )ප්රමාණය ද නොගිණිය හැකි තරම් කුඩා වනු ඇත.
ඔබේ අත ඇති මුදල් නෝට්ටුවේ සත්ය වටිනාකම දැන ගැනීමට ඔබ කැමති ද? එසේ නම් පහත ගණනය කිරීම පිළිබඳව ඔබේ අවධානය මදකට යොමු කරන්න. (ගණනය කිරීමේ සහ තේරුම් ගැනීමේ පහසුව තකා මෙම අගයන් ආසන්නත ම දශමස්ථානයට වටයා ඇති බව කරුණාවෙන් සලකන්න). ඇමරිකානු ඩොලර් ශ්රී ලංකා රුපියල් විනිමය අනුපාතය 194 ක් ලෙස සලකා මෙම අගයන් දක්වා ඇත ).
2020 පළවන කාර්තුව වන විට ශ්රී ලංකාවේ සංසරණය වන මුළු මුදල් ප්රමාණය රුපියල් බිලියන = 735
2020 ජූලි මාසය වන විට ශ්රී ලංකාව සතුව ඇති රත්රන් සංචිත ප්රමාණය මෙට්රික් ටොන්= 6.7
අද වන විට ලෝක වෙලද පොලේ රත්රන් කිලෝවක මිල රුපියල් මිලියන = 11.23
ශ්රී ලංකාව සතුව ඇති රත්රන් සංචිත වල වටිනාකම රුපියල් බිලියන . 75.2
රත්රන් සංචිත වලට සාපේක්ෂව ලංකාවේ සංසරණය විය යුතු මුදල් ප්රමාණය රුපියල් බිලියන = 75.2
ශ්රී ලංකාවේ සත්ය වශයෙන් සංසරණය වන මුදල් ප්රමාණය රුපියල් බිලියන = 735
එය අනුපාතයක් වශයෙන් ගත් කල = 1: 9.78
ඔබගේ අතේ ඇති රුපියල් 1000ක සැබෑ වටිනාකම රුපියල් = 102.35
මෙය ශ්රී ලංකාවට පමණක් ම අදාළ තත්වයක් නොවේ. ලෝකයේ දියුණුම ආර්ථිකය වශයෙන් සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය ද එරට ඇති රත්රන් සංචිත වලට සාපේක්ෂව 4 ගුණයක් මුදල් සංසරණයට එක් කොට ඇත. එම නිසා මවාපෑමකට ලක් කර ඇති මෙම ආර්ථික තත්වයන් බිඳ වැටීම අනිවාර්ය වේ. එය හුදෙක් කාල සීමාව පිළිබඳ ප්රශ්නයක් පමණි.
රටක් වශයෙන් අප සියලු දෙනාම එකාවන්ව කළ යුත්තේ නිවැරදි පාලන තන්ත්රයක් හා නිවැරදි යාන්ත්රණයක් යටතේ රටේ ආර්ථිකය සවිබල ගැන්වීමයි.
මෙම ලිපිය ලිවීමේ මුලික අරමුණ හුදෙක් ඔබ සියලු දෙනා දැනුවත් කිරීම මිස කිසිදු දේශපාලන ප්රවාහයකට පහර ගැසීම හෝ අනුග්රහය දැක්වීමට නොවන බව කරුණාවෙන් සලකන්න. යථාර්ථය අවබෝධ කර නොගන්නා තාක් කල් වසර හැත්තෑ තුනකට අධික කාලයක් මුළුල්ලේ අපි විඳිමින් සිටින්නේ නාමික නිදහසක් පමණක් බවත් තවමත් අප මූල්යමය යටත් යටත් විජිතවාදයෙන් බැට කමින් සිටින බවත් සැළ කර සිටීමට කැමැත්තෙමි.
තවත් මෙවැනිම ලිපියකින් නැවත හමුවෙමු.
උපුටා ගැනීම: Dr. D M Amarasekera