මේ පොඩි කතාව ලියන්නට සිත්වූයේ රූපවාහිනී නාලිකාවක
විකාශනය වූ එක්තරා
සිත් ඇදගන්නා ප්රචාරාත්මක දැන්වීමක් දුටුවාට පසුවයි.පළමුව ඒ නාලිකාවට මගේ කෘතඥතාවය..සමාජයට
යහපත් පණිවිඩයක් ඒ තුල
ගැබ්වී ඇති නිසා අඩයාලම රසික රසිකාවියන්ට ඒ කතාව කියන්න හිතුනා.
සුබා සහ සමන් විවාහපත්
වෙලා පුංචි කැදැල්ලක කල්ගතකරන යුවලක්. සුබා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැමියාට ආදරේ කරන හොඳ බිරිඳක්.
ස්වාමියා රැකියාවට ගියපසු නිවසේ සියළුම වැඩකටයුතු සිදු වන්නේ ඇය අතින්.
දවසක් ඇයට හිතුනා රෑ කෑමට ගෙදර පිටුපස කොස්ගහෙන් ගැට පොලොස් ගෙඩියක් කඩල උයලා සැමියාට පිළිගන්වන්න.
ඇය කොහොමහරි පොලොස් ගැටේ කඩලා ඇයට හැකි උපරිම අයුරින් ඒක උයලා පිළිවෙල කලා. ඒකත් ඉතින් ලේසිම නෑනේ
ගෙඩිය කඩලා කොහොල්ලෑ ඇරලා ,කපලා ,මිරිස් තුනපහ අඩුම කුඩුම
ලැහැස්ති කරලා පොල් ගාලා කිරිපදමට දාලා…එහෙම.
හවස සමන් රැකියාවට ගිහිල්ලා ගෙදරට ගොඩ
උනා. “ඔයාට මහන්සියි වගේ “ඇඟපත සෝදගෙන ආව සැමියාට තේ එකක් පිළිගන්වන ගමන් ඇය කිව්වා.
රෑ කෑම වෙලාවත් ආවා. දැන් ඇයට හරි හදිස්සියි ඇය මහන්සි වෙලා හදපු පොලොස් ගැට මාලුව එක්ක කෑම සැමියාට පිළිගන්වන්න.
කෑමට දෙන්නා එක්ක ඉඳගත්තා. ” සමන් ඔයාට අද මම රස කෑමක් හැදුවා බත් කන්න , පොලොස් ඇඹුල් ” ඇය සමන්ගේ පිඟානට බත් වෑංජන බෙදන ගමන් කිව්වා.
දැන් සමන් කරබාගෙන කෑම කනවා. සුබාට ඉවසිල්ලක් නෑ සැමියා පොලොස් වෑංජනේ ගැන වර්ණනා කරන කල්.
හොඳට සප්පායම් වෙලා සමන් කියනවා ” සුබා අපේ අම්මා ඉස්සර පොලොස් ගැට මාලුව හදනවා..පුදුම රසක් ඒක”කියලා ….
අනේ එතනින් එහාට ඇගේ සිතේ ඇතිවුන සිතිවිල්ල ගැන මා, මෙය කියවන ඔබට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ…
එකිනෙකා අගය කිරීමට මැලි අප තුල ඇති උඩඟු කම,නොහැකියාව නේද?
උපුටා ගැනීම: Sepali Ediriweera