සැබරිනා අක්කාගෙ සැලෝන් එකට දඩ බඩ ගාලා රිංග ගත්තෙ 10.30 වෙද්දිවත් පාටියට යන්ඩ ඕනි නිසා.
මූණට ග්රෑම් දෙසිය පනහක විතර පිටි වර්ග , කුඩු වර්ග දාලා පස්සෙන් පහු ඇස් බැමි ඇඳලා , ඇස් පිහාටු අලවලා, තොල් රතු කොරලා, කම්මුල් රෝස කොරලා, කොණ්ඩෙට එක එක ජරමර කොරලා, කටු ගහලා, ජෙල් ගාලා, ස්ප්රේ ඉහලා ඉවරවෙලා, සැබරිනා අක්කා මාව කණ්නාඩියෙන් පෙන්නුවම මම ගැස්සුනෙ වෙන මොකුත් හන්දා නෙමේ, එකපාරටම මාව අඳුර ගන්ඩ බැරි වුන නිසා.
” හම්මට සිරි මයෙ හැඩ ටික කත්රීනා රායි වගෙ. ඔයෙ..! “
සාරියත් එතුවා, උස කූරු සපත් දෙකත් දැම්මා.
හප්පට සිරි, දැන් නිකම් ඇවිදින්නෙ අමුතුම ස්ටැයිල් එහෙකට. සැබරිනා අක්කා නම් කීවෙ ඒක කැට් වෝක් කියලා, මට නම් පෙනුනෙ හදිසියෙ බඩ අමාරුවක් ආවාම ඒක තද කරගෙන යන ගමනක් වගෙ කියලා. එල්ලෙන තෝඩු දාලා, සුවඳ ගහලා. හම්මේ මම නිකම් මම නෙමේ වගෙ..
රොන්සානි ,සැලෝන් එක ගාවට ඇවිත් හිටියා. මායි ඒකියි ඕන් වෙලාවට පාටියට රිංග ගත්තා. හරි මගුලයි. හැමෝම අමුතු තාලෙට මයෙ දිහා බලනවා. මට එවුන් දිහා වැඩිය බලන්ට බෑ, දාපු ඇස් පිහාටු බර වැඩි හන්දා ද මන්දා ඇහැ පියවෙනවා. මම බිම බලාගෙනම හිටියා.
කොල්ලෙක් එකපාරටම “ඇස්වහ වදින හන්දද කෙල්ලෙ බිම බලාගෙන ඉන්නෙ.? ” කියලා ලස්සනට ඇදලා වගෙ තාලෙට කියාගෙන ගියා . තව එකෙක් කීවා ” මූණ බලාගන්ඩ බැරි නිසා දුකායි, දුකායි, දුකායි ” කියල. මොන කරුමෙටද මන්දා මට උඩ බලන්ඩම බෑ වගෙ.
කෝම හරි පාටියෙ හිටිය හැන්ඩිම කොල්ලා මගෙ දිහා බලනවා බලනවා ඉවරයක් නෑ. ඒකා වටේ මයෙ පන්තියෙම හිටපු ජැනියා කැරකෙනවා. මට පේන්න බෑ ඕකි. ලැජ්ජා නැද්ද කොල්ලො පස්සෙ කැරකෙන්න. එයා අර කොල්ලා පස්සෙ කැරකෙනවා ඌ මයෙ දිහාව කන්ඩ වගෙ බලනවා. මල සමයං. මගෙ පස්සෙන්ම පන්නනවා.
” නංගි… මේ නංගි…. එක්ස්කියුස්මී.. “
මම හිනාව තද කරගෙන බිම බලාගෙන දුවලා ආවා පූල් එක පැත්තට.
මෙන්න යකෝ මේ හාදයා එතනටත් ආවා කියාන්කො. මගෙ හෘදය වස්තුව පරණ ටැක්ටරයක් වගෙ හුට හුට හුට ගානවා. මම ආයෙ එතනින් හෙන අමාරුවෙන් දිව්වා. දුවන ගමන් කුච් කුච් හෝතා හේ සිංදුව හිතින් මතක් කරන් ඒ තාලෙට දිව්වෙ.
දැන් නම් මට උඩ බලන්නම ලැජ්ජයි. මම දන්නෙ නෑ මේ රොන්සානියා කොහේ ගියාද කියලා. හප්පා බැලිඤ්ඤං ඒකි හොඳට නටනවා. එතකොටම වේටර් අයියා කෙනෙක් තුණ්ඩුවක් අරගෙන ආවා.
“මිස් මේක අර මහත්තයා දෙන්න කිව්වා” කියලා කියාපි.
නාරේ නාරේ … නාරේ නාරේ.. නන්නාරේ නන්නාරේ නන්නාරේ නානාරේ…
මගෙ හිතෙ හිංදු සිංදු පෝලිමට. මාත් හොරෙන් ඔළුව උස්සලා බැලුවා, අරුන්දා අමුතු හිනාවක් දාගෙන මහ ලොකු දිනුමක් ලැබුවා වගෙ මගෙ දිහාව බලාගෙන ඉන්නවා. හිතන්න ඇති මම තුණ්ඩුව බලයි කියලා. මම එයා දිහා යටි ඇහින් බැලුවා. කොල්ලා ගැස්සුනා. හහ් හහ් හාා. හොඳ වැඩේ. මම තුණ්ඩුව විසික් කරලා හෙමීට තාලෙට ඇවිදන් ගියා එළියට. තුණ්ඩුව විසි කරනවා දැක්ක හැන්ඩියා ඔළුවෙ අත ගහගත්තා. පව් අනේ!
මට හිත යටින් හිනා. පව් අසරණයා. තවත් මඩවන්න හොඳ නෑ. ආයෙ ආවොත් කතා කරනවා කියලා හිතා ගත්තා. හිතනකොටම මිනිහා මගෙ ළඟ .
“නංගි මේ.. ” මගෙ පපුව හිරවෙන්න වගෙ. බයයි, හුස්මත් නැවතිලා වගෙ.
“අයි..යා..අනී… මට මට බෝයි කෙනෙක් ඉන්නවා.. ” මම ගණන් උස්සන්නත් එක්ක බොරුවක් කීවා.
” ඒකට කමක් නෑ නංගි, ඔයාගෙ ඔය එක ඇස් පිහාටුවක් බාගෙට ගැලවිලා. ඒක දැක්කම බය හිතෙනවා. මම මෙච්චර වෙලා ඒක කියන්න ට්රයි කළේ. මගෙ ගර්ල් ෆ්රෙන්ඩ් ජැනී තමා ඒක මුලින්ම දැකලා තිබ්බෙ. එයා කිව්වා එයා ඔයාගෙ ක්ලාස් මේට් කෙනෙක්ලු.. මට කෝමහරි ඒක කියන්ඩ කිව්වා, එයාට හදිසි කෝල් එකක් ඇවිත් යන්ඩ වුණ නිසා. ඕක හදාගන්න නංගි.නැත්නම් ගලවන්න. මාරෙටම බය හිතෙනවා..!! “
උපුටා ගැනීම: පූ.චා.බ
පූචාගෙ පරණම පච කතා