~~~~~~~ පොල් ප්‍රාර්ථනා ~~~~~~~~~ (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
( යටගිය දවස බාලිකා පාසලක 12 වන ශ්රේණියේ ඉගෙන ගන්නා කල් හි මා විසින් මෙසේ එම අවස්තාව ඉතිහාසගත කෙරුවෙමි )
අහෝ අහක යන ඇමීබාවෙකුට වත් මෙසේ සිදු නොවේවා..! කපුරු කන්දක් ඇවිලෙමින් තිබූ පොල් ගෙඩියක් උස්සාගෙන දේවාල බිම වටා යමින් සිටි මට තිස්තුන් කෝටියක් තරු පෙනෙමින් තිබුණි. බාලිකාවන් තිස් දෙනෙකුගෙන් සැදුම් ලත් පාසල් වාද්යවෘන්දයේ ලොකු අක්කා වූ මට එදින සිංගක්කුලිය දේවාලයට යාමට සිදු වූයේ සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියට පෙර අප ගුරුතුමිය සිතෙහි තබාගත් භාරයක් ඔප්පුකිරීමට ය.
මව් කිකිළිය වටලාගත් පැටවුන් සේ ඇය වටා දැවටෙමින් පළතුරු, වට්ටි පෙට්ට්, අනෙකුත් ආම්පන්න සහ පොල් ගෙඩි තුනක් ද කුදලාගත් අපි උදෑසනම දේවාල භූමිය ආක්රමණය කෙරුවෙමු. නංගිලාට අත පය කපාගැනීම ඉඩ නොතබා, උන් වටා කැරගෙන පේරගැට මනමාලයන්ට ද රවමින් ඔරවමින් පළතුරු කපා වට්ටි සකස් කර දී ඔවුන් ඉහළ පූජා බිමට පිටත් කර හැරිය මා පහළ පඩියමත රැඳුනේ කතෝලික භක්තිකයෙකු වූ බැවිණි.
” ලක්ෂි අක්කේ ටීචර් එන්න කිව්වා “
ඊයේ ඔලිම්පික් තරඟෙකට අද දුවන්නාසේ අඩියට දෙකට පඩිපෙළ තරණය කළ මා හට පදක්කමක් වෙනුවට ලැබුනේ “ගිනි පොල්” ගෙඩියකි. මේ දෙවර්ගයටම මා එක ලෙස අකමැති ය. වාදනය ප්රධාන කොටගෙන සංගීතය හැදෑරූ මට මගේ දෑතේ ඇඟිලි තරම් සම්පතක් මිහිපිට නොමැත. එබැවින් අදටත් මා ගින්දර සමඟ සෙල්ලම් කරන්නේ නැත. පොල්ගෙඩි සම්බන්ධයෙන් ද මට ඇත්තේ සාධාරණ භයකි. (අපේ එස්රාජ් වාදීකාව වූ වත්සලා දිනක් පොලයක් බිඳින්නට ගොස් අත අහුකරගත්තා පමණක් නොව කලන්තයක් සෑදී සමාන්තරව පොළොවට පතිත වුණා ය.)
“හොඳ දෙයක් ප්රාර්ථනා කරගෙන මේ පොල් ගෙඩිය ගහන්න ලක්ෂි පුතේ..”
දෙනෝදහක් මැද මගේ බැරිකම ප්රදර්ශනය කරන්නට ද බැරි ය.. එනිසා පුරුස දහිරිය ගෙන සිහිනෙන් මෙන් පොල් පෝලිමට අවතීර්ණ වූ මා; මට දුන් ගිනිගෙඩිය ඔසවාගෙන ගියේ හැකිතරම් මගේ සිරුරෙන් ඈතට ගෙන ගින්දරින් මාගේ ඇඟිලි බේරාගන්නට සියලු ප්රයාම දරමිනි. ඉදිරියෙන්ම පොල් ගැසීමේ පළපුරුදු කාරියක වූ දිලා ( අද ශ්රී ලංකා යුධ හමුදාවේ සංගීත අංශයේ කෝප්රල් වෙල්ලප්පිලි ) ඇතා යුධ ගමනේ ය. දෙවෙනියට සිංහ සෙයියාවෙන් වියෝලා වාදිකාව වූ ගයනී ය.. අවසානයට කකුල් දෙකෙන් මැන්ඩලින් ගසමින් ගාටන මම ය.
දේවාල බිම වටා යන්නට කියූ වට හත සන්නිපාත රෝගියෙක් යගුලිය උස්සන් යන්නාක් මෙන් ඇදි ඇදී යන මා හට අනුකම්පා කළ මගේ අඹ යෙහෙළිය අයෝමි ;මා පස්සෙන් එන්නට වූයේ මා හට උපදෙස් වදාරමිනි..
” ලකී ඕක බිඳෙන්නම ගහන්න ඕනේ නැත්තම් හොඳ නෑ..” ” හොඳ දෙයක් ප්රාර්ථනා කරන්න..” ” කළුගලේ මැද්දටම ගහන්න..”
හත්වලාමට ගහපු කලාබරේ.. !!!! ” දඩොං ” දිලාගේ පොල් ගෙඩිය වඩු මඩුවට දී බිඳෙව්වා වැනිය.. ගණං මිස් උන්නා නම් එය නිදසුනට ගෙන එතනම අපිට භාග පාඩම උගන්වනවා නිසැකය. “ටොහ්” ගයනිගේ පොල් ගෙඩිය බිඳුනේ නැත. එසැනින් පොලේ ඇහිදගත් කපුවා නැවත ගලේ පතබෑවත් ගයනීගේ මුහුණ නිල් වී තිබුණි. වාරය මගේ ය.. රැකෙම්වා හෝ මියෙම්වා’යි මටම ජප කරගත් මම ඔලුවටත් උඩින් ඔසවාගත් පොල් ගෙඩිය ඇඟේ මුලු වීරියම යොදා ගැසුවෙමි..
” පටෝං “
” ශහ්.. ශෝක් ලකී ඒක කුඩු වෙන්නම බිඳුනා ඉතින් මොනවද ප්රාර්ථනා කළේ..? “
” කැම්පස් යන්න ලැබෙන්න කියල ද..? “
” නෑ අනේ… මේක බිඳෙන්න කියලා ප්රාර්ථනා කළේ..”
” නොදකින් තෝ නම් ගොන් බූරු හිකනලී… &*%$#@$$%&&$*&%$$##%%%…”
නොබිඳුනොත් හොඳ නැති ගිනි පොල් ගෙඩියක් දරා සිටි මා නොදන්නා දෙයියන්ගෙන් වෙන කුමක් නම් ඉල්ලන්න ද..? අලුත් උපමාවක් පාසල් සාහිත්යයට දායාද කරමින් මගේ කාර්යය එසේ නිම වූ නමුත් දේවාල භීතිකාවෙන් නම් තවමත් මා අත්මිදී නැත..
~ ජ’මීලා ~
උපුටා ගැනීම: Nilmini Hettiarachchi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!