කලින් ලිපියෙදි මම බෝඩිමේදි අපි කෑම බීම හොයාගන්න කල අති මහත් (අ)සුන්දර ප්රයත්නයන් ගැන ලිව්වනෙ.
එදින බත් වෙනුවට රැග කාපු අපි විවේක කාලය හමාර බැවින් ඊලග දේශනයට වාඩි උනෙමු. මේ කෙරුවාව හෙටත් කල නොහැකි හෙයින් දවල් කෑම එක උදේම රැගෙන යාමට සිතා ලග ඇති කඩයකට ගොඩ වූයේ ඒ වෙනකොට හදන්න දන්නා එකම ප්රියතම රාජබෝජනය වන මැගී පැකට් එකක් ගන්නය.
“මොනවාද ඕන” ඒ මුදලාලිය
“අපිට මැගී පැකට් තුනක් ” මම කීවේය
“ඔයාලා අලුත් ලමයි ද?” ඒ මුදලාලිගේ නෝනාය.
ඊට පසු අපි ඇය සමග පිලිසදරේ යෙදුන අතර අපට උන අකරතැබ්බය ගැනද, කෑම උයාගන්න නොදන්නා කමද, කෑම ගැනීමට ඇති තැන් ගැනද විස්තර කතා කලාය.
අන්තිමට ඔන්න මුදලාලි ඇන්ටි අපි තිදෙනාට උදේම බත් පැකට් දෙන්න කැමති උනාය. ඇන්ටි කෑම දෙන්න කැමති උනාට එයා ටිකක් ආඩම්බර කාරිය. දෙමහල් නිවසක් හිමි මුදලාලි හාමිනේ කෙනෙක් වන ඇය කතෝලික, මනාවට ඇද පැලද සිටිනා රූබර ලදකිය. බත් මුල් දෙන්නට පොරොන්දු උවද කොන්දේසි සහිතය.
1.කෑම දෙන බව කිසිවෙක් නොදැන ගත යුතුය.
2.කැන්ටිමේ කෑම එක ඒ කාලයේ රුපියල් 10කි. ඇයගේ කෑම එක රුපියල් 25කි.
3.ඉරිදා කැම ගැනීමට පැමිනිය යුත්තේ සවස දෙකටය. ඒ ඇය පල්ලි යන නිසාවෙනි. දෙක උනත් අපි ඒ බත් එක ගන්න කැමතිය. මොකද එදාට බත් එක ඉස්තරම්ය.
4.කෑම ගැනීමට ගෙදර දොර ලගට එන්නත් බැරිය . කඩේ කවුන්ටරය ලගට ඇවිත් මුදලලි අංකල්ට කිව්වාම ඇය එය කවුන්ටරයෙන් අපට ලබාදේ. (කඩේ සහ ගෙදර එකම වත්තේය) එයද ලබා දෙන්නේ, වට පිට බලා කවුරුන් හෝ පෙනෙන්නට නොසිටි විටය. කඩේටදෙතුන් දෙනෙක් ඇවිත් සිටියොතින් අපිට දෙය්යන්ගේම පිහිටය. කකුල් කෙඩෙත්තුව හැදෙනකම් සිටගෙන සිටිය යුතුය.
සමහර දිනවලට කැම්පස් එකේ මුල් දේශනයේ භාගයක්ම ඉවරය. ඒ කෙසේ වෙතත් කුඩු කෑ ඇත්තන් සේ අපිද ඇංටිගේ බත් මුලටම ඇබ්බැහි වීය.
දැන් කෑම ගැනීමට පටන් ගෙන තුන් මාසයකටත් වැඩිය. ඒ ඉරිදා දිනයකි. අපි උදේ වරුවේ නා කියාගෙන, රෙදි සෝදා වේලාගෙන නිවිසැනසිල්ලේ 2.30ට පමණ කෑම ගැනීමට පැමිණියත්, අද කවදාවත් නැතිව කඩය වසා දමලාය. ඇංටි අපිට කෑම නොදෙන බවක් කලින් නොකීවේය. යකෙක් කන්න තරම් බඩගිනිය. නීතී රැකීම නම් කල නොහැකිය. හෙමින් සීරුවේ ගෙදර මහ දොර ලගට සේන්දු වුනේය.
අහෝ ඛේදයකි!
ගෙදරට අමුත්තන් පැමිනිලාය.
අපි බීරාන්තට්ටු වෙලාය.
දැන් හොරෙන් කෑම දෙන ඇන්ටි ගේ බිස්නස් එක ඇන්ටි ගේ හත්මුතු පරම්පරාවම දැනගන්නා නියායකිය.
මුදලාලි අංකල් පණ ගැහෙන මුව පොව්වෙකු සේ හෙමින් හෙමින් අපවෙත ලගාවිය. ඇත්තටම අංකල් කාරයා ඉතා අහිංසක චරිතයක් ය. හැමදාම ඇංටිට මුල් තැන දුන්නේය.
“පොඩ්ඩක් ඉන්න මම ඇංටිට කතා කරන්නම්” කියමින් ඔහු ඇතුලට ගියාය.
මුදලාලි ගේ ලොකු දුවගේ හොම්බ බිම ඇනෙන සයිස්ය. ඇය ඉතා රූප සම්පන්න තැනැත්තියක් වූ අතර ආඩම්බර කාරියෙකිය. කිසි දිනක ඇය අප සමග කතා නැතිය. ඇය එදින ජැන්ඩි පහට ඇදලාය. ඈ ලගින්ම සිටි කඩවසම් ඉලංදාරියෙක් අප කවුරුදැයි අසනවා යාන්තමට ඇසුණාය.
දනි පනිගා අඩියට දෙකට කුස්සිය තරණය කොට සාලය මැදින් ආ ඇන්ටි දැන් අපි ඉදිරියේය.
” ඔයාලා දැන් යන්න. මම කෑම එක එවන්නම්.” ළගම හිටිය අපිටවත් නෑසෙන ලෙස ඇන්ටි කෙදිරුවාය. පසුව ආරංචි වුන හැටියට එදා ලොකු දුවගේ කොල්ලා මුල් වතාවට තම නෑදෑ සනුහරේ සමග “වෙන්ඩ නෝනා” බලන්න හා හා පුරා කියා ඇවිල්ලාය.
ඔය ඔක්කොම සංදර්ශන ඉවර වෙනකොට වේලාව 3ත් පහුවෙලාය. යකෙක් කන්න බඩ ගිනිය.
අපි පරාජිත ලීලාවෙන් පාන් කියා ගන්නටවත් බැරිව අපේ බෝඩිමට බඩ ගෑවාය.
තවත් විනාඩි 30ක් ගිය තැන අන්කල් අපේ ගේට්ටුව ලගට පැමිණියාය. මා කලින් කියා ඇති පරිදි අපේ බෝඩිමේ ගේට්ටුවෙන් ඇතුලට ඒමට නම් නීති කන්දරාවකි. ගේට්ටුව අපේ කාමරයට නොපෙනෙන අතර, ඒ කාලේ සන්නිවේදනයේ තිබුන දුර්වලතාවය හේතුවෙන් අන්කල්ට කෑම තුනත් අතින් දරාගෙන, විනාඩි 15ක් ම ගේට්ටුව ලග රුවන් සක්මනෙහි යෙදීමට සිදුවිය.
පාරට පෙනෙන කාමරයේ සිටි සොයුරියක් ජනේලයෙන් පාර දෙසට ඇන්ටනාව දමන අතර, කඩේ මුදලාලි ගේට්ටුව ලග කරක් ගසනු දැක සභාවට දැනුම් දුන්නාය.
ඊයක වේගයෙන් ඒ දෙසට ඇදුණු අප එදින කෑම කන්නට ගත් වෙලාව ගනන් බැලුවේ නම් ගිනස් පොතේ අපේ නම තිබෙනු නොඅනුමානය.
එතැන් පටන් එම බත් ගෙඩියට අපේ චමරියේ උන් ” පොශ් බත් ගෙඩිය ” යැයි නම් තැබුවේය.
කෙසේ වෙතත් අපිට බත් දී අලුත් ව්ය්යාපාරයකට අත ගැසූ ඇන්ටි, එය රහ වැටී, පසුව එලිපිටම බොහෝ දෙනෙක් වෙනුවෙන් බිස්නස් එක කරගෙන යනු වසර හතර අවසාන වී කැම්පස් එකෙන් එනකම්ම අපි දුටුවේය.
උපුටා ගැනීම: Ashoka Ranabahu