පොලිස්කාරයා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අර ට්රක් ඩ්රයිවර්ව බිම දාලා පාගන පොලිස්කාරයා ගැන එක එක අය එක එක දේවල් ලියලා තියෙනවා දැක්කා. ඒක දැක්කාම පොලිසිය ගැන මට තියෙන ඇත්දැකීම් ආයෙමත් මතක් වුණා. මට කිව්වට, මම දැන් කියන විදිහේ අත්දැකීම් අපේ ගමේ ඕනෙම කෙනෙක්ට තියෙනවා කියලා මට හිතෙනවා.
මම කොළඹ කොල්ලෙක්. කොළඹ කිව්වම ඉතින් ඔය මහරගම, හෝමාගම කඩුවෙල වගේ නමට කොළඹ නෙමෙයි. ඔරිජිනල් කොළඹ. හරියටම කිව්වොත් කොළඹ 08. බොරැල්ල ආසනයේ වනාතමුල්ල කියන පුංචි ගම තමයි මගේ ගම. වැඩිහිටියෝ කියන විදිහට අපේ ගමේ විශාලත්වය අක්කර 72 ක්ලු.
අපේ ගම අතීතයේ ඉඳලම ප්රසිද්ධියට පත්වෙලා තියෙන්නේ චණ්ඩිකම්වලට. ඊට අමතරව පාතාල ක්රියාකාරකම් සහ මත්ද්රව්ය වගේ දේවලුත් අපේ ගමේ තියෙනවා. ඒ කොහොම වුණත්, කොළඹ 07 කුරුඳුවත්තේ එකා උගේ ගම ගැන ආඩම්බර වෙනවා සහ උගේ ගමට ආදරය කරනවා වගේම මම මගේ ගම ගැන ආඩම්බර වෙනවා. මගේ ගමට ආදරය කරනවා. වනාතමුල්ලේ ඉපැදුණු එක ගැන මට කවදාවත් ලැජ්ජාවක් දැනිලා නැහැ. දැනෙන එකකුත් නැහැ.
අපේ ගමේ එක පැත්තක් අයිති බොරැල්ල පොලිස් වසමට. තවත් කොටසක් අයිති දෙමටගොඩ පොලිස් වසමට. ඉතින් මේ පොලිසි දෙකටම ඕනේ විදිහට තමයි අපි ලොකු මහත් වුණේ.
ඔය පොලිස්කාරයෙක් මිනිහෙක්ට ප්රසිද්ධියේ ගහන එක මේ කාලේ අලුත් දෙයක් වුණාට, ඒ දවස්වලට ඕවා අපිට නම් සාමාන්ය දේවල්. වැරැදි කරපු මිනිස්සුන්ට විතරක් නෙමෙයි, අපේ ගමේ හිටපු කිසිම වැරැද්දක් නොකරපු අහිංසක මිනිස්සුන්ටත් පොලිසියෙන් ගහනවා මම දැකලා තියෙනවා. එකම දේ ඒ දවස්වල ඕවා වීඩියෝ කරන්න විදිහක් තිබ්බේ නැහැ.
ඉස්සර අපේ ගමට පොලිසියෙන් එන්නේ එක එක විදිහේ ආයුධ අරගෙන. ඒ ආයුධ “ස්ටාර් වෝර්ස්” ෆිල්ම් සීරිස් එකේ වත් නැහැ. ඒ දවස්වල ඔය බොරැල්ල පොලිසියේ හිටපු මහත්තුරුන්ට අපේ පැත්තේ ඉන්නේ කුඩ්ඩෝ අමුතු නම් දාලා තිබ්බා. බොරැල්ල පොලිසියේ හිටපු, අපේ ගමේ කුඩ්ඩෝ වැඩියෙන්ම භය රාළහාමි තමයි ආරියවංශ මහත්තයා. කළු මහත දෙකේ හතරේ සයිස් පොරක්. කවදාවත් යුනිෆෝම් එකක් ඇඳලා ඉන්නවා මම දැකලා නැහැ. කොයි වෙලාවෙත් ඉන්නේ සිවිල් පිට. අතේ පොල්ලක් වරදින්නේ නැහැ.
බොරැල්ල පොලිසියේ තවත් නම ගියපු ලයිසන් චණ්ඩි කීප දෙනෙක් හිටියා. ඒ අයට එක එක විදිහේ නම් දාලා තිබ්බා. ගිනි කූරා, ඉඩිඅමීන්, පිස්සු පූසා, සුන්දර් පොලිස්… ඔය වගේ ගොඩ දෙනෙක් හිටියා. මට දැන් හැම නමක්ම මතක නැහැ. ගිනිකූරා සයිස් එකෙන් ගිනිකූරක් වගේ. කෙට්ටුම කෙට්ටුයි.. ඉඩිඅමීන් ඇත්ත ඉඩිඅමීන් වගේමයි. පිස්සු පූසා කියලා නම දාලා තිබ්බ කෙනාට ඒ නම ගැළපෙනවා. එයා නිතරම එහේ මෙහේ ගියේ අමුතු විදිහේ ආයුධ අරගෙන. දවසක බැට් එකක්, තවත් දවසක් විකට් පොල්ලක්, හිටපු ගමන් ප්ලාස්ටික් හෝස් එකක් අරගෙන එනවා. දවසක් මම දැක්කා කියතක් අරගෙන එනවා. නමට ගැළපෙන හැසිරීම.
ඔය කට්ටිය පාරේ යද්දි කාට හරි ගහන්න හිතුණාම හේතුවක් ඕනේ වුණේ නැහැ. අඬ ගහලා එකක් ගහනවා. ඒක පොලිසියේ අයට අමුත්තක් වුණෙත් නැහැ. අපිට අමුත්තක් වුණෙත් නැහැ. දැන් නම් මේ තත්ත්වය ඇත්තෙම නැති තරම්. මොනවා වුණත් අද මිනිස්සුන්ට තමන්ගේ මූලික අයිතිවාසිකම් ගැන හොඳ වැටහීමක් තියෙනවා වගේම, පොලිස්කාරයෙක්ට තියෙන බලතලවල සීමාවන් ගැන පොලිසියටත් දැනුවත් භාවයක් තියෙනවා.
බොරැල්ල සහ දෙමටගොඩ පොලිසි දෙකේ නිලධාරීන්ට අමතරව තවත් පිරිසකුත් හිටපු ගමන් කඩා පාත් වෙනවා. නීතිවිරෝධී දේවල්වලට සම්බන්ධ අය මේ පොලිස් කණ්ඩායම්වලට කියන්නේ “යුනිට් එක” කියලා. මේ අය ඇත්ත වශයෙන්ම එක්කෝ කොළඹ අපරාධ කොට්ඨාශයෙන්, වළාන දූෂන මර්ධන ඒකකයේ එහෙමත් නැතිනම් මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්. මම දන්න තරමින් ඒ අයට ලංකාවේ ඕනෑම තැනක මෙහෙයුම් කරන්න අවසරය තියෙනවා. මේ යුනිට් එකෙන් ගමට ආපු ගමන්ම ගමේ නරක වැඩ කරන අයට ඒ ආරංචිය යනවා. දැන් වගේ මොබයිල් දුරකථන සුළභ නැති ඒ කාලේ මේ ආරංචිය යන්නේ කටින් කට. මේ යුනිට් එක ඉස්සෙල්ලම දකින එකා තමන්ගේ ඉස්සරහට හම්බ වෙන හැම එකාටම “අතනට යුනිට් එකෙන් බැහැලා” කියලා කියනවා. ඌ තවත් එකෙක්ට, ඌ තවත් එකෙක්ට.. මේ විදිහට විනාඩි 2-3 ක් යන කොට මුලු ගමේම වැඩකාරයෝ ටික ගමට යුනිට් එක ආවා කියලා දැන ගන්නවා.
ඒ වගේම තමයි කුඩ්ඩෝ, පාතාලේ උන් සහ කුඩු විකුණන උන් හැමෝම මේ යුනිට් එකට පරාණ බයයි. ඉස්සර නගර සභාවෙන් දඩවාතේ යන බල්ලෝ නැති කරන්න උන්ව අල්ලගෙන ගිහින් මරණවා. ඔය බල්ලෝ අල්ලන වෑන් එක එනකොට බල්ලෝ කොහොම හරි ඉවෙන් දැන ගන්නවා මේ එන්නේ බලු වෑන් එක කියලා. ඉතින් උන් කරන්නේ කොහේට හරි ගිහින් බලු වෑන් එක යන කම් හැංඟිලා ඉන්නවා. යුනිට් එක එනකොට අර මම කලින් කියපු උනුත් ඒ වගේ තමයි. දැන් නම් ඉතින් මොන යුනිට් එක ආවත් ෂේප් කරගන්න ක්රම සහ විදි තියෙනවා.
පොලිසියෙන් කෙරෙන මේ අකටයුතු ගැන හිටපු ගමන් ගමේ මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවලා ගියපු අවස්ථාවනුත් තිබ්බා. ඒ වගේ වෙලාවට ඉතින් පොලිසියේ අයයි ගමේ අයයි පැටෙලෙනවා. ගොඩාක් වෙලාවට වෙන්නේ පොලිස් ජීප් එක දිහාවට ගල් දෙක තුනක් පාවෙලා එන එක. වැඩේ ටිකක් දුර දිග ගිය දවසට, හවසට අහළ පහළ පොලිසි 2-3 කින් ජීප් 7-8 ක් ඇවිත් පාරේ ඉන්න හැමෝටම එළවා එළවා ගහපු අවස්ථාත් තියෙනවා.
දවසක් මාවත් ඔහොම සීන් එකකට මාට්ටු වුණා. එදා හවස පොලිසියයි ගමේ එක පැත්තක ඉන්න අයයි පැටලිලා. එදා මම වැඩ දවසක්. වැඩ ඇරිලා ගෙදර ආපු මම ඇඟ පත හෝදගෙන තේ එකක් එහෙම බීලා සිගරට් එකක් බොන්න එළියට බැස්සා. අම්මා විස්තරේ කියලා එළියට යන්ඩ එපත් කිව්වා. කවුද අනේ ඕවා ගණන් ගන්නේ…?
දැන් වෙලාව 8 ට විතර ඇති. අපේ ෆ්ලැට් මැද්දේ තියෙනවා කොමන් ඒරියා එකක්. එතැන හරි මැද විශාල බෝගහක් එක්ක බුදු පිළිමයක් තියෙනවා. අපි හවස් වෙනකම් යාලුවෝ සෙට් වෙලා සිගරට් එකක් එහෙම බිබී වළ බහින්නේ ඕතැන. අද වැඩිය ඒ පැත්තට නොගියත් මේ ලෝකේ මම වැඩියෙන්ම කැමැති තැන්වලින් උඩින්ම තියෙන තැනක් තමයි ඔය බෝ සෙවන. ජීවිතේ තරුණ කාලේ ගෙවිච්චි තැන.
ඉතින් ඔතැනට වෙලා ඉන්න කොට එකපාරටම පොලිස් ජීප් 2 ක් ඇවිත් අපිට ටිකක් එහායින් නැවැත්තුවා. නවත්තපු ජීප් 2 න් පොලිස්කාරයෝ රොත්තක් එළියට පැන්නා. ඒ අයගේ අතේ එක එක දේවල්. විකට් පොලු, බැට්, රීප්ප පටි, හතරැස් පොලු, රවුම් පොලු… ප්ලාස්ටික් හෝස්… එක පොලිස්කාරයෙක් “අඩෝ #සිගේ පුතාලා එකෙක්වත් දුවන්ඩ එපා” කියලා කෑ ගහගෙන එනවා.
අපිට දුවන්ඩ එපා කියලා ඒ යකා ප්ලාස්ටික් හෝස් එකක් අරන් අපේ පැත්තට දුවගෙන එනවා. කවුද අනේ ඒ වෙලාවට නොදුවා ඉන්නේ. මොකද ප්ලාස්ටික් හෝස් එකෙන් මිනිස්සුන්ට ගහනවා මම දැකලා තියෙනවා. හයියෙන් පිටට පාරක් වැදුණාම පිටේ තියෙන හම ප්ලාස්ටික් බටේ ඇලෙනවා… පිට නිකන් හංවඩු ගැහුවා වගේ.
මම හිටපු තැන ඉඳලා අපේ ගෙදරට වැඩිම වුණොත් මීටර් 100 ක දුරක් තියෙන්න ඇති. කිව්වට විශ්වාස කරන්න එදා තමයි මම ජීවිතේ හයියෙන්ම දුවපු දවස… එදා ආපු පොලිස්කාරයෙක් ගාව “ස්ටොප් වොච්” එකක් තිබිලා මම දුවපු වේගේ ඒ මනුස්සයා මැනලා බැලුවා නම් අද මගේ ජීවිතය මීට වඩා වෙනස් එකක් වෙන්ඩ ඉඩ තිබ්බා. එහෙනම් මේ වෙද්දි මම උසේන් බෝල්ට් ජස්ටින් ගැට්ලින් වගේ කෙටි ධුර ධාවන ශූරයන්ගේ සමකාලීනයෙක්.
දැන් පොලිසියට ඒ සෙල්ලම් දාන්න බැහැ. දැන් හැමෝ ළඟම ස්මාර්ට් ෆෝන් තියෙනවා. පෙට්ටි කඩවලත් සීසීටීවී තියෙනවා. අපි කැමැති වුණත්, නැතත්, එළියට බැහැලා මීටර් 100 ක් ඇවිදගෙන ගියොත් අපේ රූපේ කැමරා 10-12 ක සටහන් වෙනවා.
ඒත් සමහර සිද්ධීන්වලදී සමහර වෙලාවට ඒ කැමරාවල තියෙන ඔක්කොම දත්ත හරිම අභිරහස් විදිහට මැකිලත් යනවා. ඉතින් කරන දෙයක් පරිස්සමින්.. අර ට්රක් ඩ්රයිවර්ගේ ඇඟ උඩට පැනපු පොලිස්කාරයා ගැන කිව්වොත් ඒ මනුස්සයා හෙනම මෝඩයෙක්. ලොක්කව සතුටු කරගන්න ගිහින් වැඩ තහනම් කරගත්තා. මහරගම වගේ ජනාකීර්ණ තැනක නිල ඇඳුමෙන් රෙස්ලින් අල්ලන්න බැහැ කියලා ට්රැෆික් පොලිස්කාරයෙක් විදිහට ඒ මනුස්සයා දැනගෙන ඉන්න ඕනේ.
– අනිල් කරුණාරත්න –

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!