හශී අපේ පන්තියේම හිටපු මගේ හොඳම යෙහෙලියක්. එතකොට අපි දහය වසරෙ. නිතරම මම හශී දිහා බලනව, කතා කරන්න පෙලඹෙනව. එයත් ඉතින් මාත් එක්ක කතා කරනව. මම බොරුවටත් සටහන් පොත් ඉල්ලන් යනවා. එයත් මගේ සටහන් ලියලා දෙනවා. හශී ඉස්කෝලෙ නාව දාට මට හරි අප්සට්. කතා කරන්න බැරි වුන දවසට කන්නත් බෑ වගේ.ඒ දැනුන දේ ආදරේද කියන්න මම දැනන් හිටියෙ නෑ.
මම ඔය ඔක්කොම ටික කිවුවා බන්ටි ට. නම බල්ලෙක් ගෙ උනාට බන්ටි කියන්නෙ කොල්ලෙක්. මිනිහට තමා ඒ කාලෙ කෙල්ලො සම්බන්ධව අපේ පන්තියේ හොඳම දැනුමක් තිබ්බෙ. මිනිහා අපි එක්ක කියලා තිබ්බ හැටියට නම් ඒ වෙනකොටත් මිනිහා සෑහෙන කෙල්ලො තොගයක් එක්ක යාලු වෙලා ඉඳලා තිබ්බා. අපි මොන කෙල්ල ගැන ඇහුවත් ඌ දෙන උත්තර දෙකක් තිබ්බා. එකක් ” අපෝ මම ඕකි එක්ක යාලු වෙලා හිටිය බං”.අනික “ඕකි ඉස්සර මට ලයින් වෙලා තිබ්බෙ. ඒ උනාට මට හිතට ඇල්ලුවෙ නෑ”
මමත් හරි කයිවාරු කාරයා උනාට කෙල්ලගෙන් කෙලින්ම මූනට ඕක අහගන්න තරම් ගටක් තිබ්බෙ නෑ. අලුතින් ආපු ටීච කෙනෙක් ගෙන් විහිලුවට “අපි බඳිමුද ” කියල අහන්න පුලුවන් උනාට මේක නම් කොහෙත්ම කරගන්න බැරි වැඩක්. මම ජීවිතේ දෙපාරක් ඔය වැඩේ කරන්න උත්සහා කලා. පලවෙනි පාර උසස් පෙල කාලෙ. එදා මට දාඩිය දාලා චූ බරකුත් හැදුනා.ගස් කොලන් ගොඩනැගිලි බ්‍රමණය වෙන්න ගත්තා. අන්තිමට මට කියන්න උනේ ” නිලූ මට වතුර ටිකක් දෙන්න” කියල.
දෙවනි පාර කෝච්චියේ ෆුට් බෝඩ් එකේදි. ඒ පාරනම් අහන්න කලින්ම උත්තරේ දැනගෙන හිටියෙ. “ඔයා ඕක අහනවද නැද්ද” කියලා බෙල්ලත් මිරිකුවට පස්සෙ තමා අමාරුවෙන් තටමලා ” මම ඔයාට අදරෙයි ” කියලා වචන ටික එලියට දාගත්තෙ. ඒ පාර නම් හරිගියා. ලබන මාසෙ මම එයාව බඳින්න ඉන්නෙ.
මාතෘකාවෙන් පිට ගියානෙ. ඉතින් මට ඕක හශීහෙන් අහන්න බැරි නිසා බන්ටි ට මම කිවුවා මම වෙනුවෙන් මේක අහපන් කියලා.සතියකට පස්සෙ බන්ටි හශීගෙ උත්තරේ අරන් ආව.
“එයාට ඉස්කෝලෙ ගමන ඉවර වෙනකන් එහෙම දෙයක් හිතන්න බෑ කිවුව”
ඒ සිද්ධියෙන් පස්සෙ හශීගෙයි මගෙයි කතා බහ අඩු උනා. මට එයාට මූන දෙන්න ලැජ්ජ නිසා මම හිතා මතාම හශීව මගඇරියා.ඊලඟ අවුරුදු හතරම මම ඒ ඇස් මගඇරියා. 2014 අපි උසස් පෙල ලිවුවට පස්සෙ 2015 මැයි මසෙ ආයෙ එයාව දැක්කා මාතර රාහුල හන්දියෙන් මම නැගපු බස් එකක ඉන්නකොට. බස් එකේ නම හන්සි. එදා නම් වචන දෙක තුනක් කතා කලා. ඊට පස්සෙ ආයෙ අපි කවදාවත් මුණගැහුනෙ නෑ.
ඊට අවුරුදු පහකට පස්සෙ පහුගිය කාලෙ දවසක මට එයාගෙ ෆෝන් නම්බර් එක ලැබුනා යාලුවෙක් ගෙන්.ඒ අතර කාලෙ අපේ ඉස්කෝලෙ යාලුවොන්ගෙ ගෙට් ටුගෙදර් කිහිපයක් තිබ්බා. ට්‍රිප් ගියා. එයා ඒ එකකට වත් ආවෙ නෑ. ඉතින් අවුරුදු පහකට පස්සෙ මම ආයෙ හශී ට කතා කලා. එයා ගොඩක් සතුටු වුනා මම කතා කරපු එකටත් මම ලඟදි බඳින්න යනවා කිවුවමත්. එයා නම් තාම තනිකඩයි ලු. අපි දෙන්නා බස් එකේදි අන්තිම වතාවට කතා කරපු එක වගේම බස් එකේ නම එයාටත් මතක තිබුනා.මම පුදුම උනා. කතා බහ අන්තිමේ මම ඇහුවා ඇයි ඒ දවස් වල මට කැමති උනේ නැත්තෙ කියලා.එයා මෙහෙම කිවුවා
“තාම අමතක නෑ නේද ඒක. ඒක නම් කැත විහිලුවක් කසුන්. ඔය දෙන්නත් එක්කම මම ඒකට තරහයි”
මට ඒ උත්තරේ ගැන සැක හිතුණා. ඒක විහිලුවක් නෙවෙයි කියලත් ඒ මගේ පලවෙනි ආදරේ කියලත් මම එයාට කිවුවත් එයා පිලිගත්තෙ නෑ. ඒ නිසාම මම ඒ වහලා දාපු අතීත කතාව ආයෙ ඇව්ස්සුවා. බලද්දි අර බන්ටි කියන බල්ලා මාව රවට්ටලා.
“මමයි කසුනුයි දෙන්නම ඔයාට කැමතියි. ඔයා හොඳට හිතලා තීරණයක් ගන්න ” කියලා බන්ටි පොතක පිටිපස්සෙම පිටුවෙ ලියලා ගනන් පාඩම අතරෙ හශීට ඒ පොත දීලා. හශී ඒ කොලේ කඩාගෙන ගෙදර ගෙනත්. එයා ඒක විසි කරලා නෑ. ගුලි කරලා දිග ඇරපු ඒ කොලේ පින්තූරයක් එයා මට වට්සැප් එකෙට එවුවා.ඒ අර බල්ලගෙ අත් අකුරු. මට හොඳට මතකයි උගේ ගෑනු අත් අකුරු. ඌ තමා ඒ කාලෙ අපි කාගෙත් පෙම් හසුන් ලිවුවෙ. ඒ දවස් වෙනකොට බන්ටි හශීගෙ හොඳම යාලුව නිමා ට ලියුම් එහෙමත් ලියනවා.මූ ඒකිට වහ වැටිලා හිටියෙ. ඒ ලියන ගමන් තමා මූ අහක බලාගෙන මගේ අඹ ගහටත් පොල්ලක් ගහල තියෙන්නෙ වැදුනොත් වැටියන් කියලා.
එයා මට කැමැත්තෙන් ඉඳලද, බන්ටි කියන බල්ලව විස්වාස කරලා මම මෝඩ උනාද, හශී තාම තනිකඩ මම නිසාද, එයා ඇයි ඒ කොලේ තාම තියන් ඉන්නෙ කියලා මට හිතාගන්න බැරි උනා. මගේ කබඩ් එක අවුස්සලා හශීට කියලා ලියා ගනිපු සටහන් පොත් ඇදලා අරන් ඒවා අස්සෙ මම හෝඩුවාවක් හෙවුවා. කිසි දෙයක් හොයාගන්න බැරි උනත් මම එදා මුලු රෑම ඇස් පියාගෙන නිදි වැරුවා.
උපුටා ගැනීම: සුපුන් උදාර