ඉස්කෝලෙ තුන වසර පන්තියෙ පුංචි පොලක්.පොලක් කිව්වට මහා ලොකු ක් නෙමෙයි.පන්තිය ඇතුලෙමයි..
ඉතිං පන්ති භාර ටීචර් පුංචි දරුවන්ට කතා කරලා කියනවා මෙන්න මෙහෙම.
” දරුවනේ..හෙට මේ පන්තියෙ පොල..ඔයාල කැමති කැමති දේවල් අරන් එන්න විකුණන්න.හැබැයි විකුණන්න විතරක් නෙමෙයි.යාලුවො ගෙනාපුව අරගන්න සල්ලිත් අරන් එන්න ඕනෙ.”
පුංචි දරුවන්ට හරිම සතුටුයි.
හැබැයි පුංචි මිනෝලිට හරිම දුකයි.
තුනේ පන්තියෙ චූටි දුවෙක් උනාට.එයා දන්නවා කිසිම දෙයක් අරන් දෙන්න අම්මට සල්ලි නෑ කියලා.මොකද ඒ තරමට පුංචි දූට දුක උරුමයි..
මිනෝලි ගෙදරට ගොඩවුණු ගමන් අම්මගෙ ඔඩොක්කුවෙ වාඩි වුණා.
” අම්මෙ හෙට පන්තියෙ පොලක්. කැමති දේවල් ගේන්න කිව්වා.සල්ලිත් ගේන්න කිව්වා.”
අම්මගෙ මූණ මැලවිලා යන හැටි චූටි දෝණි බලන් හිටියා.
ඊලඟ දවසෙ මිනෝලි ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා අම්ම පුංචි බෑග් එකක් අරගෙන ආවා.
” චූටි දූ මං ගහෙන් කතුරුමුරුංගා කඩලා මිටි දෙකක් බැන්දා. බන්ටි ටොපි පහකුත් තියෙනවා..”
දෝණි හරි ආසාවෙන් ඒ ටික තුරුලු කරගත්තා.
පොල පටන් ගන්න දැන් ලෑස්තියි.හැම දරුවෙක්ම තම තමන් ගෙනාපු බඩු එලියට අරගෙන තමන්ගෙ මේසේ උඩින් තියා ගත්තා.
මිනෝලිගෙ චූටි ඇස් හතර වටේටම ඉගිල්ලෙනවා.
ලස්සන ලස්සන ටෙඩි බෙයාර්ස්ලා, ලස්සන බෑග්, ඇඳුම්, පොත්, පෑන්, පැන්සල්..
දෝණිට එයා ගෙනාපු ටොපි ටික දිහා බැලුනා.
ටීචර් වටේට ගිහින් හැම කෙනාගෙම බඩු විකුණන්න ඕනෙ ගණන් ලියනවා.
” ටෙඩි බෙයාර් කෙනෙක් තුන්සියක්.” දෝණිට කියවුණා.
වටේ ගිහින් ටීචර් මිනෝලි ලඟටත් ආවා.
” මේ මොනාද මේ ? මේවා විකුණන්න පුලුවන්ද ? බන්ටි ටොපියක් සත පනහයි. සත පනහට වඩා විකුණන්න පුලුවන්ද මේවා ? අනික මේ කොළ..මේ කොළ මිටියක් රුපියල් පහට විකුණන්න.” ටීචර් හයියෙන් කියෙව්වා.
හැමෝම මිනෝලි දිහා බලාගෙන..පුංචි හිත රිදෙනවා ගොඩක්.දෝණිට අම්මව මතක් වෙලා කදුලු වැල් දෙකක් කම්මුල් දිගේ ගලාගෙන ගියා.
පොල පටන් ගත්තා..
” ලාබයි ….ලාබයි……එන්න …එන්න…”
හැමෝම කෑගහනවා.එහා පන්ති වල ලමයිනුත් ඇවිල්ලා.හැමෝම බඩු ගන්නව.
ගොඩාක් වෙලාවකට පස්සෙ තවත් දුවෙක් ඇවිල්ලා මිනෝලිගෙන් ටොපි හතරක් අරන් යනවා.මිනෝලිට හරි සතුටුයි.
” දැන් පොල ඉවරයි. දැන් නවත්තන්න.” ටීචර් කෑගැහුවා.
හැමෝගෙම ගණන් ටීචර් එකතු කරනවා.
” මිනෝලි කීයද ??? “
ටීචර් ඇහුවා. චූටි මිනෝලි ගුලිකරගෙන හිටපු අත දිග ඇරියා.
” රුපියල් දෙකයි..ඒකනෙ මම කිව්වෙ..අනේ මන්ද මේ අම්මලාට තේරෙන්නැද්ද කියලා..”
ඉස්කෝලේ ඉවරයි. දෝණි හරි පරිස්සමට රුපියල් දෙක බෑග් එකේ දාගත්තා. මැලවිලා තිබුනු කොළ මිටි දෙක විසිකරන්න මිනෝලිට ලෝබයි. අම්ම පව්.
මිටි දෙකත් හිමීට බෑග් එකේ දාගෙන ඉතුරුවෙච්ච ටොපියත් බෑග් එකේ දාගෙන මිනෝලි හරි දුකෙන් ආච්චිත් එක්ක ගෙදර යනවා.
ගෙදර යද්දී අම්ම පාර දිහා බලාගෙන..
දෝණි දුවගෙන ගිහින් අම්මව බදාගන්නව. හිරවෙලා තිබ්බ කදුලු වැල් පිටින් මිනෝලිගෙ ඇස්දෙකෙන් ගලනවා.
අම්ම හිමින් සැරේ දෝණිගෙ බෑග් එක ඇරලා බලනවා..
අම්මගෙ ඇස් වලටත් කදුලු නවත්තගන්න අමාරුයි.
මිනෝලි හරි ඉක්මනට කදුලු පිහදගෙන බෑග් එකේ තිබ්බ රුපියල් දෙක අම්මගෙ අතේ ගුලිකරනවා.
” මං ටොපි හතරක් වික්කා.”
දෝණි හිනාවෙලා කියනව.
———————————————————————
ඉතින් මිනෝලි උසස් පෙළත් කරලා ඉවර උනා.කවදහරි ටීචර් කෙනෙක් වෙන්නයි මිනෝලිගෙ කැමැත්ත. ඒක එයාගෙ ලොකු හීනයක්. ටීචර් කෙනෙක් වෙලා ලමයින්ට උගන්නන විදිය, ලමයින්ගෙ සිතුවිලි තේරුම් ගන්න විදිය, එක සමානව හැම දරුවෙක්ටම සලකන විදිය, ලමයින්ගෙ නැති බැරිකම් තේරුම් ගන්න විදිය..
මේ හැම දෙයක්ම මිනෝලිට කවුරුත් කියලා දෙන්න ඕනෙ නෑ.
” ටීචර් කෙනෙක් වෙනව ” කියන සිතුවිල්ල මිනෝලිගෙ හිතට එන හැම වෙලාවකම මිනෝලිට මතක් වෙන්නෙ තුනේ පන්තියෙ ටීචර්ව..අදටත් ඒ ටීචර්ව මිනෝලිට මග තොටේදි මුණගැහෙනව. මිනෝලිගෙ හිතේ කිසිම තරහක් නෑ.දැක්කොත් හැමදාමත් වැඳලයි යන්නෙ..
හැබැයි ඒ සිදුවීම කවදාවත් මිනෝලිගෙ හිතෙන් අයින් කරන්න බැහැ.
ඒ නිසා ඒ ටීචර්ව මුණගැහෙන හැමදාම කවදාවත් ඒ වගේ ටීචර් කෙනෙක් වෙන්නෙ නෑ කියන එක මිනෝලිගෙ හිතට තදින්ම වැදෙනවා..
———————————————————
ඉතින්…දරුවන්ට පුදුම තරම් ආදරේ කරන, ඒ දරුවන්ගෙ නැති බැරිකම් තේරුම් ගන්න, හැම දරුවෙක්ටම එක වගේ සලකන,මිනෝලි…
දැන් ටීචර් කෙනෙක්……..
– රුමා –
උපුටා ගැනීම: Rumesha De Silva