ප්‍රේමයේ නගරය (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හැමෝගෙම ජීවිත වල තමන්ගේ ආදරණීය මතක ගොඩක් එකතු වෙලා තියෙන තැනක් තියෙනවා. ජීවිතේ මොන තරම් අවදි පහු කරත් ඒ මතක කවමදාකවත් අමතක නොවෙන තරමට අපේ ජීවිතත් එක්ක බැඳිලා තියෙනවා. ඒ වගේ හරිම ආදරණීය මතක ගොඩක් එකතු උන ජීවිතේ කවමදාකවත් අමතක කරන්න බැරි තැනක් මගේ ජීවිතෙත් තියෙනවා.
“නුවර”
මහනුවර කියලා නමට කිව්වට කිසිම දවසක “මහ” කියන කෑල්ල පාවිච්චි නොකරපු ඒ නම කිව්වම හිතට දැනෙන හැඟීම හරිම පුදුමාකාරයි. මහයියාව බෝක්කුව පහුකරන් බස් එක නුවරට ඇතුල් වෙද්දී දකින දකින හැම තැනකම තියෙන්නේ අමතක කරන්න බැරි මතක ගොඩක්. දළඳා මාලිගාව, වැව රවුම විතරක් නෙවෙයි; අලි මුඩුක්කුවෙත්, කොළඹ වීදියේ තැබෑරුම් ඉස්සරහින් බඩු කරත්ත තල්ලු කරන යන මිනිස්සු අතරෙත් ඒ ආදරණීය ලෙංගතු හැඟීම දැනෙනවා. ඒක පරිසරයේ සුන්දරත්වයත් එක්ක ඇති උන බැඳීමකුත් නෙවෙයි. අමතක කරන්න බැරි මතක ගොඩක් ජීවිතේට ගෙනත් දීපු තැනක් විදියට දැනෙන හැඟීමක්.
එයාව මට හමබෙන්නෙත් නුවර දී. අපි ආදරේ කලේ, අපි ඇවිද්දේ, හිනා උනේ, ඇඬුවේ, මේ හැමදේම කලේ නුවරදී. සෙල්ලක්කාරකමට ගෙවුන ජීවිතේට හරියටම දැනෙන විදියේ ආදරයක් මට ලැබුනෙත් නුවර දී. නුවර කොතන හිටියත් ඇහැට දකින හැමදේම හරිම සුන්දර විදියට මට පේන්න ඒකත් ලොකු හේතුවක් වෙන්නැති.
මාළිගාවට ගිහින් මලක් පූජා කරලා එතනින් පහළ තියෙන මඟුල් මඩුව ඇතුලට වෙලා ඇඟේ ගෑවෙන්නෙවත් නැති දුරකින් ඉඳගෙන සංවර විදියට කරපු ආදරේ හරි සුන්දරයි. ටික වෙලාවකින් එතනින් නැගිටලා වැල් බෝධියත් වැඳගෙන වැව රවුමේ ඈත කෙලවරේ තියෙන බංකුවක වාඩි වෙලා විඳපු ආදරෙත් සුන්දරයි. වේල්ස් පාර්ක් එකේ ඈත කෙලවරක ඉඳනුත්, පේරාදෙනිය ගාර්ඩ්න් එකට ඇතුල් වෙලා කෙලින්ම ගියාම හම්බෙන පිට්ටනියටත් එපිටින් පාරේ දකුණු පැත්තේ කොටසේ ඉන්න අතින් ඇල්ලුවත් විසිල් එක ගහන සිකියුරිටි අංකල්ලට බයෙන් කරපු ආදරෙත් ඒ තරමටම සුන්දරයි.
ආදරය විඳගෙන ආදරේ අනත්තයේ තියෙන රාගයේ උපරිමය විඳගන්න බැරි උනත් නියම ආදරවන්තයින්ට ජීවිතේ ආපහු හැරිලා බලලා විඳගන්න සුන්දර මතක ගොඩක් එකතු කරන තැනක් තමයි නුවර.
මාලිගාව ඉස්සරට වෙලා ගෞරවාන්විත පෙනුමකින් ඉන්න ක්වීන්ස් හෝටලේට වැරදිලාවත් ගොඩ වෙන්න බැරි උනත් සිරි රම්යා එකත්, සිංහල ජාතික හෝටලෙත්, මුස්ලීම් හෝටලෙත්, යූසුෆියා බත් කඩෙත්, සල්ගාදු එකත්, කොළඹ වීදියේ තෝසේ කඩ ටිකත් අපේ බඩගින්න හොඳට අදුනනවා. කොච්චර කන්න තැන් තිබුනත් අදටත් ඒ හැම එකම පහුකරන් ඔය තැනකට එන්නේ ඒ අතීත මතක තාමත් ඒ තරම්ම සුවඳ නිසයි.
එයත් එක්ක පේරාදෙනියේ ගාර්ඩ්න් එකට ඇතුල් වෙලා ඉස්සරහට යනකොට පළවෙනියටම තියෙන කැන්ටින් එකේ ඉන්න ගෑණු ළමයි ටිකට අපි දෙන්නව හොඳට මතකයි. එක දවසකුත් එතනින් කෑම අරන් අපි එන්න හදනකොට කැෂියර් එකේ හිටපු ගෑණු ළමයා,
“මෙතනට නිතරම ආපු කපල් වලින් තුන්ගොල්ලක් දැන් මැරි කරලා තියෙනවා. එයාලා බබාලත් වඩාගෙන ඇවිත් අපිට කතා කරලා ගියා. ඔය දෙන්නත් මැරි කලාම අපිව බලලා යන්න එන්න”
කියලා කියනකොට එදත් මගේ පපුව හිරවෙනවා වගේ දැනුනා. අදත් දැනෙනවා.
අද ජීවිතේ අපි සතුටු වෙන දේවල් අපි සමීප කරගත්තේ ලොකු මතක ගොඩක් එක්ක බැඳුනු කතාවකුත් එක්ක නම් අපිට ඒ දේවල් ජීවිත කාලෙටම මතක හිටිනවා. ඒ වටිනාකම ජීවිත කාලෙම වෙනසක් නැතුවම පවතිනවා. ඒ දේවල් ජීවිතේට සමීප කරගන්න බැරුව අතෑරිලා ගියත් තනියෙන් ඉන්න එක මොහොතක මතකෙට ඇවිත් හිත ටිකකට හරි සනසලා වත් යන්න යනවා. එයත් මට එහෙමයි. හිමිවීම අහිමි වීම කොහොම උනත් සදාකාලිකවම හිත සනසන සුන්දරම මතකයක්. අමතක නොවෙන මතකයක්.
හැමෝගෙම ජීවිතේ එහෙම අමතක නොවෙන මතක රැඳුන තැනක් තියෙනවා. මට නුවර කියන්නේ එහෙම මතක පිරුනු තැනක්. මොහොතකට මතකෙට ආවත් හිතෙන් හරි වීදි දිගේ ඔහේ ඇවිදගෙන යන්න හිතෙන තැනක්. වැව රවුමේ බංකුවක වාඩි වෙලා මාළිගාව දිහා බැරි නම් අනිත් පැත්ත හැරිලා පාරේ යන වාහන දිහා හරි පැය ගාණක් උනත් ඔහේ බලන් ඉන්න පුළුවන් තැනක්. ගුඩ් ශෙඩ් එකේ බටයක් උඩ වාඩි වෙලා ඔහේ කාලේ ගෙවලා දාන්න පුළුවන් තැනක්. දාඩිය දාගෙන මහන්සි වෙන, මුට්ට කරගහන නාට්ටාමි මිනිස්සු අස්සෙත් ලෙංගතුකමේ සුවඳ දැනෙන මහ අරුම පුදුම තැනක්.
ඇත්තමයි, නුවර කියන්නේ මට නම් අරුම පුදුම තැනක්.
 උපුටා ගැනීම:  Sherlock Holms

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!