මම ගැටය කාලේ හිතුවා මේ ලෝකෙ මොකෙක් හරි ‘පොරක්’ වෙන්න ඕනෙ කියලා. ඉස් ඉස්සෙලම හම්බුනේ මූණ පුරාවට රැවුල වවාගෙන අපේ ප්රාග්ධනය උදුරගන්න වගේ ෆොටෝ එකක් තියන කාල් මාක්ස්ගෙ පොතක්. මම හිතුවා ඒ වගේ ලොකු උගතෙක් වෙන්න. ඒත් ඉතින් මොන තරන් ට්රයි කරත් ඉස්කෝලේ විභාග එක දිගටම සවුත්තු වෙනකොට දැන ගත්තා මට සාමාන්ය මිනිහෙකුට වඩා අඩුවෙන් මොලේ තියෙන්නෙ කියලා. උඹල දන්නවනේ අපේ හිස් කට්ට ඇතුලෙ තියන මොලේ සම්පූර්නයෙන් හිස් කට්ට පුරවලා නෑ කියලා. ඒ කියන්නේ ඇතුලෙම තියෙන්නේ කුහරයක්. ඉතින් ඔය කුහරෙ වැඩි වෙන්න වැඩි වෙන්න ගොන් වැඩ කරනවා වැඩියි. සාර්ථකව ගොන් වැඩ ගොඩාක් කරමින් යනකොට මට තේරුනා මට ලොකු උගතෙක් වෙන්න බෑ කුහරෙ වැඩියි කියලා.
ඊට පස්සෙ මම දැක්කේ අපේ ගෙවල් පැත්තෙ වජිරාරාමයේ වැඩ විසූ හාමුදුරුවෝ. එතුමට පුදුම දැනීමක් තිබ්බේ බුදු දහම ගැන. ඒ වගේම තරුන වුනත් පුදුම හික් මීමක්. ඉතින් මට හිතුනා හොඳ සිල් වන්තයෙක් වෙන්න. ඉස් ඉස්සෙලම කියලා ට්රයි කරා පන්සලේ සිල් ගන්න. මොන! මගෙ ඉස්සරහින්ම වාඩි වුනේ දැක්කත් මගේ ඉඳුරන් කාමේසුමිච්චාචාරා හඬ නගන ඉන්ඳු (ඇත්ත නම නොවේ). ඉතින් කොහෙද ආයුබොවන් සිල් ගන්නේ? ඉන්ඳු වාඩි වුනේම මට ඇහැක් ගහලා. ඒ වැඩේ හරි යන් නෑ.
ඊට පස්සෙ මම දැක්කේ විවියන් රිචඩ්ස්. වෙස්ට් ඉන්ඩීස් කාරයෝ ක්රිකට් රජවරු ඒ කාලේ. රිචඩ්ස් තමා ඒකෙත් පොර. මටත් හිතුන පට්ට ක්රිකටර් කෙනෙක් වෙන්න. එහෙම වෙලා ලොව පුරා ක්රිකට් සහ අනිත් හැම දේම ගහ ගහ ඇවිදින්න. ප්රැක්ටිස් ගියා. පලවෙනි බෝලෙම වැදුන කියහන්කෝ නිබ්බුත පද දෙකේ!! ඇති ඒ දෙක කටින් ආවෙ නැති එක. අම්මෝ ගාගෙන වැටුනේ ලෝකල් විවියන්. ආයෙ ගියෙ නෑ.
ඊට පස්සෙ හිතුවා නිව් සීලන්ඩ් ඕල් බ්ලැක්ස් ටීම් එකේ වගේ ලෝ සුපතල රගර් ක්රීඩකයෙක් වෙන්න. ගෑනුත් කැමතිනේ හොඳට මස් තියන හයිය කොල්ලන්ට කියලා ඔන්න ප්රැක්ටිස් ගියා. හයේ හතරෙ සුමනයා ඇවිත් දුන්න ටැකල් එකක් උදේට කාපු කිරිබතුයි කට්ට සම්බලෙයි කටින් එන්න. ඌ ඒ මදිවට ‘ඇද්ද ගෙරිය තොට’ කියලා කින්ඩියකුත් දැම්මා. ඕකා මගේ පැන්සල උස්සලා මම ඕකට ටීචර් ලවා ගස්සපු තරහ ඌ ගත්තේ අවුරුදු ගානකට පස්සෙ. වල් බල්ලා. ආයෙ ගියෙ නෑ.
මම කැලෑවට ආස හින්ඳා හිතුවා ලෝ සුපතල වල් අලි එක්ස්පර්ට් කෙනෙක් වෙන සබා ඩග්ලස් හැමිල්ටන් කියන අතිශය රූමත් යුවතිය වගේ අලි පිලිබඳ එකස්පර්ට් කෙනෙක් වෙන්නන් කියලා. එයා අප්රිකාවේ අලි ලඟටම යනවා බය නැතුව. මාත් ඕක කරන්න කියලා පානම් පත්තුවේ පානම ගමේ මගෙ යාලු ගැමියො දෙන්නෙක් එක්ක උන්ගෙ හේනට ආපු අලියෙක් ලඟට ඇවිද්දා. ලඟට කිව්වට ඉතින් අපි හිටියේ මීටර් තිහක් විතර ඈත. මෙහෙම බය වෙලා බෑ කියලා තව අඩියයි ගත්තේ. ‘පපර ප්රෑන් පෑන්.. පපර පපර පෑන්’ ගගා අරූ නිදහස් දිනේදී ට්රම්පට් ගහනවා වගේ සද්දෙත් දාන් පැන්නුවනේ බොල. යකෝ උඹලට හිනා. දිව්වා මාර වේගෙන්. හේනෙ පැල ඇතුලට පුතය ආවේ හරස් අතට! කෙලින්ම ලිපේ නැවතුනේ මූනෙ අලුත් ගාගෙන ගරා යකා වගේ. අලිය ලඟට ආවනන් ඌත් දුවනවා ඒ මූන දැකලා. හැමිල්ටන් පකිල්ටන් වුනා.
‘මල්ලියට මාර හයියෙන් දුවන්න පුලුවන්නේ’ කියලා ඒ ගැමියෝ කිව්ව හින්ඳා ඊට පස්සෙ හිතුවා කාල් ලුවිස් වගේ කෙටි දුර ධාවකයෙක් වෙන්න. ප්රැක්ස්ටිස් කරා උදේ හවා පොඩි ජන්ගියක් වගේ කොටම කොට කලිසමක් ඇඳන්. ඉස්කෝලෙ කෙල්ලො ඒක දැකලා අතින් කට වහන් හිනා වෙන්න ගත්තා. ‘වීර්ය ඇත්තා නොසැලේ’ කියල හිතන් ඒත් ප්රැක්ටිස් කරා. අනේ නිවාසාන්තර මලල ක්රීඩා තරඟේ තේරුම් වටේදී කෙන්ඩා පැන්නනේ බොල අපේ අර පාර්ලිමේන්තුවේ උන් නොපනින පිම්මක්! යාලුවෝ උස්සන් ආවේ කූඩාරමට. කලන්තෙත් හැදුනද කොහෙදෝ. ඔක්කොමත් හරි ගෙදර ආපුවාම නන්ඟි කිව්වා ‘අනේ සුසාන් අයියා අර ජන්ඟිය අඳින්න එපා මගේ යාලුවෝ මගෙන් අහනවා ඔයාගේ එකක්ද’ කියලා. ඒකෙන් පස්සෙ දිවිල්ල නැවතුනා.
ඊට පස්සෙ හිතුවා ජැක් වෙල්ච් වගේ ලෝ සුපතල ප්රධාන විධායකයෙක් වෙන්න. එතුමා ජෙනරල් ඉලෙක්ටිකල්ස් කියන ලෝක ප්රකට කොම්පැනියේ ප්රධාන විධායක. ඉතින් යකෝ මාව කවුරුත් සී ඊ ඕ කෙනෙක් කරන් නෑනේ එක පාරටම. රස්සාවලට බැඳිලා හිතුවා ඉතා ඉක්මනින් ඉහලට යන්න. මොන! තාමත් ඒ බැඳෙන කාලෙ තිබ්බ පඩියට වඩා ඕන්නන් සීයට තිහක් හොයනව ඇති. අර ගමේ ජැක් කඩන එකාට වඩානන් ටිකාක් විතර සල්ලි තියනවා. ඒක හරි යන් නෑ බන්.
පස්සෙ හිතුවා රොමියෝ වගේ පට්ට ප්රේමවන්තයෙක් වෙන්න. හපොයි දෙයියනේ. පලවෙනි කෙල්ලගේ අයිය නෙලුවා රෝමියෝගේ දත් තිස් දෙකෙන් සීයට විසි පහක් කැඩෙන්න. අයියලත් එක්ක ප්රේමවන්තියෝ හිටියේ නෑනේ රෝමියෝට. ඌ හරිම වාසනාවන්තයි.
ඊට පස්සෙ හිතුවා මයික් ටයිසන් වගේ පට්ට බොක්සර් කෙනෙක් වෙන්න. කෑවා බිත්තර දහය ගානේ දවසට. යකඩ ඉස්සුවා. මස් ගොබිල හදා ගත්තා. හම්පඩ ගැහිච්ච බොක්සින් ග්ලවුස් දෙකක් ගෙනත් අහුවෙන අහුවෙන දේවල් වලට පහර දුන්නා ටයිසන් වගේ. වැරදිලා වැදුනා එකක් කඩේ මුදලාලිගේ මදාවි පුතාගෙ හක්කේ. ‘ඔහෙ හිටපිය ශුක්ර ධාතුවා’ කියලා ඌ මට බිම දාගෙන නෙලුවා. ග්ලවුස් වලින් චූ පිහ පිහ ආවේ ටයිසන්.
ඊට පස්සෙ මම කල්පනා කරන්න ගත්තා මට කාවවත් වෙන්න බෑ සුසන්ත ඇරුනම කියලා. ඔන්න ඔහෙ ඉන්න ගත්තා සුසන්ත විදියට විහිලුවක් තහලුවක් කරන් සරලව. නිර්මලත් කැමති හැබැයි සුසන්තට කිව්ව. ඒ මදෑ..
උපුටා ගැනීම: Susantha Pethiyagoda