ප්‍රථම ප්‍රේමය (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
(සත්ය සිද්ධියක් ඇසුරෙනි.)
සමලි තමන්ගේ ගණිත ගුරුවරයා දිහා හොරෙන් බැලුවා. කේන්තියෙන් ද දන්නෙ නෑ ඉන්නේ.ඇයි ඉතින් ගිය සති දෙකේම එන්න බැරිවුනා නේ පන්ති. බලපු හැම වාරෙකම ඔහුත් තමන් දිහා බලන් ඉන්නව වගෙයි සමලි දැක්කේ .
එහෙට මෙහෙට බැලුම් හුවමාරු වුනු පැය දෙක ඉවර වුනා. “රන්දි ඔයා යන්න.මම පහුගිය සතියෙ මිස් වෙච්ච ගණන් ටික අහගෙනම එන්නම්.” සමලි රන්දිට කිව්ව.” තනියම කොහොමද එන්නෙ.මට බයයි කෙල්ලෙ ඔයාව තනියම දාලා යන්න මෙතන.”මොකට බය වෙනවද අනේ ? සර් මාව කන්නෙ නෑ සර්ගෙ අම්මත් ගෙදර ඉන්නවනෙ ඔයා බය නැතුව යන්න. ” සමලි රන්දිට තට්ටුවක් දාන ගමන් කිව්ව. “හරී හරී මට බය සර් ඔයාට ගනන් උගන්නන්න ගිහින් ගණන් අරීද කියලයි.” රන්දි එහෙම කියා ගෙනම හිනාවෙවී යන්න ගියා.
සමලිගෙ ජේවිතේ සුන්දරම කාල පරිච්ඡේදය එදා ඒ විදිහට අරම්භ වෙයි කියල සමලි හීනෙකින්වත් හිතුවෙ නැහැ. අවුරුදු පහලවේදි ,ඒ කියන්නෙ සමලි දහයෙ පංතියෙ ඉන්නකොට තමයි සමලි ට මුල්ම වරට තමන්ගෙ ගුරුවරයට ආදරයක් ඇති උනේ. ආදරයක් ඇති උනා කිව්වට ආදරයක් බලෙන් ඇති කලා වගෙ තමයි සමලිට දැන් හිතෙන්නෙ.
එදා පංති ඉවර වෙලා අමතර ගණන් ටිකක් අහගන්න නැවතුනු නැවතිල්ල මේ තරම් දුරක් ඇවිත් නවතින්න වෙයි කියල සමලි දැනන් හිටියනම්………
ඒ සුන්දර දවස සමලිට තාම මතකයි.
සර් පංතියට ආවෙත් , කවුද පංති ඉවරවෙලා තාම ගිහින් නැත්තෙ කියල බලන්න සර් ගෙ අම්මා දොරෙන් එබිලා බැලුවෙත් එකටමයි. සමලිව ගැස්සිල ගියා. සර් ගෙ අම්ම තමයි සමලිගෙ ස්කෝලෙ වයිස් ප්රින්සිපල්. “මේ අමතර පාඩමක් අහගන්න ආව ළමයෙක් අම්මා.” සර් එහෙම කියල හරි සැහල්ලුවෙන් හිනවුනා. එතකොටයි සමලිගෙ බය ටිකක් හරි අරුනෙ.
ඊට ……පස්සෙ.අනේ … ඒ හිත හිරිවට්ටන මතකය …අදටත් මතක් වෙනකොට සමලිට එදා දැනුනු ඒ නැවුම් හැගීමම දැනෙනව.
ගණන් පාඩම ඉවරවේගෙන ආවා. ටිකෙන් ටික සමලිට තේරුනා සර් ගෙ කටහඬ වෙනස් වේගන එනව වගේ.ගොඩාක් දේවල් සර් ගෙ කටින් පිටවුණා .සමලිට මුකුත් පැහැදිලි ව ඇහුනෙ නෑ. කොහේදෝ ලෝකෙකින් ආව හඩක් වගේ.
‘මට ඔයා කැමතිද? …’. සමලි සද්ද නෑ. කියන්නකො බබා මට කැමතිද? සමලිගෙ පපුව ගැහෙනව. කකුල් දෙකත් පණ නෑ වගේ. ‘කැමතියි නේද?… කියන්නකො කැමතියි කියල.…” ගැස්සිලා ගිය සමලි එක පාරටම ‘කැමතියි ‘ කිව්වෙ හීනෙන් වගේ.ඒ ආදරණීය පරිච්චේදය පටන් ගත්තෙ ඒ විදිහට.
කාලය ලස්සනට ගෙවිලා ගියා. මේ ආදර අන්දරය ගැන කවුරුවත් දැනන් හිටියෙ නෑ. කවුරුවත් සැක කලෙත් නෑ.වෑන් එකේ ස්කෝලෙ යන හැම උදේකම සර් ආවා හන්දිය ට.නිකන් නෙමෙයි පිච්ච මල් අහුරකුත් අරගෙන. හැමෝටම හොරෙන් වෑන් එකේ ජනේලෙන් ලැබුන පිච්චමල් අතට ගත්ත සමලි, පිච්ච මලක් වගේ විකසිත උනා.ඒ ටිකත් අරගෙනමයි එයා ස්කෝලෙට ගියෙත්. කෙල්ලො විහිලු කලා.උපාසක බළල්ලු තමයි මීයො දෙන්න අල්ලන්නෙ කියල.
සතුටින් ගෙවුනු කාල පරිච්ඡේදය හරිකෙටි උනා.උදේට පිච්ච මල් දෙන එක ගෙදරට දැන ගන්න වැඩි කාලයක් ගියේ නැහැ.දවසක් තාත්තා ස්කෝලෙට යන්න වෑන් එකේම ආවා.සමලි දැන ගත්තා අද නම් සේරම ඉවරවෙයි කියල.හිතුව දේම උනා.තාත්තා තමන්ට ඇහුනු දේ ඇත්තක් කියල ඇස් දෙකෙන්ම දැකගත්ත.
එදා සමලි ස්කෝලෙ අරිලා ගෙදර ගියේ මළ කදක් වගේ.කකුල් දෙක වෙව්ලුව. ගෙට ගොඩ උනත් කිසිම සද්දයක් බද්දයක් නෑ.ගෙදර හැමෝම හරිම සන්සුන් .වෙනදාටත් වැඩි ය. එහෙමයි සමලිට හිතුනෙ.හැබැයි කවරුවත් සමලි එක්ක කතා කලේ නැහැ.අම්මා මූණවත් බැලුවෙ නෑ.නංගි පොඩි උනත් රවල අහක බලගත්තෙ “මීට පස්සෙ අපේ කතාවක් නෑ කියල.හවස් වෙනකොට සමලි හිත හයිය කර ගත්ත.
හවස් වෙනකොට තාත්තා යි ,අම්මයි සමලිගෙන් හොදින් ඇහුව කාරණාව ගැන.සමලි ඇත්තම කිව්ව.
අම්මගෙයි තාත්තාගෙයි අවසාන තීරණේ ලැබුනා හෙතුත් එක්කම.
“කීයටවත් මේකට ඉඩ දෙන්න බැහැ. වයස් පරතරය හොඳටම වැඩියි.අවුරුදු දාහතරක්.කවදහරි දවසක බැන්දොත් චාර්ල්ස් ඩයනා වගේ ඉන්න වෙයි. ඔයා ඒ මනුස්සයට පොඩි වැඩියි.කොච්චර සල්ලි තිබ්බත් ඔයාට දුක් විදින්න වෙයි.
තාත්තා කියෝගෙන කියෝගෙන ගියා.
අපිට හොරෙන් මේක කරගෙන ගියත් කවදහරි දවසක ඔයාටම තේරිලා මේක අත් අරියි.හොඳ නරක පෙන්නල දෙන එක දෙමව්පියො වශයෙන් අපේ යුතුකමක්. මොන මාර්ගයෙද යන්නෙ කියල තීරණය කරන එක ඔයාගෙ වැඩක්.
නිමේශයකින් සමලි ගෙ ලෝකෙම පය පාමුල කඩාගෙන වැටුන. අම්මයි තාත්තයි නැගිටල ගියා. වයස් පරතරේ නිසා කීයටවත් මේ සම්බන්දෙට ගෙදරින් කැමති වෙන්නෙ නැති බව සමලිට තේරුනා.
ඕ ලෙවල්වත් කරල නැති නිසා ගෙදරින් තහංචි වැටුනා. පංති නතර උනා. ලියුමක් ලිව්වත් යවා ගන්නවත්
කෙනෙක් නැති උනා. සමලි එක්ටැම්ගෙයක හිර උනා.
කාලයත් වේගයෙන් ගෙවිල ගියා.හැබැයි සමලි එක හිතින්ම හිටිය .හමූවුනත් නැතත් ආදරේ ගලාගෙන ගියා.ඕ ලෙවල් ඉවර උනා.ව්භාගෙත් හොඳ ට පාස් උන නිසා ගෙදරින් නිදහස ලැබුනා. සමලි ආයෙත් සැහැල්ලුවෙන් හිනා උනා.
ජීවිතේ අලුත් පරිච්ඡේදයක් ඇරඹුනත් සමලිට තේරුනා තමන්ට කොතනක හරි වැරදීමක් වෙලා තියෙන බව.එක හිතින් හිටියෙ තමන් විතරයි කියල සමලිට තේරුනා. සර් වෙනස් වෙලා තිබ්බ.ජීවිත කාලයක් එකට ඉන්නව කියල පොරොන්දු උන කෙනා අම්මල අකමැති උන නිසා නපුරු වෙලා හිටිය.දහසක් බලාපොරොත්තු තියන් හම්බවෙන්න ගිය දවසක හිත කඩාගෙන සමලි ගෙදර අවා.’ජීවිතේ කිසිම දවසක ඔයා ගැන අහන්න මම ඔයාලගෙ තාත්තා ගෙ කකුල් දෙක ලගට එන්නෙ නැහැ කියල දිවරුවා.”සමලි බැගෑපත් වුනා.”ඔයාට ඕන වෙලවක මගේ ලගට එන්න පුලුවන් .මම ඔයාව ලස්සන මනමාලික් කරල අරන් යනව.හැබැයි අම්මලව අත ඇරලා ඔයා එන්න ඕනෙ කියලයි සර් කිව්වෙ.
සමලි අවසිහියෙන් වගෙයි ගෙදර ආවෙ.සමලි ඇඩුව හරියට .වැඩක් උනේ නැහැ.සමලිට හිත හදා ගන්නම බැරි උනා මෙච්චර කාලයක් ආදරෙන් හදා වඩා ගත්තු දෙමව්පියන් අත ඇරල යන්න.පවුලට අවමානයක් කරන්න. ඇඩූකදුලෙන් ගත කලා රාත්රී ගණනාවක්. අන්තිමේදි සමලි ගත්ත ජීවිතේ දුකම තීරණය .
අන්තිම වතාවටත් සර්ගෙ තීරනේ ඇහුවත් ඒ තීරණය වෙනස් වෙලා තිබ්බෙ නෑ. වයස යන හින්දා ගෙදරින් බදින්න බල කරනවා කියල තවත් කාලයක් බලා ඉන්න බැරි බව සර් කිව්වෙත් දුකෙන්.තරහක් නැතුවම දෙන්න වෙන් උනා.ආයිමත් කවදාවත් හමු නොවෙන්නම.
හවස සමලි පන්සල් ගියා .එක දවසක් නෙමේ දවස් හතක්ම. ගිහින් දෙවියන්ගෙන් ඉල්ලුවෙ එකම එක දෙයයි.ඒ ‘මට හිත හදා ගන්න උදවු කරන්න කියල.’
අන්තිම දවසෙ රෑ පන්සල් ගිහින් ඇවිත් සමලි ගියේ කෙලින්ම තාත්තා ලගට .
“තාත්තා ත් එක්ක මට ටිකක් කතා කරන්න ඕනෙ.” “ඔව් කියන්න .”තාත්තා කිව්වෙ අහක බලාගෙන.තාත්තා තාමත් ඉන්නෙ තරහින් බව සමලි දන්නව.
“තාත්තෙ මම අර සම්බන්දෙ නැවැත්තුව. ආයිත් මම එෆයාර් එකක් පටන් ගන්නෙ නෑ.කවද හරි දවසක මැරි කලත් මැරි කරන්නෙ ප්රොපෝසල් එකකින් විතරයි.”
තාත්තලගෙ හිත රිද්දුවට මට සමාවෙන්නන.”
සමලිගෙ ජීවිතේ ලස්සනම කාලෙ , ලස්සන පරිච්ඡේදයක් ඒ විදිහට ඉවර උනා.
මේක සත්ය කතාවක්. මේ සමලිට දැන් අවුරුදු හතළිස් පහක්. දෙමවුපියන්ගේ කීමට කන් දීලා , ප්රොපෝසල් එකකින් මැරි කරල , ලස්සන ස්වාමියෙක් සහ දරුවො දෙන්නෙක් එක්ක ලස්සන ජීවිතයක් ගත කරන කෙනෙක්.
උපුටා ගැනීම: Heshani Perera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!