මේ කොරෝනා කාලෙ අපේ අයගෙ ඔලුව කුරුවල් වෙලා තියෙනවා වගෙ පේන නිසා මටත් හිතුනා අපේ පොඩි කාලෙ ගතවුන විදිය අපේ අතීතය මතක් කරලා හැමෝගෙම ඔලුව පොඩ්ඩක් නිදහස් කරන්න . ඒ කාලෙ මිනිස්සු ජිවිතය ගත කරපු විදිය,කාපු බීපු විදිය, හිතපු විදිය අවුරුදු 20-30 කාලයකදි වෙනස්වෙලා තියෙන විදිය දැක්කම පුදුම හිතෙනවා .මේ කාලෙ ලමයි , තරුණ තරුනියන් ජීවිතේ සමහර දේවල් වලට ප්රතිචාර දක්වන විදිය දැක්කම හරි පුදුමයි . ඒ කාලෙ ජීවිතය ගැන යම් තොරතුරක් දුන්නොත් දැන් කාලෙ අය යම් සාධාරණ තීරණ ගනීවි කියලා හිතෙනවා .
අපේ පොඩි කාලය 70 දශකය සහ 80 දශකය මුල් කාලය. මමයි මල්ලියි ඉස්කෝලෙ ගියෙ නුවර .ඒ වුනත් අප්පච්චියි අම්මයි හිටියේ බදුල්ලෙ පස්සර. ඉස්කෝලෙ හැම නිවාඩුවකට ම ( අප්රේල් , අගෝස්තු ,දෙසැම්බර් ) අප්පච්චි නුවර ඇවිත් අපිව නුවර – බදුල්ල බස් එකෙන් නුවර එලිය – වැලිමඩ හරහා බදුල්ලටත් එතැනින් පස්සරටත් එක්කගෙන ගිය හැටි හීනයක් වගෙ .අද වික්ටෝරියා රජ මාවත නැත්නම් දහ අට වන්ගුව මහියංගණ හරහා ලොකුවට කාපට් දාල තියෙන ලස්සන ඉක්මන් පාර ඒ කාලෙ තිබුනේ නැහැ . ඒ කාලෙ නුවර එලිය හරහා බදුල්ලට යන්න පැය 5 විතර ගියාට දැන් අලුත් පාරවලින් යන්නෙ පැය 2-3 විතරයි . අනික ඒ කාලෙ කාටද කාර් හරි පුද්ගලික වාහන හරි තිබුනේ. මොන ලොකු රස්සාවක් කලත් ගියෙ ලන්ගම බස් එකේ හරි කෝච්චියේ තමා .දැන් කාටද පර්මිට් වාහන කාර් වෑන් නැත්තෙ . ඒ වගෙම තමා කෑම බීමත් . ධර්මරාජෙ කැන්ටිමේ තිබුන ලොකුම කෑම තමා පාන් කාලත් එක්ක සම්බෝල හරි පරිප්පුයි ලැවරියා වඩේ වගෙ දේවල් .දැන් වගෙ Fabs ,perera & sons,pasrty shops නෙවෙයි චූන් පාන්කාරයො ගාව තියෙන විච්චූරන කෑමවත් ඒ කාලෙ දැකල තිබුනේ නැහැ. දර පෝරනු හයිය පාන් එකක් ගන්න සත 72 අරගෙන උදේම කඩේ දුවපු විදිය තාමත් මතකයි .අලියා බීම තමා තිබුණු බීම ( නෙක්ටො, ක්රීම් සෝඩා….) අලියා බීම බෝතල් බාගයක් දවසකට අරන් යනවා පොඩිම කාලෙ ඉස්කෝලෙ .පස්සර ඉදලා එනකොට හාල් මලු 2 කුත් අරන් එනවා අපි දෙන්නට . හාලූත් නැහැ ඒ කාලෙ. සීනි නැහැ උක් ගස් හකුරු( රන් කැට) තිබුනා මතකයි .ඉතින් මමයි මල්ලියි ගමේ ආවම අප්පච්චි අම්මයි ගොඩක් මහන්සි වෙනවා අපි දෙන්නට කන්න කෑම හදලා දෙන්න. “කොල්ලො දෙන්නට මේ දවස්වලවත් හොදට කෑම ටිකක් දෙන්න ඕනෙ ” කියලා නිතර අප්පච්චි අම්මට කියනවා මතකයි . ක්නුවර වගෙ නෙවෙයි ගමේදි මොනවා හරි රස කෑම ටිකක් කන්න ලැබුනා . නුවර ගෙදර මාමයි නැන්දම්මයි අවුරුදු 60 වයසෙ. රේඩියෝ එකේ උදෙත් බන රෑටත් බන. මාමට පුදුම බුද්ධාගම්භක්තියක් තිබුනේ . දලදා මාලිගාව පැත්තට හැරිලා දවසට දහ පාරක් විතර වදිනවා නැමෙනවා. ඒක පිස්සුවක් .මටත් තද නීති . ගාතා, වන්දනා මාන ඇහිලා ඇතිවෙලා ඉතින් මොන මස් මාලුද? ඉදලා හිටලා මාලු ටිකක් කනවා. නැත්නම් කරවල තමා . මම පොඩි එකා මාර අසරනයි. ඉතින් චිකන් කතාවට යමු.
දැන් කාලෙ වගෙ හන්දියෙන් හන්දියේ මීට් ශොප්, සුපර් මාර්කට් , සොසේජස්, මීට් බෝල්ස් කඩ තිබුනේ නැහැ ඒ කාලෙ. දැන් චූන් චිකන්කාරයොත් ඉන්නවනෙ . නුවරදී චිකන් කෑවද කියලත් මතක නැහැ . කෑවෙම නැහැ තමා . පස්සරදි තත්ත්වය ටිකක් වෙනස් . මූදු මාලු නම් තිබුනේ නැහැ . ඒ වුනත් ගම් චිකන් හිටියා . මන්දකට අහුවෙලා හරි අප්පච්චිගෙ ස්ටීවන්සන් තුවක්කුව අරන් ගිහින් දඩයක්කාරයා එලාගෙන එන වල් ඌරු මස් හරි තවත් අමුතු මස් වර්ගත් තිබුනා .මේවා හොයාගන්න / ගේන්න අප්පච්චිත් මහන්සි වුනා .ඒවා මොනවාත් නැතිනම් සතියකට දෙකකට හරි පස්සරින් beef ටිකක් හරි ගේනවා .බොරු කියන්නෙ මොකටද, අපි කවුරුත් ඒ කාලෙ කෑවෙ beef තමා .දැන් තමා මේ anti-beef සන්ස්කෘතියක් තියෙන්නේ .ඉතින් අපේ තුවක්කුවෙ කොටහ වෙන ඌරු මස් ගාතයක් ලැබෙනවා . එයින් කොටසක් අල්ලපු ගෙදර මාමාලටත් දෙනවා .ඒ අයට ලැබුනම අපිටත් දෙනවා . දවස් 2 විතර යනකොට කාලම ඉවර කරනවා . ඇයි දැන් වගෙ ෆ්රිජ් / ශීතකරණ තිබුනේ නැහැනෙ . ඉතින් මේ මොනවාත් නැතිවුනාම ගම් චිකන් එකෙක් හදලා දෙනවා. ඒක කරන්නෙ මෙහෙමයි . අප්පච්චි ගම් කුකුලෙක් ගමේ ගෙදරකින් සල්ලි දීලා ගන්නවා පන පිටින්ම .ගමේ කිසි කෙනෙක් මරපු කුකුල්ලු දෙන්නෙ නැහැ .අප්පච්චිට ඌව මරන්න බැහැ .අපේ ගමවලට අල්ලපු තේ වතුවල දෙමළ අය නිතර එනවා , අපේ වත්ත පිටියේ වැඩ වලට, කිතුල් රා ටිකක් බොන්න .ඒ වගෙම ඒ අය අපිට හොදට රෙස්පෙක්ට් කලා . ඉතින් අප්පච්චි එහෙම කෙනෙක් අල්ලගන්නවා .මිනිහා කුකුලා අරගෙන පේන්නෙ නැති තැනකට යනවා, අපි බලාගෙන ඉන්නවා ලගට යන්නෙ නැහැ . හැබැයි කුකුලා කෑස්, කීස් , කූස් ගාන හඩ ඇහෙනවා .මිනිහ කුකුල මරල අරගෙන එනවා .බොහෝ විට බෙල්ල කරකවලා තමා මරලා තියෙන්නේ .එතැනින් එහාට මෑන්ට වැඩ බැහැ . මිනිහ හාල් හරි සල්ලි කීයක් හරි අරගෙන යනවා. එතැනින් එහාට වැඩ තියෙන්නේ ගෙදරමයි. උනු කරපු වතුර භාජනයකට කුකුලා ටික වෙලාවක් දාලා තිබිලා පිහාටු ගලවලා කුකුලා ශුද්ධ කරනකම් මමයි මල්ලියි එතැනමයි. ඒ පොඩි උන් දෙන්නගෙ කුතුහලය සහ ආසාව නිසා .අවසානයේ අම්මා කුකුල් මස් ටික අපිට රහට හදලා දෙනවා .අම්මයි අප්පච්චියි දෙදෙනාම මේවා ඉතා කැමැත්තෙන් ඒ දෙන්නගෙ දරුවන් දෙන්නගෙ පෝශනය සහ අනාගතය වෙනුවෙන් කලා. අපි ශක්තිමත්ව නිරෝගිව තවමත් ඉන්නවා . ඒ දෙන්නට අපි සදා නය ගැතියි . අම්මා නුවර වැදගත් පවුලක් කෙනෙක් .අප්පච්චි ඉතා උගත් රජයේ වැදගත්ම රැකියාවන් කල ගමේ ප්රභූවරයෙක් . ඒ වගෙ කෙනෙක් අද ඒ වගෙ දේවල් කොහෙත්ම කරන්නෙ නැහැ වගෙම කරන්න ඕනෙත් නැහැ . අවශ්ය හැම දෙයක්ම අත පේන මානයේ තියෙනවා . මුදල් ටිකක් තමා අවශ්ය . නමුත් ඒ හැටී මුදලකුත් අවශ්යම නැහැ . හැම දෙනාටම ඒ හැකියාව සහ අවස්තාව තියෙනවා . කෑම බීම,යාන වාහන.. මේ කතාව සමහර අයට නීරස වුනාද දන්නේ නැහැ . නමුත් අපේ ජීවිතය සහ අතීතය මේක තමා .මේ අපේ අතීතය පිටුපස තියෙන අපේ ජීවිතය තේරුම් ගියා නම් මට ඒ ඇති …
උපුටා ගැනීම: Sanath Ubayasena