මේක ඉස්කෝලෙ A/L කාලෙ කතාවක්. මන් හය වසරෙ ඉදන් 13 වසරට එනකන්ම නාට්‍ය හා රංගකලාව තමයි කරෙ. සමස්ත ලංකා පාසල් නාට්‍ය තරග වලින් මගේ ඉස්කොලෙත් අනිවාර්යයෙන්ම ප්ලේස් එකක් ගහනවා හැම අවුරුද්දෙම. අපේ ඉස්කෝලෙ බාලිකා පාසලක් නිසා පිරිමි චරිත කරන්නෙත් කෙල්ලොම තමයි. මගේ ගති ලක්ෂන හැටියට මට මේ තාක් ලැබුනෙත් පිරිමි චරිතම තමයි. මේ කියන අවුරුද්දේ හැම්ලට් නාට්‍ය තමයි අපි කරේ. මන් හිටියෙ හැම්ලට්ගෙ ප්‍රේමවන්තියගෙ ඒ කියන්නෙ ඔෆීලියාගෙ තාත්තාගෙ චරිතෙට. වයසක මනුස්සයෙක්. දුවට ගොඩාක් ආදරෙයි. වැරදි අදහස් නිසා මේ තාත්තා හැම්ලට් ඔෆීලියා විවාහයට විරුද්ද වෙනවා. හැම්ලට් නාට්‍ය දැන් මෙතන කියන්න බෑ. අදහසක් ගන්න කීවෙ .
සමස්තලංකා ප්‍රතමස්තානය ගත්තු නිසා දැන් අපිට රූපවාහිනීයෙ ප්‍රධානම මාධ්‍ය ආයතනයෙන් නාට්‍ය වැඩසටහනින් ඇරයුමක් ලැබුනා. මුලු නාට්‍යම පෙන්නුවෙ නෑ දැනෙනම කොටස් ටිකක් තමයි පෙන්නුවෙ. වැඩසටහන ලයිව් දුන්නෙ.
දැන් ඉතින් ආයෙ මූනෙ කෑල්ලක් හරි ටිවි එකේ පෙන්නනවා කියනකොටත් අමුතු මෙව්වා එකක් එනවානෙ ඒ කාලෙ. මූන නැතත් කනේ කෑල්ලක් හරි අහුවෙනවා කියලා දන්න නිසා ඉතින් බය නැතුව ගෙවල් වලට එහෙම කීවා. අපේ අම්මලාටත් ඉතින් කිව්වදා ඉදලා නින්ද යන්නෙ නැ. කොහොමහරි මගෙ මවපියා භාරකරු ගුරුවරු වෙච්චි අහවල් ගුරුතුමා තුමියගෙ බාල දියණිය අහවල්දාට ටිවි මස්තාරූඪ වෙනවා කියලා ගුරුදෙගුරු රැස්වීම පවා කීවා. කොට්න්ම ගමේ මරණාධාර සමිතියෙත් ඕන් ගිහින් කියලා තිබ්බා.
දැන් ගෙදර එකම යුද්දයයි එදාට ඇස්වහ කටවහ වදියි කියලා. යන්න කලින්දා ඉදලා මිරිස් පුච්වනවා. ඔන්න ඉතින් අදාල දවස එලඹුනා.. නමෝ විත්තියෙන් රූපවාහිනීය බලා පිටත් උනා. උදේම හිහිල්ලා දැන් කස්ටියුම් චේන්ජ් කරා. මට සුදු උඩු රැවුලකුත් වැටුනා. ඔය කෙදි ගස් ටික අලවපු වෙලෙ ඉදන් මට කිචි… අදටත් දරුනු කිචි රෝගයකින් පෙලෙන්නියක් වන මා හට එය හෙනම අසීරු කර්තවයක් උනා. ස්ටූඩියෝ රූම් එක කෙලින්ම ආයෙ යකඩ මඩුවක් වගෙ. මයික් උඩින් වටේටම සෙට් කරලා.. කැමරාමන්ලා 4ක් වගේ මතක හැටියට කැමරා මාන්නගෙන ඉන්නවා දැන් දඩයක්කාරයො වගෙ.
අපිව කලින්ම දැනුවත්කරලා තිබ්බෙ කැමරාවට බලන්න ඕන හැටි එහෙම. ලයිව් යන නිසා මොන්ගල් ගති ඉස්මතුවෙයි කියලා මන් පට්ට බයකින් හිටියෙ. වැදගත් තැනක වැදගත් විදියට ඉදලත් මට පුරුදුයිනෙ චූටි කාලෙ ඉදන්ම. ඔය ඔක්කොටම වඩා මන් රත්වෙලා හිටියේ අච්චර අර ගමකට අඩබෙර ගහලා දෙහි කපලා මිරිස් පුච්චලා අඹඇට පුපුරවලා ඇවිල්ලා මගෙ රෙද්දෙ කෑල්ලක් හරි පෙන්නුවෙ නැත්නම් ඉතින් මගෙ රෙදිත් නැ අම්මලාට ඇපත් නැ. පවුලෙ නම්බුව ඉතින් අහසට පිඹිනා තමා. ඒ හින්දා මන් තරයේම හිතට ගත්තා පෙන්නුවෙ නැත්නම් බලෙන් හරි පෙනී ඉන්නවා කියලා. ස්ටූඩියෝ එකේදි සංවාදයක් යනකොට රැන්ඩම් වීව් එකක් තමයි ගන්නෙ, බලෙන් පැන පැන හිනාවෙන්නෙ නැනෙ. කොටින්ම ඇතුලට යනකොටම එහෙම හැසිරෙන්න එපා කියලමයි ගත්තෙත්. දැන් ඉතින් ඉස්කෝලෙ නම්බුව ගැන හිතන්නත් ඕනා..පවුලෙ නම්බුව ගැන හිතන්නත් ඕනා. . දැන් මන් දෙලොකවක් අතර අතරමං වෙලා.මං සැලුනෙ නෑ සහෝදරවරුනි මන් හොරාට හොරාට කැමරාව කොහෙද කැරකෙන්නෙ කියලමයි බලන් හිටියෙ.මන් හොදට කැමරාව හොය හොය ෆේස් කරා. පස්සෙ වීඩියෝ එක බලද්දි තමයි තේරුනෙ මන් ලෙසටම ෆේස් කරලා කියලා. දකුනෙ තියෙන කැමරාවෙන් නම් ශොට් එක අරන් තියෙන්නේ මන් හිනාවෙලා තිබ්බෙ වමේ කැමරාවට. හිතුවා වගේම අඩුවක් නැතුව මගෙ වම් කනයි දකුනු කනයි අගේට අහුවෙලා තිබුනා. ඒත් මදැ යකො!
ඒ ඔක්කොටම වඩා මට පුදුම වදයක් අර රැවුල් රාජයා. එදා රැවුල දාලා තියනවා උඩ වැඩියි. මට හැච්ව්න්ම යන්න එනවා දැන් එකසිය ගානට.. ඒත් ඉතින් කා ගෙන ඉන්නවා.. මොන ඉටි ලබ්බක්වත් කරන්න බැ නෙ කැමරාමන්ලා වෙපන් මාන්නගෙනනෙ. මට කොහොමත් ලෙඩක් තියනවා පාඩුවෙ එකදිගට විනාඩියක්වත් සංවර ලීලාවෙන් ඉන්න බෑ. කන කසන්න හිතෙනවා මුන කසන්න හිතෙනව..නහය කසන්න හිතෙනවා .. දකුන බලන්න හිතනවා.. වම බලන්න හිතෙනවා.. බැරි නම් ඊසාන හරි බලන්න හිතෙනවා. ඔහොම දගලා දගලා ඉන්න්කොට විරාමයක් ගත්තා. අම්මෙ දෙයියනේ කියලා අධ්‍යක්ෂක තුමාට පින්දීදි හොදට කසාගත්තා නහය. සේරම ඇරියස් කවර් කරා.
අනේ අහො…. නහී! නහී! නහී!! රැවුල ලෙහිලා පින්වතුනි… ඒ මදිවට ඊළග ශොට් එක පටන් ගන්නෙ මෙගෙ ඇක්ට් එකකින්ලු.. කාලා වරෙන්කො දැන් ඉතින්. කරන්න දෙයක් නෑ ගත්තා කෙල සුට්ටක් ඇගිල්ලට රැවුල් කෙදි වලට තිබ්බා තද කරා.. දැන් නිකන් දිරච්ච හනස්ස වගේ යාන්තමට රැවුල එල්ලිලා තියනවා. ඒ මිදිවට අරහෙන් දැන් එකයි දෙකයි ගානවා ශොට් එකකට. මෙහෙන් කකුල් මැන්ඩලින් ගහනවා. දකුනු වකුගඩුව ගාසා තීරෙ වගෙ.. බොක්ක නිකන් බිත්තර තම්බන්න පුළුවන් ගානට. නහයට කතා කරගන්න පුළුවන් නම් මගෙ හත්මුතු පරම්පරාවටම පින්දෙනවා ඌට කරලා තියෙන අහෙනියට.. කොටින්ම දැන් නහය හුස්ම ගැනීමෙ ක්‍රියාවලිය පවා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ මේ වෙනකොට තරහටම.
කොහොමහරි අම්මගෙ මූන මතක් කරගෙන පවුලේ නම්බුව වැජබේවා මැරෙනතුරා කියලා මාත් කරලියට එන්ටර් උනා. දැන් ලයිව් යනවා සීන් එක… කට ඇරලා ඔෆීලීයා කියලා විතරයි කීවේ අම්මේ සැප කනේ.. කෙදි නාහේ.. නාහේ තව්තිසාවෙ.. ඒ තරමට වින්දනීයයි නින්දිතයි රැවුල් ගස් නාහෙ අස්සෙ බල්ටි ගහනවා..ඒ අස්සෙ පැත්තක් එල්ලෙනවා. බර වෙච්චි කෙසෙල්කැන වගේ දැන් රැවුල.. දැන් මට සටූඩියො එක දෙකක් වෙන්න හැච්චිමක් යන්න එනවා. කිරි මුත්තේ නම්බුව!!! කතා කරන වචනයක් ගානෙ ඉන්නම බෑ දැන් කිච්. හොංචි කුචි හෙංචි කූචියා හුංචි කුචි කිංචි කිචියා ජිගි ජිගි චා ෆීලින්ග් එකක් ඔන් වෙලා තියනවා දැන්. කන්දෙක රත් වෙලා දුන් දානවා.. අනේ දෙයියනේ මට කැමරා පොලේ ගහන්න හිතෙනවා!!! ඔය අටමගුල අහකට ගනිල්ලකො…තොටත් හොද වැඩේ.. තෝ කවද්ද යකෝ වැදගම්මකට වැඩක් කරේ…තැනකට ගියිත් මුත්‍රා බරක් හරි බොක්ක හරහා හිටිනවා…කාපිය කාපිය.. ඉස්කෝලෙත් කාලෙ පවුලත් කාලා තෝත් බඩ කපාගෙනම මැරිය…මන් දැන් හිතින් මර ලතෝනි දෙනවා.. කට කෑවා මන්…මේ වෙනකොට ටිවි එකට මූන පෙන්නා ගැනීමෙ ආසාව මාධ්‍ය ආයතනේ සිට දකුනු සුඩානය තරම් දුරකට ගිහින් තිබ්බෙ.
සීන් එක ලයිව්… මගෙ ඇස් දෙකෙන් කදුලුත් පැනලා.. සීන් එකෙ තිබ්බෙත් අඩන එකක්, අවුලක් නෑ තරගෙට වඩා තාත්විකව මෙතන වැඩේ යනවා.. දත්මිටි කාගෙන ඩයලොග් කියනවා දැන්.. දැන්නම් පුතේ ලොවෙත් ඉන්න බැ හැච්චිමක් යන්න එනවා එනවා එනවාමයි නවත්තාගන්නම බෑ.. . හැච්චිම ගියොත් ඉතින් ආයෙ රෙද්ද කැඩුවා වගේ තමා!! මේ වෙනකොට දැන් මගෙ ඇස් කන් නාසා පුපුරලා ඉරිතලලා ගිහිල්ලා. මට දැන් තේරෙනවා අර ගැල උනු රැවුල් කෑල්ලක් එල්ලෙනවා එල්ලෙනවා වගේ කියලා. හිගන්නගෙ ප්ලාස්තරේ වගේ රැවුලෙ දකුනු පැත්ත එල්ලෙනවා.
දැන් ස්ක්‍රීන් එකේ මාව තඩියට ලොකු අකුරින් පේනවා. බල බල ඉදලා බෑ .. මහා ඛේදවාචකයක් වෙන්නයි යන්නේ.. අවදි කරා මන් මගේ ඉස්තානෝචිත ප්‍රක්ඣාව. ගණදෙවි නුවණ මෝඩ් ඔන්!!!! ඇක්සොන් එක දුන්නා තිතට!. දුක්කිත විදියට කලකිරිලා වගේ බිම් බලා ගත්තා..නහය මිරිකා ගත්තා ආයෙ මහා ප්රාචීනෙත් ඇඹිරිලා යන්නම. විදුලි වේගෙන් ගෙම්බා සේ දික් කරා දිව. දකුනු දිශාවෙන් එල්ලෙන රැවුල් කෑල්ල ඔබා ගත්තා පිංවතුනි කටට. හිට්ලර්ගෙ රැවුල වනවෙලා වගේ ශේප් එකක් තමයි දැන් තියෙන්නේ. ගිලපු රැවුල කෘන්තක රදනක දත් අස්සෙන් තල්ලට එනකන්ම සෙට් වෙලා. දැන් සනීපයි. බොම්බයි මොටයි ගිලිනවා වගේ. දැන් අර රැවුල් කෙදි ගුලිය කට ඇතුලෙ.. එතනින් එහාට ඩයලොග් මතක නැ.. කොහොමත් කට ඇරගන්නත් බෑ.. ඇරියිත් රැවුල් කෙදි එක්ක කතා කරගන්නත් බෑ.. දැන් මට තේරෙනවා දරුනු කක්කල් කැස්සක් එන්නයි යන්නේ.. හුස්ම ගන්න බෑ.. හුස්ම එන්නෙ නෑ.. කන් පිපිරලා.. ඒසී එකේ දාඩිය දාලා…බොක්ක පැලිලා..නහර ඉලිප්පිලා ඇස් ගෙඩි දෙක එලියට පැනලා.. මිරිස් ගල තිබ්බා වගේ කොර වෙලා..කදුලු පිරිලා… සීන් එක දැන් සුපිරියටම යනවා. පට්ට..මැක්සා.තද..කොර..
නිවේදක උත්තමයා වැඩේ ගොඩ් දැම්මා පින්වතුනි..මද විරාමයක්!! තව ඩිංගයි තුන්කාලයි බාග දෙකයි මන් එතනම සෙට්ටාපොච්චි!!..
ඔන්න ඔහොමයි මන් පවුලෙ නම්බුව රැක්කෙ.. හූම්ම්… බිහයින්ඩ් ද සීන් ඕනෙම නෑ…..!!!