~ප්‍රේමයේ නුවර~ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වැස්ස කියලා කියන්නේ ඇත්තටම මාරම දෙයක්. වැස්සට පුළුවන් කාලෙකට කලින් අමතක වෙලා ගිය දේවල් අපිට ආය මතක් කරලා දෙන්න.
අදත් එහෙම වැස්ස දවසක්!
කාලෙකින් වැහැපු මේ වැස්ස අස්සේ තේ කෝප්පෙත් ළග තියාගෙන මුහුණුපොතේ උඩ පහළ යනකොට මම දැක්කා ලස්සන ෆොටෝ එකක්. වැස්සයි ඒ ෆොටෝ එකයි දැකපු ගමන් මගේ හිත ඉගිළුණා ඒ ෆොටෝ එක ඇතුළට.
මේ ලෝකේ සමහර දේවල වලට අපි ආදරේ කරන්නේ අහේතුකවම. සෙංකඩගලට මං ආදරේ කරන්නෙත් අන්න ඒ වගේ.
අහේතුකව!
නුවර මගේ උපන් ගම නෙමේ. ඒ වුණාට නුවර එක්ක මට තියෙන්නේ අසිමීත බැදීමක්. සාමාන්යෙන් අපි හැම අවුරුද්දෙම වගේ නුවර යනවා. මාළිගාවේ හේවිසි නාදය වගේම බෝගම්බර වැව හරහා හමාගෙන එන හුළග කියන්නේ මේ ලෝකේ මම විදින්න ආසම දේවල්. නුවර ගියාම මම තාත්තා එක්ක වැව වටේ ඇවිදිනවා. ඒ සනීප හුළගට, නුවර ලස්සනට ඇත්තටම මං හරි ලෝබයි.
මට හරියටම මතක නැති එක්තරා අවුරුද්දක නුවර සර්වඣ ධාතු ප්රදර්ශනයක් තිබ්බා. එතකොට මම සෑහෙන්න පොඩි. කොහොමහරි ඒක බලන්න යන්න අපේ ගෙදර අය තීරණය කරා. එදත් සෑහෙන්න වැස්ස දවසක්. කොළඹ ඉදන් නුවර ට යනකන්ම එක දිගට වැස්සා. මේ ධාතු ප්රදර්ශනය බලන්න ලංකාවේ හැම තැනින්ම වගේ මිනිස්සු ඇවිත් හිටියා. කොහොමහරි ඒ මහා සෙනග අස්සේ සෑහෙන උත්සහයක් දරලා සර්වඣ ධාතු වන්දනා කර ගත්තට පස්සේ තාත්තයි මායි මාළිගාවෙන් එළියට ඇවිත් අපිත් එක්ක ගිය අනිත් අය එනකන් බලාගෙන හිටියා. ඒ වෙලාවෙත් වැස්ස නතර වෙලා තිබ්බේ නෑ. තාත්තා මාව නොතෙමී තියා ගන්න කුඩයක් හොයන අතරේ මම වශී වෙලා වගේ බලන් හිටියේ මගේ ඉස්සරහ මැවිලා තිබුණ ඒ ලස්සන ලෝකේ දිහා.
වැහි බිංදු වැවට වැටෙන හැටි, වැව දිහාට නැමිලා තියෙන ගස් වලින් වැහි බිංදු එකතු වෙලා හැදිච්ච හීනි දිය පාරවල් වැවට එකතු වුන හැටි මම බලන් හිටියේ වශී වෙලා වගේ. වැස්සත් එක්ක ආපු සීතලත් එක්ක වැව රවුමේ තෙමී තෙමී ඇවිදින්න මට හදිස්සියෙම ඕන වුණ හැටි තාමත් මට මතක් වෙනවා.
මේ සිද්ධිය වෙනකොට මම සෑහෙන පුංචි ළමයෙක්. හැබැයි එදා මගේ හිතේ සෙංකඩගලට ඇති වෙච්ච් ආදරේ තාමත් එහෙමමයි. අද මම වයසින් වැඩුණ, දැනුමෙන් මුහුකුරා ගිය යුවතියක් උනත් අදටත් වැස්සේ තෙමී තෙමී වැව රවුමේ ඇවිදින්න මම සෑහෙන්න ආසයි.
වැස්ස දවසක සෙංකඩගලට ආදරේ කරන්න පටන් ගත්ත මම අදටත් වහින හැම වෙලේම හිතෙන් නුවර යනවා. ගිහින් මීට අවුරුදු ගාණකට කලින් මම දැකපු ඒ අති සුන්දර දර්ශනය හිතෙන් විදිනවා.
සමහරවිට අදත් නුවර ට වහිනවා ඇති. හේවිසි නාදෙත් එක්ක මුහු වෙච්ච් මල් සුවදයි සිල් සුවදයි එක්ක ප්රේමයේ නුවර ලස්සන දිව්යලෝකයක් මවලා ඇති.
ප්රේමයේ නගරය ලස්සනම වහින වෙලාවට! මේ ඇත්තමයි…..
අනේ! අදත් නුවර යන්න තිබ්බා නන්…….
උපුටා ගැනීම:  Arosha Karunarathne

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!