මහා දානපති මුද්දර රජුගේ වාසභවන – ස්ටෙෆනෝටිස් මන්දිරය හෙවත් සිරිමතීපාය – අගමැති කාර්‍යාලය

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වර්තමාන අග්‍රාමාත්‍ය කාර්‍යාලය ලෙස පාවිච්චි වන මේ මහා මන්දිරය ඉදිකරන ලද්දේ දහනවවන සියවසේ දිවයිනේ සාර්ථකම ව්‍යවසායකයෙකු වූ ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා හෙවත් ඒ.ඊ ද සිල්වා(ජ්‍යෙෂ්ඨ) විසිනි.

කොලඹ 07 මල් පාර හෙවත් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි ශ්වේත වර්ණයෙන් දිලෙන ප්‍රතාපවත් ප්‍රාසාදයකි. වර්තමාන අග්‍රාමාත්‍ය කාර්‍යාලය ලෙස පාවිච්චි වන මේ මහා මන්දිරය ඉදිකරන ලද්දේ දහනවවන සියවසේ දිවයිනේ සාර්ථකම ව්‍යවසායකයෙකු වූ ඇල්බට් එම්මානුවෙල් ද සිල්වා හෙවත් ඒ.ඊ ද සිල්වා(ජ්‍යෙෂ්ඨ) විසිනි.ඔහු විසින් ස්ටෙෆනෝටිස් ලෙස නම්කොට තිබූ මේ සුවිසල් මන්දිරය ඔහුගේ පුතුවූ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා විසින් සිරිමතීපාය ලෙස නැවත නම්කරනු ලැබීය.සිරිමතීපාය මන්දිරය කොලඹ හත මල් පාරෙහි අක්කර හතරක් වූ පුළුල් භූමියක ඉදිකොට තිබිණි.බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ මහා මන්දිරවල ආභාෂය ලබමින් වහල නොපෙනෙන සේ ඉදිකල මේ මන්දිරයේ අශ්ව ගාල් සහ ටෙනිස් පිටිද බිලියඩ් ක්‍රීඩා අංගණයක්ද පිහිටා තිබිණ.වර්ෂ 1957දී වූ ශ්‍රීමත් අර්නස්ට්ගේ අභාවයෙන් පසු සිල්වා පවුල යටතේ පැවතුණු මේ ගොඩනැගිල්ල 1973 දී රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් අත්පත් කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිහරණය සඳහා ලබාදෙන ලදී.පසුව අබලන් තත්වයේ පැවති සිරිමතීපාය 1978 දී අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස විසින් අලුත්වැඩියා කොට අගමැති කාර්‍යාලය සඳහා යොදාගන්නා ලදී.

දහනවවන සියවසේ මුල් භාගයේ ලංකාව යටත් කරගත් බ්‍රිතාන්‍ය පාලනය කෙමෙන් වැඩිවියට පත්වත්ම යටත්විජිත පාලනයේ මූලික ලක්ෂණයක් වූ සර්වඅධිකාරී හිරය මඳක් ලිහිල්කොට යම් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පහල කලේය. මේත් සමගම බ්‍රිතාන්‍ය පාලනයට සහාය දැක්වූ මුදලි මුහන්දිරම් පන්තිය මෙන්ම රේන්ද, වතුවැවිලි, හා කර්මාන්ත ආශ්‍රයෙන් ප්‍රාග්ධන සම්පාදනය කල ස්වදේශික ධනපති පන්තියක්ද ඉස්මතුව ආවේය. මින් සමහරෙකුටද මුදලි මුහන්දිරම් තනතුරු ගෞරව මාත්‍රිකව පිරිනැමූ අතර බ්‍රිතාන්‍ය ලංකාවේ රාජ්‍ය සේවයෙන් පිට එහෙව් පිලිගැනීමක් ලැබූ පලමුවැන්නා වන්නේ චාල්ස් හෙන්රි ද සොයිසාගේ පියාවූ ජෙරොනිස් ද සොයිසාය. උඩරට පලාත ප්‍රමුඛව තම ව්‍යාපාර පතුරුවාගෙන සිටි පහතරැටියෙකු වූ ඔහුට මුදලි තනතුරට අමතරව උඩරට ප්‍රකට පෙලපත් නාමයක් වූ දිසානායක නමින් නම්බුනාමයක් ද ලැබිණි. මේවා බ්‍රිතාන්‍ය පාලනයට අපක්ෂපාතව සිටි උඩරැටියන්ගේ කුලමානය මට්ටු කිරීම සඳහා කල සාටෝප කර්මයන් ලෙසද ගිණිය හැක. ඇල්බට් එම්මානුවෙල් ද සිල්වාද මේ පහතරැටි වෙලඳ කාටලයේ සාමාජිකයෙකි. ඔහුගේ උපන්ගම ගාල්ල රත්ගමය. බටහිර ආභාෂය ගුරුකොට තැකූ මේ නව්‍ය සිටුවරුන් විසින් අගනුවර වටිනා බිම්කඩවල්හී මහා මන්දිර ඉදිකල අතර දේශීය ධනේශ්වර පන්තියේ ඒකරාශීවීමක් ලෙස කොලඹ හත සහ තදාසන්න පෙදෙස් ප්‍රකට වීමේ මුල් අවධියද මෙයයි.

වර්ෂ 1877 දී උදේරිස් ද සිල්වා ගුණසේකර ආරම්භ කල ව්‍යාපාරයට 1887දී හවුල්ව තම ව්‍යාපාර කටයුතු කරගෙන ගිය ඒ ඊ ද සිල්වා(ජ්‍යෙෂ්ඨ) ඔහුගේ ඇවෑමෙන් පසුව තනිව ව්‍යාපාර ඉදිරියට ගෙනගියේය. කොලඹ කාසල් වීදියේ සහ බොරැල්ලේ මිනිරන් ස්ටෝරු පිහිටවා තිබූ ඔහුගේ ඒ.ඊ ද සිල්වා සහ සමාගම එක්සත් රාජධානිය ප්‍රමුඛව යුරෝපා මහාද්වීපයට ලන්ඩන් සහ හැම්බර්ග් සහ අනෙකුත් වරායන්හී වෙලඳ ඒජන්තයින් හරහා මිනිරන් , දිසිඳි පොල්, කොහු, කොකෝවා, කුරුඳු සහ තේ අපනයනයේ යෙදී සිටියේය.

miniran gabadawa
මිනිරන් ගබඩාව

ඒ ඊ ද සිල්වා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අක්කර 650ක දෙල්ගොල්ල වත්ත, අක්කර 325ක කිරිවවුල වත්ත සහ හලාවත දිස්ත්‍රික්කයේ අක්කර 340ක කොස්හේන වත්තද ඇතුළු පොල් ඉඩම්ද අක්කර 400ක කුරුඳු ඉඩම්ද අක්කර 200ක කොකෝවා වගාවක්ද කළුතර දිස්ත්‍රික්කයේ තවත් අක්කර 1000කට ආසන්න රබර් ඉඩම්ද ඇතුලත්ව අක්කර දහස් ගණනක ඉඩම්වලට හිමිකම් කීය. කොහු බුරුසුු සහ මෙට්ට නිෂ්පාදනය කරන පූර්ණ පහසුකම් සහිත කර්මාන්ත ශාලාවක්ද ඔහු සතුවිය. කොලඹ තුරඟ තරඟ සමාජයේ සාමාජිකයකු වූ සිල්වා කොලඹ ඔරියන්ට් සමාජයේ කමිටු සාමාජිකයෙක්ද විය. එවක ඉතා බලවත් මිනිරන් වෙලෙන්දන්ගේ සංගමයේ සහ වැවිලිකරුවන්ගේ කෘෂිකාර්මික සමාජයේද සාමාජිකයකුද වූ ඔහු අපනයන ව්‍යාපාරික එමානිස් ද සිල්වා ගුණසේකරගේ දියණියක් සමග විවාහවිය.

වර්ෂ 1887 නොවැම්බර් මස 26 වෙනිදින ඒ.ඊ සිල්වා දම්පතීන්ට දාව ඇල්බට් අර්නස්ට් ද සිල්වා උපන් අතර කොලඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්හී ක්ලෙයාර් විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගත් අතර ඉන්දියාවේ පලමු අග්‍රාමාත්‍යවරයා වූ ශ්‍රීමත් ජවහල් ලාල් නේරු ඔහුගේ සමකාලීන මිතුරෙකි. වර්ෂ 1938දී ලංකාවට පැමිණි නේරු තම මිතුරාවූ අර්නස්ට්ද හමුවුනේය. වර්ෂ 1912 දී බැරිස්ටර් වරයෙකු ලෙස පත්වූ ඔහු 1913 මැයි 16 දින සර්නේලිස් ද සිල්වා ගුණසේකර සහ ඉයුජීන් ද සිල්වා කුමාරසිංහගේ දියණියක් වූ එවාඩ්න් ලක්ෂ්මිනි ගුණසේකර සමග විවාහවිය. ඔවුන්ට දරුවන් සයදෙනෙකු වූ අතර එක් දියණියක් වූ සීතා ලංකාවේ සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයේ නිර්මාතෘ වාසල මුදලි ඒබ්‍රහම් මෙන්ඩිස් විජයශ්‍රීවර්ධන ගේ මුණුපුරෙකු වූ ප්‍රකට බිලියනපතියෙකු සහ ලංකාවේ විශාලතම ගොඩනැගිලි ඉදිකල කොන්ත්‍රාත්කරුවෙකු (යූ එන් ගුණසේකර සහ සමාගම) වූ කීර්තිමත් සිවිල් ඉංජිනේරු යූ.එන් ගුණසේකර සමග විවාහවිය. තවත් දියණියක වූ ස්වර්ණපාලී විවාහවූයේ වෛද්‍යවරයකු වූ ඕ.එම් මෙන්ඩොසා සමගය.

ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා ලෝප්‍රකට මුද්දර ලෝලියෙකි. විශාල මුදල් ගෙවා වටිනා මුද්දර අත්පත් කරගත් ඔහුගේ මුද්දර එකතුව දෙවෙනි වූයේ බ්‍රිතාන්‍යයේ පස්වන ජෝර්ජ් රජුගේ එකතුවට පමණි. ඔහු ලොව ප්‍රථම මුද්දරය වන කීර්තිමත් ‘පෙන් බ්ලැක්’ ද හිමිකර ගත්තේය. වර්ෂ 1944 දී කොලඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපතීත්වයට පත්වූ ශ්‍රීමත් අර්නස්ට් 1948 ඔක්තෝම්බර් මසදී තරුණ බෞද්ධ සංගමයට මුද්‍රණ යන්ත්‍රයක් ලබාගැනීම සඳහාද අරමුදල් සපයා ඇත.1934දී මිලදීගත් ලෝකයේ වඩාත්ම මිල අධික මුද්දරයක් ලෙස සැලකෙන මොරිෂස් වන් පෙන් (1847) බ්‍රිතාන්‍යයේ එච්.නිසෙන් සහ ඩබ්ලිව්.ඊ ලී යන අයට විකිණීමෙන් ලබාගත් ස්ටර්ලිං පවුම් 5000ක මුදල (මෙම මුද්දරය වර්ෂ 1993 දී ස්විට්සර්ලන්තයේ සූරිච් හී ඩේවිඩ් ෆෙල්ඩ්මන්ගේ වෙන්දේසියේදී ඇමරිකානු ඩොලර් 1073340කට අලෙවි විය.) සහ රු.55000ක් කොලඹ තරුණ බෞද්ධ සංගමයේ කොටුවේ පිහිටි ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ලබාදුන් ශ්‍රීමත් අර්නස්ට් විසින් 1956 ජූලි මස 26 වැනිදින මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පලමු පස් පිඩැල්ල කපන ලදී.

mauritius one pen
mauritius one pen

මෙම සිදුවීමත් සමග ඔහු මුද්දර රජු යන අන්වර්ථ නාමයෙන් සිරිලක පතල වීය.1951දී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ පලමු සභාපති වශයෙන් පත්වූයේද අර්නස්ට් ද සිල්වා මැතිතුමන්ය. ඔහු ආසියාවේ රෝල්ස් රොයිස් රථයක් හිමිකරගත්තවුන් අතුරින් පළමුවැන්නෙක්ද විය. 

Albert Ernest de Silva
ශ්‍රීමත් ඇල්බට් අර්නස්ට් ද සිල්වා

වර්ෂ 1915 වනවිට ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වූ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා කොලඹ හත සහ තදාසන්න පෙදෙස්වල වටිනාම ඉඩම් අක්කර 46කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගත් අතර ඔහුගේ කොලඹ මුළු ඉඩම්වල වටිනාකම වර්ෂ 2010 ආර්ථිකයට අනුව ඩොලර් මිලියන 600ක පමණ වටිනාකමක් වීයැයි ඇස්තමේන්තු කොට ඇත .අක්කර 1200ක සාලාව රබර් වත්ත මෙන්ම බිංගිරියේ රුක්අත්තන පොල් වත්තද ඔහු සතුවිය. මිනිරන් වෙලඳුන්ගේ සංගමයේ සභාපති ධුරයටද පත්වූ ඔහුකොලඹ තුරඟ තරඟ සමාජයේ සභාපති ලෙසද පත්ව ඇත.ඔහු වර්ෂ 1916 සිට 1926 දක්වා කොළඹ මහා නගර සභාවේ මරදාන කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීධූරයද හොබවා ඇති ශ්‍රීමත් අර්නස්ට් 1931 ආරම්භ කරන ලද එවක ලංකා රාජ්‍ය උකස් බැංකුව ලෙස හැඳින්වූ වර්තමාන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සහ 1939 අගෝස්තු 01 වැනිදින කොලඹ කොටුව බ්‍රිස්ටල් වීදියේදී එවක ලංකාණ්ඩුකාර තැනවූ ඇන්ඩෲ කොල්ටිකෝඩ් විසින් විවෘත කල ලංකා බැංකුවේ ආරම්භක සභාපතිවරයාද විය.

Bank Of Ceylon
ලංකා බැංකුවේ ආරම්භය වර්ෂ 1938

විසිවන සියවසෙහි ශ්‍රී ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතම දානපතියා වන්නේද ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මැතිතුමන් ය. ඔහුගේ බිරිඳවූ එවාඩ්න් ද සිල්වා මැතිණියද ශ්‍රීමත් අර්නස්ට්ගේ පින්කම් වලට දයකවූ අතර ඇය සමස්ත ලංකා කාන්තා බෞද්ධ සම්මේලනයේ ආරම්භක සභාපතිද විය. ඇය ලංකාවේ සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු කාන්තාවන්ගෙන් කෙනෙකි. ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා ප්‍රසිද්ධිය උදෙසා පින්කම් නොකල අතර වර්තමානයේ මෙන් ජනමාධ්‍ය ප්‍රබල නොවූ අවධියක අප්‍රසිද්ධියේ ඔහු කල පින්කම් වාර්තා වූවාට වඩා වැඩිවෙනු නිසැකය.

ඔහුගේ සමහර දානපති සේවාවන් සැකෙවින් දක්වතොත්
  • අධ්‍යාපනය*

වර්ෂ 1920 දී ඔහුගේ උපන්ගම වූ ගාල්ල රත්ගම දේවපතිරාජ විද්‍යාලය ඉදිකිරීම

පානදුරේ වලාන ලක්ෂ්මී විද්‍යාලය ඉදිකිරීම

දෙමටගොඩ වේළුවන විද්‍යාලය ඉදිකිරීම

මාවතගම දෙල්ගොල්ල මහා විද්‍යාලය ඉදිකිරීම

ඉබ්බාගමුව මහා විද්‍යාලය ඉදිකිරීම

ගල්හේන්කන්ද කඩලිය විද්‍යාලය ඉදිකිරීම

පොල්ගස්දූව පෙර පාසැල

සල්ගල වනයේ පෙර පාසැල

මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලය ඇරඹීමට දායක වීම(එවාඩින් ද සිල්වා මැතිණිය)

මීට අමතරව ඔහු සතුව තිබූ සෑම වතුයායකම පාහේ කණිෂ්ඨ පාසැල් ඉදිකොට ඇත.

බෞද්ධ ශාසන අභිවෘද්ධිය

වර්ෂ 1920 ජනවාරි 15 දින දෙමටගොඩ වේළුවනාරාමය ඉදිකිරීම

පොල්ගස්දූව ආරණ්‍යය සේනාසනය ඉදිකිරීම

සල්ගල ආරණ්‍යය සේනාසනය ඉදිකිරීම

රාජගිරිය තපෝවනය ආරණ්‍යය සේනාසනය ඉදිකිරීම සඳහා ඉඩම් පරිත්‍යාග කිරීම

සෞඛ්‍ය සම්බන්ධ සේවාවන්

වැලිසර ළය රෝහල ඉදිකිරීම

කඳාන ක්ෂය රෝග සායනය ඉදිකොට එහි නඩත්තු කටයුතු සඳහා අක්කර 9ක පොල් සහ කුරුඳු ඉඩමක් ලබාදීම

බෝරකන්ද මාතෲ රෝහල ඉදිකිරීම

කුරුණෑගල වන්නි අතපත්තු රෝහල ඉදිකිරීම

ලංකාවේ පළමු එක්ස්-කිරණ යන්ත්‍රය ඇතුලත් ජාතික රෝහලේ විකිරණවේද දෙපාර්තමේන්තුව සම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකොට පරිත්‍යාග කිරීම.

ක්ෂය රෝගය වැලැක්වීමේ ජාතික කමිටුවේ සභාපති ලෙස සේවය කිරීම

ළමා සහ වැඩිහිටි නිවාස – 

කටුනායක ලක්ෂ්මී ළමා නිවාසය
පානදුර වලාන ළමා නිවාසය
හීනටියන ළමා නිවාසය
මීගමුව ළමා නිවාසය
කඳාන ළමා නිවාසය
බියගම ළමා නිවාසය
මොරටුව ලුනාවේ ඇන්ජලා ළමා නිවාසය
රාජගිරියේ වික්ටෝරියා නිවාසය
ගාමිනි මාතා වැඩිහිටි නිවාසය පිහිටුවීමට ආධාර කිරීම (එවාඩින් ද සිල්වා මැතිණිය)
රාගම පරාක්‍රම ළමා නිවාසය
පානදුර මල්ලිකා වැඩිහිටි කාන්තා නිවාසය සඳහා ඉඩම් පරිත්‍යාග කිරීම(එවාඩින් ද සිල්වා මැතිණිය)

Sir Earnest de Silva

ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා විසින් ශ්‍රී ලංකාවට කල සේවය අගයකරනු වස් වර්ෂ 1946 ජනවාරි මස 01 වනදින එවක බ්‍රිතාන්‍ය කිරීට ආණ්ඩුවේ හයවැනි ජෝර්ජ් රජු විසින් නයිට් නාමයෙන් පුදකොට ඔහු විසූ සිරිමතීපාය මන්දිරය පිහිටා තිබූ කොලඹ 07 මල්පාර ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත ලෙස නම්කොට ඔහු නමින් සමරු මුද්දරයක් ද නිකුත් කරනු ලැබීය.

Sir Earnest de Silva
ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා සමරු මුද්දරය

 

1948 දී ලංකාවට නිදහස ලැබුන පසු ලංකාවේ පළමු ආණ්ඩුකාර තනතුරද ඔහු වෙත අර්පණය කල මුත් පෞද්ගලික හේතූන් මත එය ප්‍රතික්ෂේප කලේය. තම මාතෲ භූමියට අමරණීය සේවාවක් කල ශ්‍රීමත් ඇල්බට් අර්නස්ට් ද සිල්වා ආදර්ශී දිවිපෙවෙතක් නිමකොට වර්ෂ 1957ක් වූ මැයි මස 09 දින සැත්තෑවෙනි වියේදී ජන්මාන්තරයට පැමිණියේය. මෙවන් දානපති ගතිගුණ ඇති දෑවැඩදායී, පරහිතකාමී සත්පුරුෂයින් බිහිවීම අතිශයින් විරලය. ඔහුට අමාමහ නිවනින්ම සැනසීම ලැබේවා…!!. 

සැයු. මේ ලියවිල්ලෙහි සඳහන් යම් ස්ථානයන්හී නාමයන් කාලානුරූපීව වෙනස්වී තිබීමට ඉඩ ඇති බැවින් තර්කානුකූලව ඒවාගේ නිරවද්‍යතාවය මැනගත යුතුය.

අන්තර්ජාලයේ වලව්ව FB අඩවියෙන් උපුටාගන්නා ලදි.

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!