ප්‍රින්සිපල්ගේ වේවැල් පාර… (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම තෙරිපැහැඉස්කෝලේ ඉන්න කාලයේ තුන් පාරක්ම විදුහල්පතිතුමා ගෙන් වේවැල් පාර කෑවෙමි. එකල අපේ විදුහල්පතිතුමා උනේ තෙ.සෝ. දිසානායක මහතාය. තෙ. සෝ. යනු තෙරිපැහැ සෝමරත්ත යන්න කෙටිකරගත් ආකාරයය. පදියපැලැල්ල ඉස්කෝලේ සිට තෙරිපැහැ ගමේ ඉස්කෝලෙට එතුමා ආවේ බිරිදත් දරුවන් පස්දෙනාත් සමඟය. මගේ ෆ්බී එකේ ඉන්න කර්නල් ඊප්සිත දිසානායක එතුමාගේ බාල පුතාය. ඔවුහු පැමිණ ගුරු නිවාසයේ නතරවූහ. ඒ 1973 අවුරුද්ද ය. එවකට මම හතේ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියෙමි.
මට මතක හැටියට මං මුලින්ම ගුටි කෑවේ එතුමා පැමිණි මුල් කාලයේ දවසකය. ඒ මල් පාත්තියක මල් පැළයක් ගලවා විසිකිරීම නිසාය. එකල ඉස්කෝලේ මල්පාත්ති සිසුන් අතර බෙදා දී තිබුණේය. මැද ගොඩනැගිල්ලට පිටතින් තීරුවක් ලෙස තිබුණ මල් පාත්ති කීපය තිබුණේ අපේ පන්තියටය. ඉන් එක පාත්තියක මල් වැව්වේ මමත් මගේ යාලුවෙකු වූ අත්තනායකත් ය.
අත්තනායක ඉතා අහිංසක මා ඉතා ප්රිය කළ යාලුවෙකි. අපි දෙදෙනා අපේ පාත්තිය හොදින් වැව්වෙමු. ඩේලියා , බාබන් ඩේසියා සහ දාස්පෙතියා වඩාත් ජනප්රිය මල් වර්ග විය. අපේ පාත්තියේ එක් ඩේලියා පැළයක වරක් ලස්සන මලක් පිපුණේය. එතරම් ලස්සන මලක් වෙන කිසිම පාත්තියක පිපුණේ නැත. උදේ රැස්වීමට ආව ප්රින්සිපල් මේ මල දැක බොහෝ සතුටට පත්විය. ඔහු අනෙක් ගුරුවරුන්ටද එය පෙන්වනවා මට මතකය. ඔහු අපව වර්ණනා කළේද, නැද්ද යන්න දැන් මට මතක නැත. ඇතැම්විට රැස්වීමේදී ප්රසිද්ධියේම ඔහු ඒ ගැන කියන්නට ඇත. මට මතක ඇත්තේ රැස්වීම අවසන්වී යනවිට අපේ පාත්තිය ලඟ නතරවී අනෙක් ගුරුවරුන්ට එය පෙන්වමින් මොන මොනවාදෝ කියූ හැටිය.
අත්තනායකත් මමත් අපේ ඩේලියා මල ගැන බොහෝ සතුටු විමු. දැන් මගේ මතකයේ තියෙන්නේ එය දම්පාට ලොකු මලක් විදියටය. අපේ අවාසනාවකට මේ මල පසුවදා මැලවී ගියේය. එය බෙහෙවිම අස්වාභාවික දෙයක් විය. එක්කෝ කවුරුන් හෝ ඊර්සියාවට පැලයේ මුල් බුරුල් කරන්නට ඇත. නැතහොත් කුමක් හෝ රෝගයක් එයට හැදෙන්නට ඇත. එය දැකීමෙන් මට ඇතිවුනේ වේදනාවක් සහ කේන්තියකි. මේ කේඩෑරි පැළය තවත් තබාගෙන සිටීමෙන් පළක් නැති නිසා අත්තනායකටත් කියා මම එය ගලවා විසිකළෙමි.
තමා බොහෝ ආසා කළ මල එතැන නැති බව ප්රින්සිපල් දැක්කේ පසුදාය. ඒ පිළිබදව විමසා බැලීමේදී මා එය ගලවා විසිකළ බව කවුරුන් ගෙන් හෝ එතුමාට දැනගන්නට ලැබී ඇත. මම විදුහල්පති කාමරයට කැදවනු ලැබිමි. මල පරවී මල් පැලය හේබෑවී තිබුණ නිසා එය ගලවා විසිකළ බව මා කියන්නට ඇත. මා හැදූ පැළේ ගලවන්නට මට අයිතියක් ඇතැයි ද මා කළේ වරදක් නොවේයැයිද යන්න මගේ හිත කීවේය. එහෙත් ඒ කිසිවක් නිදහසට කරුණු නොවීය. මට දඩුවම් ලෙස වේවැල් පාර වැදුණි. ඒ මා ගුටි කෑ පළමු වාරය ය.
දෙවනි වර මා වේවැල් පාර කෑවේ අටේ පන්තියේදී විය යුතු ය. ඒ කාලයේ අපට සමහර පාඩම් කෙරුනේම නැත. මට මතක හැටියට ඉංග්රීසි සහ ගණිතයට ගුරුවරුන් සිටියේ නැත.
අපට පන්තියට වී සිටීම නිරසවී තිබුණේය. මේ නිකන් සිටින කාලය තුළ විද්යාගාරයේ වහළයට නැග ආතල් එකක් ගැනීමට අපි තුන් දෙනෙක් කතා කරගතිමු. ඒ උපාලි අගලකුඹුරත්, එම්.ජී. විලියමුත් මාත් ය.
අපි ඉස්කෝලේ පිටුපස වැටේ ගිණිසීරියා ගසෙන් විද්යාගාරයේ වහළට නැග ගතිමු. කිසිවෙකුටත් අප වහළය මත සිටිනවා පෙනෙන්නේ නැත. අපි වහළ උඩ ඉදගෙන පැය ගනනාවක්ම වලපල් කියෙව්වෙමු. අප පහළට බැස ආවේ ඉස්කෝලේ ඇරෙන්නට ලංවූ විටය
අප එනවිට පන්තියේ ගිණි ජුම්බරයකි. අප අතුරුදහන්වී ඇති බව පන්තියේ මොනිටර් ප්රින්සිපල්ට වාර්තා කොට ඇත. එකල අපේ මොනිටර් වූයේ සෝමසිරිය. එනම් දැන් ඉන්න සුප්රකට ගායක සෝමසිරි මැදගෙදරය. ඒ දවස්වල සෝමසිරි ද අපට ඇළජික් ය. අපි තුන් දෙනාම විදුහල්පති කාමරයට කැදවනු ලැබ ගුටි කෑවෙමු. අප පන්තියේ නොසිටියත් විදුහල තුළ ම සිටි බවක් කිසිවෙකුත් විශ්වාශ කළ බවක් නොපෙනුනි.
තුන්වෙනි පාර මා ගුටි කෑවේ පන්තියේ සියලු දෙනාත් සමඟය. අපේ පතියේම සිටි ප්රින්සිපල්ගේ දුව වූ සමුද්රා ද එවර ගුටි කෑවාය. ඒ ස්ත්රීපුර ගල්ලෙන බලන්නට ගොස් ය.
සැරසුන්තැන්නේ පිහිටි ස්ත්රීපුරය විශාල හිරිගල් ගුහාවකි. කැලෑවෙන් වැසුනු කදුගැටයක පිහිටි මේ ස්ථානය බලන්නට යන්නට ආචාර්ය මණ්ඩලයේ කීපදෙන්කුත් අපිත් සූදානම් විමු. අපේ ගමේ සිට හුළංකපොල්ල හරහා මළ ඔය දිගේ පයින් ගොස් අරුක්වත්ත ගම පසුකොට එහි යා හැකිය. අප හැම එකට තෙරිපැහින් පිටත් වුවත් ටික දුරක් ගිය පසු වැඩිහිටි පිරිසෙන් වෙන්ව අපි ඉදිරියට ගියෙමු. එහෙත් ඒ අයටත් පාර සොයාගත හැකිවන පරිදි අපි රටහුණුවලින් මග සළකුණු කළෙමු. විටින් විට හූ කියමින් අප ඉන්නා ඉසව්වද ඇගෙව්වෙමු. අපි ගල්ගුහාව සොයාගෙන එහි ගියෙමු. අනෙක් අය එනතුරු අපි ගුහාවේ බිහිදොරටවී එහි සිරි නැරඹුවෙමු. මේ ආශ්චර්යමත් ගුහාවට ඇතුල් වන තුරු මා සිටියේ පුදුම නොඉවසිල්ලෙනි. එහෙත් විදුහල්පති තුමා ඇතුලු අනෙක් පිරිස එහි ලඟා වූයේ අප එහි ගොස් බොහෝ වේලාවකට පසුය.
එ අවශ්ථාවේ ඔවුන් අපට යමක් කීවාදැයි මට මතක නැත. එහෙත් කණ්ඩායම සමඟ එකට ගමන් නොකිරීමේ වරදට ඊලග දවසේ පාසැලට ආවිට අපේ කණ්ඩායමට දඩුවම් පමුණුවනු ලැබීය. අලි, කොටි ඉන්නා කැලේ මේ විදියට වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා අනතුරක් වෙන්නට තිබුණ බවත් අප කළේ නොකළ යුතු දෙයක් බවටත් උපදේශනාත්මක දේශනවලටද අපට සවන් දෙන්නට සිදුවිය. මේ අප NCGE විභාගයට පෙනීසිට ප්රතිඵල බලාපොරොත්තුව සිටි 1976 මාර්තු මාසයේ ය. ඉන් පසු නැවත දඩුවම් ලබන්නට තරම් කාලයක් මම එහි නොසිටියෙමි.
ඒ වසරේ දීම උසස්පෙළ හැදැරීමට මම කොළඹ ආනන්දයට පැමිණියෙමි. එකල අසල තිබුනු මහා බෝධියට නිතර ගිය මම ඉන් ප්රකාශයට පත් කරන සිංහල බෞද්ධයා පත්රයට ස්ත්රීපුර ගුහාව ගැන ලිපියක් ලිවිමි. ස්ත්රීපුරය පිලිබදව කවුරුන් හෝ ලියනු ලෑබූ එකම ලිපිය එය විය හැකිය. මේ අනඟි ගුහාව පසුව රන්දෙණිගල ජලාශයට යටවිය. එකල මහවැළි අමාත්යාංශයෙන් පළකළ ඉසුර සඟරාව සදහා මේ ගුහාව ගැන ලිපියක් ලියන්නට එහි කර්තෘ ලෙස සිටි ශිවපාල බණ්ඩාර මහතා වරක් මා කැදවුවත් කුමන හෝ හේතුවක් නිසා එය ක්රියාවට නැගුනේ නැත.
කීර්තිමත් පුරාවිද්යාඥයකුවූ පී.ඊ.පී.දැරණියගල 1958 දී මේ ගුහාවේ සුළු කැණීමක් කොට ඇති බව පසුව මම දැනගතිමි. මෙය රන්දෙණිගලට යට නොවුනා නම් කවදා හෝ දවසක මා එහි කැණීමක් කරනවා ඇත.
උපුටා ගැනීම: Anura Manatunga

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!