යමක් ලිවිය යුතු යැයි සිතුවත් ඒ සඳහා විවේකයක් තිබුණේ නැත. එහෙත් අද මා මුහුණ දුන් සිද්ධිය මගේ හදවතේ ඇති කළ වේදනාව තවමත් වරින් වර නැගෙයි. ඒ අත්දැකීම ඔබ හා බෙදා හදා ගැනීමෙන් සිතෙහි තැන්පත්ව ඇති වේදනාව සමනය කර ගතහැකි යැයි සිතමි.
ඒ නිසා මේ සටහන තබමි. එය වරදවා වටහා නොගන්නැයි ද ඉල්ලමි.
අපේ වත්තේ ඇත්තේ එකම පොල් ගසකි. වාසනාවන්ත පොල් ගසක් වු එය වසර පුරා පොල් දෙයි. ගමෙන් පොල් ටිකක් ගෙන එන්නේ ඉඳහිටය.
පොල් කඩවන්නට අවශය වී තිබුණත් මේ දවස් ටිකේම පොල් කඩන්නකු පාරේ ගියේ නැත. අද දහවලේ හොඳ වෙලාවට පොල් කඩන්නකු පැමිණියේය.
ගසට නැගි ඔහු ගසේ ඉතිරිව තිබු පොල් හනසු වියලි අතු සියල්ල ඉවත් කර පැසුණු පොල් කඩා දමා බැස්සේය. ඒ සඳහා ඔහු විනාඩි විසිපහක් ගත කළේය. පොල් ගෙඩි 36 ක් ඔහු කඩා දමා තිබිණි.
සාමාන්යයෙන් වෙනත් පොල් කඩන්නෝ විනාඩි පහෙන් බසිති. කඩ දමන්නේ පොල් ගෙඩි හත අටකි. නැත්නම් දහයකි. මේ නිසා ම සතියක් ගත වනවිට පොල් වේලි වැටෙන්නට පටන් ගනී.
ඔහු පොල් කඩා අවසන් වනවිට අපේ මහගෙදර වත්තේ අනෙක් සහෝදර සහෝදරියන්ගේ පොල් කඩන්නට ද උවමනා විය. අල්ලපු ගෙදරිනුත් කතා කරනවා. ඔයාගෙ ගාන කීයද? මම ඇසුවෙමි.
රුපියල් දෙසීයයි. මම ගහත් සුද්දකලා. හුඟක් කාලෙකින් පොල් කඩල නැහැ. ඔහු කීවේය.
හරි ඔයා ඒ ගස්වල පොල් කඩල එන්න. යන කොට මම සල්ලි දෙන්නම්. මම එසේ කීවේ ඔහුගේ පා පැදිය අපේ නිවසේ නවතා තිබු බැවින් ආපසු යනවිට මුදල් දෙන්නටය.
දැන් දෙකට විතර ඇත. පොල් කඩන්නා ආවේය. මුදල් දෙන ගමන් හදිසියේ ඇති වූ සිතිවිල්ලක් මත ඔයාට බත් එකක් බැඳල දෙන්නද මම ඇසුවෙමි. ඇත්තටම ඒ මොහොතේ ඇති වූ සිතිවිල්ලකි එය.
ඔහු බිම බලාගෙන හා කීවේය.
වෙනදා නම් බත් එකක් බෙදා නිවසේ දී කන්න දෙන මුත් මේ කොරෝනා ප්රශ්න මත එය දැන් කළ නොහැකිය. තරුණයා මිදුලේ තිබු ටැප් එකෙන් මුහුණ සෝදනු දුටිමි. මම බත් එකක් බැඳ ඔහුගේ පාපැදිය මත තිබු බෑගය උඩින් තැබුවෙමි.
එය තබා ගෙතුලට ආ නමුත් මා සිටියේ සෙවිල්ලෙනි. ඒ පොල් කඩන්නන් ගෙන් හොඳ පාඩම් උගෙන ඇති බැවිනි. ඔහු මුහුණ සෝදා ගෙන ආවේය. මා නිවස තුල බලා සිටන බව ඔහු දන්නේ නැත. මන්ද ජනෙල් වීදුරුවෙන් මට එළිය පෙනෙතත් එළියෙන් ගෙතුල නොපෙනේ.
තරුණයා බත් මුල අරගෙන එහි සිව්කොනම සිප ගත්තේය. අනතුරුව එය බෑගය මත තබා එයටත් අපේ නිවස දෙසටත් වැන්දේය. මට දරාගත නොහැකි දුකක් දැණිනි. බත් මුලක් වෙනුවෙන් වැඳවැටිය යුතුද?
හඬා වැටෙන්නට තරම් වූ වේදනාව තද කරගෙන මා බලා සිටියෙමි. ඔහු නිවස ඉදිරිපිටට පැමිණ යලි පාපැදිය නැවත්වූයේය. ඒ දැක මම වැරැන්ඩාවට ගියෙමි.
මා ඉදිරියට පැමිණි ඔහු බිම දණඔබා මට වැන්දේ කෂණයකිනි.
මා ලැබු මිනිසත් බව වෙනුවෙන් තවකෙකුට කරන කුඩා උපකාරයකට වැදුම් ලැබිය යුතු නැත. ඔහු බත් මුල මල්ලේ දමා ගෙන කතානොකරම ගියා නම් එය එතනින් ඉවරය. නැත්නම් ස්තුතියි කියා ගියා නම් එය ද එතනින් අමතක කරමි.
එහෙත් මා කළකුඩා උපකාරකයට ඔහු වැඳවැටුණු හැටි මා තුළ ජනිත කළ ශෝකය විස්තර කරන්නට නම් මට වචන නැත. එවන් අවස්ථාවන්ට ඔබත් මුහුණ දී ඇතැයි සිතමි.
මා ඔහුට කන්නට දුන් බව කියන්නට මේ සටහන නොතැබු බව පමණක් ඉඳුරාම කියමි. මට උවමනා වූයේ මගේ හදවතට දැනුණු රිදුම ගැන කියන්නටය.
උපුටා ගැනීම : Vineetha M Gamage