මං හරිම ආසයි පැණි වළලු වලට. ඒ නිසා ලැබුනු පුංචි විවේකයෙදි පොත් අල්මාරිය අවුස්සල හොයා ගත්ත පැණි වළලු . මම මේ කිව්වෙ ගංගානාත් දිසානායක මහත්මයගෙ තීරු ලිපි එකතුව. පැණි වළලු ගැන. කියවල කියවල කට පාඩම් වෙලා තිබුනු කතා අතරෙ ප්රභාස්වර සිත ගැන කියන කතාව කියවගෙන යද්දි හිත දිව්ව අම්මල තාත්තල එක්ක ගමේ ගෙදර ජීවත් වෙච්ච අතීතෙට.
මගෙ ගමේ ගෙදරට අල්ලපු වත්තෙ හිටිය පවුලෙ එක දැරිවියක් දරුවෙක් ලැබෙන්නයි හිටියෙ. මොකක් හරි අවාසනාවන්ත සිදුවීමක් නිසා ඒ දරුවට හිමිකම් කියන්න නීතියෙන් බැඳුනු පියෙක් හිටියෙනෑ. මුලු ගමම ඒක දැක්කෙ මහා අපරාදයක් විදිහට. ඒ දැරිවිට අනුකම්පා කරපු කෙනෙක් හිටියෙවත් නැති තරම්.
හැම දෙයක් දිහාම සමබරව හිතන මගෙ අම්ම තාත්තවත් ඒ සිද්දියෙදි නම් සානුකම්පිත අදහස් දරන බවක් මට නම් පෙනුනෙ නෑ.
මගෙ වයසෙම ඒ දැරිවි ගැන දුක් වෙනව මිස වෙන කරන්න දෙයක් තිබුනෙත් නෑ. “යනව හෙම නෙමෙයි කතාවට” කියන අම්මගෙ වචනෙට ඉහලින් වැඩ නෑ නොවැ ඉතින්.
දවසක් උදේම නෑදෑයො කට්ටියක් අපේ ගෙදර ඇවිත්. අම්ම ගජරාමෙට උයනව. මගෙ කාමරේ ජනේලෙන් මිදුල දිහා බලන හැම වෙලාවෙම මම දැක්ක රුවනි (එයාගෙ නම රුවනි) වැට අයිනෙ කොස් ගහට මුවා වෙලා අපේ ගේ පැත්ත බලනව. මට අම්මගෙ තහංචි අමතක උනා.
” මොනවද ඔයා බලන්නෙ” වැට අයිනට ගිහින් මම ඇහුව.
” අනේ නංගි මට ඔයාලගෙ ගෙදර හදන කැරට් සම්බෝලෙක සුවඳ දැනෙනව. නැන්ද බනියි කියල ඉල්ලන්න බයේ මම ඉන්නෙ”
එයා එහෙම කිව්වෙ ඇහෙන නෑහෙන ගානට. මම මොනවද කරන්නෙ?
” දුව ඔයාට මොකද්ද ඔතන තියෙන කතාව?”
අම්ම කුස්සියෙ ජනේලෙන් එබීගෙන රතිඤ්ඤා පුපුරන සද්දෙන් කෑගහුව. මම හැරිල බලනකොටත් රුවනි අතුරුදහන්.
හෙමින් හෙමින් ගෙට ආව මම ඇත්තම කතාව අම්මට කිව්වෙ ඇස්වල කඳුලු පුරවගෙන.
අම්ම මොකුත්ම නොකිය තාත්ත දිහා බැලුව.
එලියට බැහැල ගිය තාත්ත ආපහු ආවෙ කෙසෙල් අගිස්සකුත් අරගෙන. විනාඩි පහකින් තැවිච්ච කෙසෙල් කොලේ සුවඳ දිදී අතක් බර බත් මුලක් මගෙ අතට ආව.
” ඔයාම ගිහින් දීල එන්න. ” අම්ම කිව්ව.
” අපටත් එකෙක් හරි කෙල්ලෙක් ඉන්නවනෙ. දොලදුක කියන්නෙ ඉවසන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ” තාත්ත කිව්වෙ එච්චරමයි.
එදා ඉඳන් දරුව ලැබෙනතුරුම රුවනිගෙ තුන් වේලම අපේ ගෙදරින් ඒ පැත්තට ගියා වැටට උඩින්. දරුව ලැබුනු දවසෙ අම්මගෙ අතින්ම හැදූනු කායම් හොද්දකුත් හෝර්ලික්ස් බෝතලයක් පුරවල රුවනිගෙ අම්මගෙ අතට මාරු උනා කතා බහක් නැතිවම.
පැණි වළලු පොතේ කියනව වගේ එදා මගෙ අම්මටයි තාත්තටත් පහල වෙන්න ඇත්තෙ ප්රභාස්වර සිතක්මයි.
ඒ ප්රභාස්වර සිතේ ආනුභාවයෙන් වෙන්න ඇතිකිසිම දුකක් කරදරයක් නැතිව නිරෝගී පුතාල දෙන්නෙක්ම ලබන්න මට වාසනාව ලැබුනෙ.
ලැබෙන හැම අවස්තාවකම ප්රභාස්වර සිතක් ඇති කරගන්න මමත් දැන් උත්සාහ කරනව.
උපුටා ගැනීම: සුනීතා ප්රනාන්දු