හැමදාම ඔය ඉස්කෝලේ මිදුල අතුගාන්නේ උඹද එතකොට?”
හැමදාම ඇහෙන ප්රශ්නෙට හැමදාම වගේ උත්තර නොදී ඉක්මනට ගෙදරින් පැනගන්න මට උවමනාව තිබුනේ.පොත් අත්තේ රටාව මැවෙන්න මට වඩා ලස්සනට පන්තියේ හිටපු කාටවත් අතුගාන්න බෑ කියලා මම දැනගෙන හිටියා.විනාඩි හත අටකින් අතුගාලා ඉවර කරන්න පුලුවන් මිදුල හැමදාම විනාඩි විසිපහක් විතර අතුගාන්න සිද්ධ උනේ එයා එනකන් ඉස්කෝලේ ගේට්ටුව දිහා සැරින් සැරේ බලන එක පුරුද්දකට ගිහින් තිබුන හින්දා.කොලරොඩු අතුගාලා මිදුලෙ මවපු පොල් අත්තේ එයාගේ අඩි පාරවල් තියවෙන එක තරම් වෙන සතුටක් මට තිබුනේ නැති තරම්..
අන්න එහෙමයි ප්රථම ප්රේමය පටන් ගත්තේ.එතකොට මම ඉස්කෝලේ 6 වසරේ.කියන්න ලැජ්ජාවක් නෑ ශිෂ්යත්වේ ලිවුවා විතරයි.ටිකක් කලු උනත් සුදු ගවුමට මට එයාව සුරංගනාවියක් වගේ පෙනුනේ.මූනේ පාටට හරියටම ගැලපෙන බොරපාට චූටී ඇස් දෙකක් තිබුනේ.කොන්ඩ කරල් දෙක පුවක් මලක් වගේ ඉණ ගාවටම දික් වෙලා තිබුනේ හරියට නයිල් නදී කුමරියගේ වගේ.ඒ කාලේ මං දන්න ලස්සනම කෙල්ල උන රොබින්සන් අන්දරයේ හිටපු චූටි කෙල්ලටත් වඩා ලස්සනට මට එයාව පෙනුනේ.
උදේට ගුඩ් මෝර්නින්ග් කියන ගමන් අතුගාපු පොල් අත්තට අඩිය තියලා පටන් ගන්න ආදර අන්දරය ඇස් වලින් කියන කතන්දර,අත් වලින් කරන ඉගි බිගි එක්කලා ගලාගෙන ගිහින් ඉස්කෝලේ අරින වෙලාවට ඉවර වෙන්නේ එයාගේ පස්සෙන් ගේට්ටුව ගාවට ගියාටත් පස්සෙ.
පලවෙනි ආදරය ඔන්න ඔහොම පටන්ගෙන මාස දෙකක් විතර ගියාට පස්සේ තමයි වෙසක් මාසේ ආවේ.වෙසක් කාඩ් හුවමාරු නොවී සමරපු වෙසක් මාසයක් නොතිබුනු යුගයක මමත් අමාරුවෙන් රුපියල් තිස්පහක් හොයාගෙන ගියා ඉස්කෝලේ ලගම තිබුන කඩේට.කවුරුත් දකී කියන බයට වට පිට බල බල ඉදලා කල් මරලා මරලා ගත්තා කාඩ් එකක්.එසේ මෙසේ වෙසක් කාඩ් එකක් නෙවෙයි.පොතක් වගේ දිග අරින්න තියෙන දිග ඇරෙද්දී මල් පොකුරක් පිපෙන කාඩ් එකක්.ඕක ගත්තට ඉස්කෝලෙට අරන් ගිහින් දෙන්න ගියොත් ශිෂ්ය නායකයොන්ගෙනුයි,මැඩම්ලගෙනුයි,ප්රින්සිපල්ගෙනුයි කන පලාගන්න වෙනවා කියන එක මගේ මීටරේට වැටිලා තිබුනේ.දවස් දෙකක් විතර කට්ට කාලා වාර්තා පොතකින් හොයාගත්ත ඇඩ්රස් එකත් අරන් ටවුන් එකේ තැපැල් කන්තෝරුවට ගිහින් වෙසක් කාඩ් එක තැපැල් කරද්දී රටක් රාජ්යක් දින්නා වගේ හැගීමක් දැනුනා කියලා අදටත් මට මතකයි.
ඊලග දවසෙ උදෙන්ම ඉස්කෝලෙට ගියේ එයා “ඔයා එවපු කාඩ් එක ලස්සනයි” කියලා ඇවිත් කියයි කියලා හිතාගෙන.නම නොලිව්වට වෙසක් කාඩ් එකක් ගෙදරට එවන්න මං ඇර වෙන කෙනෙක් නෑ කියලා එයා දැනන් හිටිය කියලා මං දැනන් හිටියා.
ඒත් දවස තිස්සෙම කාඩ් එක ලැබුනා කියලා කිසිම සලකුනක් පෙන්නුම් නොකරපු හින්දා හිතට දැනුනේ පොඩි බයක් කවලම් වුනු කනස්සල්ලක්.වෙනදා වගේ කතා බහ කරන්න ආවෙත් නැති හින්දා හිතත් ටිකක් මූසල ගතියකට පෙරලිලා තිබුනේ.කිසිම හෝඩුවාවක් නැතුවම දවස් දෙක තුනක් යද්දී මමත් නයා මැරුණු අහුකුන්ඨකයා වගේ ඔහේ බලාන හිටියා.
හතරවෙනි දවස වෙද්දි මිදුල අතුගාන එකත් අපෝ වෙලා උදේ ඉස්කෝලේ පටන් ගන්න කලින් ඩෙස් එකට ඔලුව තියාගෙන මොකක් වෙන්න ඇද්ද කියන සිතුවිල්ලේ පතුලටම කිමිදිලා ඉද්දී තමා ඩොක් ගාලා ඩෙස් එක උඩට මොකක් හරි වැටෙන සද්දයක් ඇහුනේ.ඔලුව උස්සලා බලද්දී බාගෙට ඉරපු ලියුම් කවරයක් එක්ක වෙසක් කාඩ් එකක් ඩෙස්ක් එක උඩ තිබුනේ මං දිහා ඔරවගෙන බලන් ඉන්නවා වගේ.ඇග කිලිපොලා ගිහින් සියොලග සීතල වෙලා යන්න මං හිතන්නේ තත්පරයක්වත් යන්න නැතුව ඇති.පුටුවෙන් නැගිට්ටා නෙවෙයි නැගිටුනා.ඔලුව උස්සලා බලන්නවත් වෙලාවක් හම්බුනේ නැති තරම්..
“මොනවද මේ කරන වැඩ?තාම පොඩි එවුන් නේද?ඇටෙන් පොත්තෙන් එන්න කලින් කෙල්ලෝ යාලු කර ගන්න හදන්නේ…
මමහ්.. මේ..ම..ම..
මොනා හරි කියන්න උවමනාව තිබුනත් මොකුත් කටින් පිට නොවුන එක ගැන මට අදටත් සතුටක් දැනෙන්නේ මොනා හරි කිව්වනම් එදාම ඉස්කෝලෙන් ගෙදර යන්න වෙනවා කියලා පස්සේ තේරුන හින්දා.
“මම මම නෙවෙයි..පොඩි එවුන් කරන වැඩද මේ..අපි ඒ ලෙවල් කරන අය වෙලාත් ඔහොම වැඩ කරන්නේ නෑ..නංගිගෙන් අහලා අහලා අන්තිමට අහ ගත්තේ කව්ද එව්වේ කියලා..ආය එහෙම මෙහෙම වැඩ කරලා තිබුනොත් ප්රින්සිපල්ට කියලා ඉස්කෝලෙනුත් අස් කරනවා දැනගන්නවා”
ඒ කටේ සද්දෙ යටපත්කරගෙන මගෙ පපුව ගැහුන සද්දේ මුලු පංතියටම ඇහෙන්න ඇති.ලැජ්ජාවට කන් දෙක රතු වෙලා බිත්තරයක් ලේසියෙන්ම බැද ගන්න පුලුවන් තරම් ගිනියම් වෙලා තිබුනේ. කටින් මොකුත්ම පිට නොවුනේ ලැජ්ජාවටද බයටද මන්දා..මම ඔහේ බලන් ඉද්දි වචන තිහ හතලිහකින් ප්රථම ප්රේමය හිතින් එලියට තල්ලු කරලා එයා එතනින් යන්න ගියා.
සාංකාවට දවස් තුන හතරක්ම බඩේ කැක්කුම කියලා ගෙදර හිටියට පස්සෙයි ආපහු සැරයක් ඉස්කෝලෙට යන්න හිත හදා ගන්න පුලුවන් උනේ.ඒ ගියත් වෙනදා වගේ එයා හිනා උනේවත් කතා කරේවත් නෑ.මමත් මගේ පාඩුවේ හිටියේ එයාගේ අක්කගෙ වචන වලට ගරු කරන්න ඕනීකමටත් වඩා ආය සැරයක් මාට්ටු උනොත් ඉස්කෝලෙන් අයින් කරයි කියන බය හිතේ කොනක තිබුන හින්දා.අන්තිමට මාස පහකටත් වැඩිය අඩු කාලයකින් ප්රථම ප්රේමය අහවර උනා.හැබැයි 6 වසරෙදි කෙල්ලෙකුට ආදරය කරා කියන මතකය තාමත් හිතේ කොනක තියෙන්නේ සැරින් සැරේ ලැජ්ජාවක්ද මොකක්ද හිතා ගන්න බැරි හැගීමක් ඇති කරන ගමන්මයි.
අදටත් කවුරුහරි “දවසක ඔයාට ඉන්න බබත් ඔයා වගේ හැදෙන්න ඕනී” කියන වෙලාවට 6 වසරෙ මතකය හිතට ඇවිත් හිතන්නවත් වෙලාවක් නොතියම බඩ පපුව පුච්චලා යද්දී මම හිතන්නේ මගෙ පොඩි එකාටවත් වෙසක් කාඩ් එක ගෙදරට නොයවා, ගිහින් අතට දෙන්න තරම් මොලයක් ලැබෙන්න කියලා විතරයි.
උපුටා ගැනීම: චමිල ධනුෂ්ක