ප්‍රථම හා අවසන් ප්‍රේමය (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කතාවක් අහලා තියෙනවා හැමෝටම අමතක වෙන්නෙ නැත්තේ ප්රථම ප්රේමය නෙමෙයි හිතට දැනුනු ප්රේමය කියලා. ඔව් ඒක හරියටම හරි..
මටත් තියෙනවා එහෙම කතාවක්. ලස්සන සුන්දර හිතට දැනුනු ආදර කතාවක්.. හිතුනා ඒක ඔයාලා එක්ක බෙදා හදා ගන්න.
එතකොට මං 11 වසරේ.. සාමාන්ය පෙල විභාගය නිසා අපිට හැමදාම සවස පන්ති තිබුනා.. ඉතින් මාත් මගේ යාළුවාත් පන්ති ඉවර වෙලා හොරණ ටවුන් එකට ඇවිදගෙන යන්නේ රටේ නැති වල් පල් කියව කියව..
දවස් දෙක තුනක ඉඳලා කලුයි සුදුයි ඇඳගත් කොල්ලො සෙට් එකක් අපිව ෆලෝ කරන බවත්, පස්සෙන් ම ඇවිත් ඒ සෙට් එකේ කොල්ලො තුන් දෙනෙක් විතර අපි නගින 120 හොරණ – කොලඹ බස් එකටම නගින බවත් අපිට තේරිලා තිබ්බෙ.
දවසක්… බස් එකේ මායි යාළුවයි ඉඳගත්ත තැනම මේ කොල්ලො ටික හිටගෙන හිටියේ. ‘කහතුඩුව එකයි’ කියලා යාළුවා ටිකට් එකක් ගත්තා. කොල්ලො ටික හ්ම්ම් සද්ද නෑ. ‘වෑතර එකයි’ කියලා මං සල්ලි දුන්නා විතරයි කොල්ලො ටික කෑගහන්න ගත්තේ ‘අම්මටසිරි වෑතර පැත්තෙ බං’ කිය කියා..
එතනදී තමයි කවුරු නමුත් එන්නෙ මගෙ පස්සෙන් කියලා තේරුනේ..
දවස් දෙකක් වගේ යද්දි බලන විදිහෙන්, හිනාවෙන විදිහෙන් කොල්ලා කවුද කියලා මටත් හොයාගන්න ලේසි වුනා..
එයා ගැන විස්තරයක් කියන්නම්.
එයාගේ නම සමීර.. මට වඩා අවුරුදු තුනක් වැඩිමල්. කෙල්ලන්ට වඩා ලස්සන කලු පාට කෝපි බිංදු දෙකක් වගේ වශී වෙලා යන ඇස් දෙකක් එයාට තිබුනා. කූරු කූරු කොන්ඩේ උඩට ජෙල් කරලා, සුදු අත්දිග කමිසෙට කලු කලිසම ඇදලා හරිම කඩවසම්. එයාට තිබ්බෙ ඕනිම කෙල්ලෙක්ට දෙපාරක් බැලෙන විදිහෙ පෙනුමක්.
එයාගෙ ආදරණීය වචන වලින් මටත් නොදැනීම එයා මාව එයාගේ ලඟටම ඇදලා ගත්තා කිව්වොත් හරි. හිතුවටත් වඩා ඉක්මනට අපි දෙන්නා ආදරය කරන්න පටන් ගත්තා.
සමීර කියන්නෙ මගේ ජීවිතේ තුන් වෙනි ආදරය.. (අනික් දෙක ගැන වෙන වෙලාවක කියන්නම්) හරියටම කිව්වොත් ඒ කාලේ හැටියට එයාව උදෙන්ම නොදැක්කොත් (මං යන බස් එකට නැග්ගෙ නැත්නම්) එදා දවසම විනාසයි වගේ හැඟීමක් ඇතිවුනේ.
මෙහෙම කාලයක් යද්දි සාමාන්ය පෙල ඉවර වුනාම මට පුංචි ජංගම දුරකතනයක් ලැබුනා බාප්පා ගෙන් තෑග්ගක් විදිහට. ප්රතිඵල එනකන් ගෙදර හිටපු මුල් කාලේ පුලුවන් හැම වෙලේකම එයා එක්ක කතා කරන්නයි මං පුරුදු වුනේ.
හොඳම දේ තමයි එයා ලඟ ජංගම දුරකථනයක් නැති නිසා මං එක්ක කතා කරන්න තිබ්බ උවමනාවට ගෙදර තිබ්බ සී.ඩී.එම්.ඒ දුරකතනය එයා වැඩිදුර අධ්යාපනය හදාරපු ආයතනයට හොරෙන් අරන් ගිය එක..
කොහොමහරි උසස් පෙල පටන් ගන්නකන් ගෙදර නිකන් ඉන්න බැරි නිසා මායි යාළුවයි අපේ පාසලේම පරිඝණක පාඨමාලාව හදාරන්න පටන් ගත් නිසා එයාටයි මටයි හැමදාම හමුවෙන්න අවස්තාවන් ගොඩක් ලැබුනා.
අපි ආසම වැස්සට.. එක කුඩයක් යට කිටි කිටියේ තුරුල් වෙලා හිටපු මතකයන් හොරණ ටවුන් එකේ අස්සක් මුල්ලක් නෑරම තියෙනවා.
120 බස් එකේ අන්තිම ශීට් එකේ මුල්ලට වෙලා අත් පටලගෙන මුහුණ ට මුහුණ බලාගෙන හිටපුවාර අනන්තයි. එයාගෙන් ලැබුනු පලවෙනි හාදුවත් එක්ක (ඒක තමයි මට වෙනත් පිරිමියෙකුගෙන් ලැබුන මුල්ම හාදුව) ඇඟ කිලිපොලා ගිය හැටි තාම දැනෙනවා මතක් වෙනවා.. මගේ ජීවිතේ මේ අවුරුදු 29 පුරාවටම ලැබුනු උණුසුම්ම , සුන්දරම ආදරය මට ලැබුනේ සමීරගෙන්.
මේ විදිහට අපි දෙන්නා අවුරුදු 5ක් ආදරය කලා. ඒත් මං පාසල් ගිය කෙල්ලගේ චරිතයෙන් මිදිලා ටික ටික සමාජයට හුරු වෙද්දි මට එයාගේ වෙනසක් දැනෙන්න පටන් ගත්තා.. එයා මං එක්ක හේතුවක් නැතුවත් රණ්ඩු කරන්න පටන් ගත්තා.. ගොඩක් ඉවසන, පාඩුවේ හිටපු චරිතයක් වුන මං දන්නෙම නැතුව කාවවත් පෙන්නන්න බැරි, කිසි පාලනයක් නැති කේන්තියෙන් වියරුවෙන් හැසිරෙන යක්ෂණියක් වුනේ ඇත්තටම එයාගේ මේ අමුතු වෙනස් වීම නිසයි.
කාලයක් යද්දි ආදරයට වඩා මගේ හිත ඇතුලේ එයා ගැන ඇති වුනේ කලකිරීමක්. හැමදාම රණ්ඩු කරලා මටත් ඇති වුනා. ඒ නිසා මං එයා කියන හැමදේටම හා හරි කියලා කිසි දෙයක් හොයලා බලන්නෙ නැතුව නිශ්ශබ්ද වුනේ උවමනාවෙන්මයි.
හරියටම 2013 අවුරුද්දේ ජූනි මාසේ සිකුරාදා දවසක මට කවුද ගැහැණු කෙනෙක්ගෙන් ඇමතුමක් ආවා. ඒ දවස් වල මං වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ පරිඝණක පාඨමාලාව ක් හදාරමින් හිටියේ.
“ඔයා සමීරගේ කවුද?’ කතා කල ගැහැණු කෙනා ගොඩක් කේන්තියෙන් මගෙන් ඇහුවේ. ‘ මං එයා එක්ක තමයි යලු වෙලා ඉන්නෙ. ඇයි? ඔයා කවුද?’ ඒ මගේ උත්තරයයි. ‘අනේ මේ ඔයා කවුරු වුනත් මට කමක් නෑ. සමීරයි මමයි ඊලඟ සතියේ කසාද බඳිනවා. එයා නිසා මං ප්රෙග්නන්ට් වුනා. මාව බැන්දෙ නැත්තම් ගෙදර ඇවිත් නවතිනවා කියලා එයාව බය කල නිසා තමයි ඒ මිනිහා මාව බඳින්නේ. වැඳලා කියන්නම් ඔයා ආයේ එයාට කතා කරන්න නම් එපා.’ කියපු එයා ඇමතුම විසන්ධි කලා.
කරන්න ඕනි මොකක්ද, කියන්න ඕනි මොනවද කියලා මට හිතාගන්න බැරිවුනා. මං එවෙලෙම සමීර ට කතා කලා. මෙහෙම ගැහැණු කෙනෙක් කතා කලා මේක ඇත්තද අයියේ කියලා මං එයාගෙන් ඇහුවා. ඒත් උත්තරයක් වෙනුවට එහා පැත්තෙ තිබුනේ දැඩි නිහැඬියාවක් විතරයි..
එයාගෙ උත්තරය තේරුම් ගන්න මට ලොකු වෙලාවක් ගියේ නෑ. ‘ඇයි මට මෙහෙම කලේ?’ කියලා අහන්න තරම්වත් මට ශක්තියක් නැති වුනා.
ඉතින්.. මගේ ජීවිතේ මට ලැබුනු සුන්දරම ආදරය, එකම එක ඇමතුමකින් විනාශ වෙලා ගියා. ඒ හැම සුන්දර හමුවීමක්ම, මතකයන් පමණක්ම වුනා.. ඇස් වලින් රැයක් දවාලක් නැතුව කඳුළු කොච්චර වැටුනද කියලා අදටත් හිතාගන්න බෑ. මාස ගණන් නොකා නොබී දවසම කාමරයට වෙලා මං ඇඬුවා. අදටත් ජීවිතේ දැනුණු වේදනාවන්ගෙන් මුල්ම තැන තියෙන්නෙ එයා මට දුන්නු වේදනාව.. ආදරය වැඩි වෙන තරමට වේදනාවත් වැඩියි කියනවනේ..
මේ විදිහට එයාව හිතේ තියාගෙන මං කොච්චර කල් දුක් වින්දද කියලා හිතාගන්න බැහැ… කාටත් හොරෙන් ඒ මතකයන් එක්ක ගෙදර මිනිස්සුන්ට ඇහෙන්නෙ නැති වෙන්න අඬපු තරම් මතක් වෙද්දි දැන් නම් දැනෙන්නෙ මහ මූසල ගතියක්..
කාලයත් එක්ක ටික ටික එයාව අමතක කරන්න පුරුදු වුන මට අවුරුදු 6කට පස්සෙ 2019යේ දවසක පාන්දර 2ට විතර මට නන්නාඳුනන අංකයකින් ඇමතුමක් ආවා.
කතා කලේ එයාගෙ බිරිඳ. ඒ කියන්නෙ එදා මට කතා කල ගැහැණු කෙනා.
‘නංගී, සමාවෙන්න කරදර කලාට. ඔයා නිදිද? කතා කරන්න පුළුවන් ද? මං සමීරගේ වයිෆ්. ‘
බාගෙට නිදිමතෙන් හිටියට එයා මේ පාන්දර කතා කලේ ඇයි කියලා මටත් දැනගන්න ඕනි වුන නිසා ‘නිදි නෑ. කියන්නෙ අක්කෙ..’ කියලා මාත් උත්තර දුන්නා.
ඊලඟ ට ඇහුනේ කවදාවත් ම අහන්න සිද්ද වෙයි කියලා හිතපු වත් නැති දේවල් ටිකක්.
‘අනේ නංගි. මං ගොඩක් කලකිරිලා මේ ඉන්නෙ. කියන්න කෙනෙක් නෑ. ඒකයි ගොඩක් දවස් කල්පනා කරලා ඔයාටම කතා කලේ. සමීර ගොඩක් වෙනස් දැන්. එයා බේබද්දෙක් වගේ හැමදාම බොනවා. කුඩුත් ගහනවද මන්දා. බඩවැලක් වගේ වැහැරිලා ගිහින්. දවස් තුනකින් මේ අදයි ගෙදර ආවේ. අදත් හොඳටම බීලා ඇවිත් විකාරෙන් කියවනවා නංගි. අපිට නිදාගන්නත් නැ මේක පුදුම කරුමයක්. නංගි එයා කියවන්නෙ ඔයාගේ නම. ඉන්දුට මං කල දේට තමයි මං මේ විඳවන්නෙ කියලා කෑගගහා අඬනවා. මං මොකක්ද කරන්න ඕනි නංගි. මට දරුවෙක් ලැබෙන්න ආපු නිසයි මෙයාව බැන්දෙ. නැතුව වෙන කිසි උවමනාවකට නෙමෙයි. ඔයාලා අතරට එන්න මට උවමනාවක් තිබ්බෙ නෑ.’
ඒ ඇහුනු දේවල් නිසා හිතට දුකක් එක්කම හීන් සතුටකුත් දැනුනා. ඒ කියන්නෙ මං තාමත් එයාගේ මතකයේ ඉන්නවා. ඒත් ගොඩක් දුකයි.. එයාගේ කටෙන් මගෙ නම එයාගෙ බිරිඳ ඉස්සරහ කියවෙද්දි ඒ අක්කාට කොච්චර වේදනා ඇතිද.. (අදටත් මං ආදරේ කරන කෙනෙක් මගේ ඉස්සරහ වෙන ගැහැණියක් ගැන හොඳ කියනවටවත් මං ආස නෑ. ඒක ගෑණුන්ගේ හැටියක්නේ ඉතින්)
‘අක්කෙ… මේ දේවල් ගැන දැන් එච්චර හිතන්න එපා. ලස්සන දරුවෝ දෙන්නෙක් ඔයාලට ඉන්නෙ. ඒ දෙන්නව බලාගෙන හොඳින් ඉන්න බලන්න. කාලයක් යද්දි එයාට මාව එහෙම්මම අමතක වෙලා යාවි.’ මට කියන්න පුළුවන් වුනේ එච්චරයි.
දවස ගානේ එයාලගේ ප්රොෆයිල් වලට ගිහින් බලන නිසා එයාගේ පවුලේ පින්තූර නිසා මං එයාලා ගැන ගොඩක් දේවල් දන්නවා. ඉතින් එයාට දැන් එයා වගේම ලස්සන ඇස් තියෙන පුංචි කෙල්ලෙකුයි කොල්ලෙකුයි දෙන්නෙක්ම ඉන්නවා.
එයා මාව අතහැරියා. මං ඒ ඇයි කියලා හොයන්න වත් ආයේ ආයේ පස්සෙන් ගිහින් මං ගාවට එන්න කියලා වැඳ වැටුනේ වත් නෑ. මොකද එකට ඉන්න පවුලක් කඩා ඉහිරවන එක තරම් පාපයක් තවත් නෑ. ඒත් මං දන්නවා.. අදටත් මට ඔයාව ඕනි. ඔයාටත් එහෙම්මම වෙන්නැති.. ඔයා දීපු ඒ ආදරය විතරක් නෙමෙයි වේදනාවත් දැන් නම් ලස්සනම ලස්සන හීන ගොඩක් වෙලා.
සමහරවිට මේ කතාව ඔයා හෝ අක්කා දකීවි.. ඒත් එච්චර හිතන්න යන්න එපා.. ඒ අතීතය මං වලදාලා ඉවරයි. ඒත් මතකයන් එහෙම නෑ.. මැරෙනතුරුම ඔයාගෙ මතකයන් එක්ක මං ජීවත් වේවි.
ඉතින් මේ මගේ කතාව..
මේ පහල පින්තූරය එයාලා දෙන්නා දරුවෝ දෙන්නත් එක්ක ගත්ත එකක්..
May be an image of child
උපුටා ගැනීම: Indunil Edhirisinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!