සර්ගේ මල විකාර කියන්න ගියාම ලෙක්චර් එක දික් වෙනවා දන්නෙම නෑ.ඒක එලෙක්ටිව් සබ්ජෙක්ට් එකක්. අපේ යාලුවන්ගෙන් මං විතරයි කලේ.
හුගක් ලමයි ලග ලග බෝඩිං වල උන්නේ. මං විතරක් අර පාලු පාරේ කිලෝමීටර් හතරක් විතර පයින් යන්න ඕනේ…. වෙනදට ලෙක්චර් එක උදේ තිබ්බ හින්දා ඒක තේරුනේ නෑ. ටික දවසක් යනකං විතරක් හැන්දෑව ට දැම්මේ සර්ගේ මොකද්ද වැඩක් ඉවර වෙනකං කියලා .
පර්ෆොමින් ආර්ට් ෆැකල්ටිය ගාවින් එද්දි සෑහෙන්න කලුවරයි. මං කලුවරට ඇත්තටම බයයි. ත්රීවීලර් එකක් අරං යන්න සල්ලි තිබුනෙත් නෑ. පර්ෆෝමින් ආර්ට් එක ගාව පිරිමි ළමයෙක් හිටගෙන හිටියා.වෙන කරන්න දෙයක් තිබුණේ නැති හින්දා මට හිතුණා එයාගෙන් උදව් ඉල්ලන්න ඕන කියලා.
අයියේ මම සෙකන්ඩ් ඉයර්.අනේ අපේ ලෙක්චර් එක ඉවර වෙන්න රෑ වුණා .අපේ හොස්ටල් එකට යන්න ඉන්නේ මම විතරයි .මට තනියම යන්න බයයි .මට ත්රීවීල් එහෙක යන්න සල්ලිත් නෑ .ත්රීවිල් එකක තනියම මට යන්නත් බයයි .මට උදව් කරන්න පුළුවන්ද ඔයාට .
වෙනදෙයක් වෙන්න මං ඇහුවා.
ඊ ගහක් වගේ මං දිහා බලාගෙන හිටපු එයා..
මම ගිහින් දාන්නම් …
කියලා කිව්වා.ඊට වඩා වචනයක්වත් කතා කරන්න ඕන නැති මම එයා පස්සෙන් යන්න පටන් ගත්තා.
වෙනදට ලෙක්චර් එක තියෙන්නෙ උදේට, මේ ටිකේ විතරයි මේ…මේ සෙනෙවිරත්න සර්ගේ ලෙක්චර්ස් වලට වෙලාවක් කලාවක් නෑනේ කියවන්න ගියාම .ඉවරයක් නෑ…. මෙච්චර වෙලා යන්නෑ..ඉවර වෙන්න තිබුණේ මීට පැයකට කලින් ….
මං එෆ් එම් නිවේදිකාවක් වගේ එයාගේ පස්සෙන් දුවගෙන යන ගමං කියෝනවා. එයා හරි උසයි. ගමන හරි වේගවත්..
හ්ම්…
එයා කියනවා..
අයියා… අයියා කව්ද … දැන් මට හති වගේ…
පුලස්ති… කාඩ් එක නිහඩ….
ආ… හ්.. අනේ මං හින්දා කරදරයක් උනේ ඔයාට…. අනේ සමාවෙන්න …. කිලෝමීටර් හතරක් යනකං මං ඔහේ කියෙව්වා කියලා පස්සෙයි හිතුනේ.හොස්ටල් ගේට්ටුව ගාවටම ආපු පුලස්ති වචනයක් වත් නොකියා යන්න හැරුනා.
අයියේ මේ… මේ.. අනේ ස්තූතියි ….
අයියේ අනේ ඔයා ගොඩක් හොදයි.. අනේ ඔයාගේ නම්බර් එක දෙන්න…පුලුවන්නම් …. මට…. මං කිව්වේ මේ… කරදරයක් නැත්තම් ….
තවත් මොනවා දො අතොරක් නැතුව මං කියවද්දි මගේ අතේ තිබ්බ ජංගමයා අරං එයාගේ නොම්බරේ ගහලා පුලස්ති කියලා සේව් කරලා මං දිහා නොබලාම ජංගමයා දීලා ආපහු යන්න ගියා.
එදා රෑ හොල්මනක් වගේ පුලස්ති මට පාඩම් කරන්න දුන්නේ ම නෑ.. හිතට තට්ටු කරනවා… දොර අරිනවා.. ලොකු හුලං පාරක් ඇවිත් පුලස්ති හිනාවෙලා ආපහු යනවා . එයාට පලවෙනි වට්සැප් මැසේජ් එක අරින කොට හරියටම රෑ 12:00 යි .
ත්රීවීල් එකක යන්න මට සල්ලි තිබුණෙ නෑ අනේ සොරි .මං හින්දා කිලෝමීටර ගානක් පයින් එන්න යන්න උනාට මට සමාවෙන්න….
ටික වෙලාවකින් එයා මට මැසේජ් කරලා තිබුනා.
ගණන් ගන්න එපා මං ගාවත් සල්ලි තිබුණෙ නෑ …
ඊට පස්සෙත් මං මොන මොනවද ගොඩක් මැසේජ් කළා .හැබැයි එකකටවත් උත්තර එවලා තිබුණෙ නැහැ .
පහුවෙනිදා ත් ජිම් කැන්ටිමේ දි මං උන්නේ නන්දි එක්ක තේ බොන ගමං..
අන්න උබේ දික් දන්ඩා…
නන්දි මට පෙන්නුවා. ආත්ම හතක් දන්නවා වගේ දැනුන පුලස්ති ගාවට මං දිව්වා.
අයියේ …. කොහොමද …. මාව මතකද …
ඩිමෙන්ශියා ලෙඩෙක් වගේ මං දිහා බලන් උන්නු පුලස්ති යාංතං හිනා උනා.
මට වඩේ දෙකයි… කියපු පුලස්ති මං කියලා කෙනෙක් එතන නෑ වගේ වඩෙත් අරං කෙලවරේ මේසෙට ගියා.
මං එයාගේ වට්සඇප් එකට පනිවිඩයක් ඇරියා.
ඇත්තටම අමතකද….
හිනාවෙන මූනක් එයා එව්වා .
මට ඉමෝජි පේන්න බෑ….
මං ඇරියා…
ඒකට කිසිම උත්තරය ක් ආවේ නෑ.
අපි අපේ හිත් වල මහා ඉහලින් තියං ඉන්න අයගේ හිත්වල අපි ඉන්නේ පහලින්මයි කියලා මට හිතුනා.
නන්දි ඇහුවා ඇයි බං මේ කදුලු කියලා … පුන්චි ඔලුව වැනීම් හතරකින් මුකුත් නෑ කියලා මං කිව්වට මුකුත් නෑ කියලා කියන දේවල හේතු කෝටියක් තියෙන බවත්, හ්ම්.. කියන දේ ඇතුලේ වචන ගොඩක් තියෙනවා කියලත් මට හිතුනා.
ඊලග සතියෙත් ලෙක්චර් එක ඉවර වෙද්දි රෑ උනා. අදනං තනියම යනවා. බල්ලෙක් වත් ඕනේ නෑ කියලා හිතලා එළියට බ එලියට බැස්සත් මොකද තෙල් බැම්ම හරියට එනකොට මගේ නිර්භීතකම හේදිලා ගිහිල්ලා තිබුණා .හිතපු නැති විදිහට පුලස්ති බැම්මේ ඉඳගෙන හිටියා .මම අනිච්චානුකව එතන නැවතිලා උන්නා .සුපුරුදු විදියට පුලස්ති මාව ගෙනිහින් දාන්න ආවා .මට වඩා මීටර් පහක් විතර ඉස්සරහින් පුලස්ති යනවා .මම හති දම දමා පස්සෙන් දුවගෙන යනවා .හොස්ටල් එක ගාවට එනකොට මට හොඳටම හැති.
අයියා ගොඩක් ස්තූතියි..
කියලත් මම කිව්වේ පුදුම මහන්සියකින්..
පුංචි හිනාවකින් ඔලුව වනපු පුලස්ති ආපහු හැරිල යන්න ගියා. වට්ස්ඇප් මැසේජ් කරලා පුලස්තිට කරදර කරන්නෑ කියලා හිත තදකරගෙන හිතපු මට ,හරියටම රෑ දහය විතර වෙද්දි
නිදිද …
කියලා විතරක් අහපු මැසේජ් එකක් ආවා.මට හිතාගන්න බැරිවුනා .මේ මැසේජ් එක දැකලා මාව සතුටෙන් වෙව්ලන්න ගත්තා .එක දිගටම වට්ස්ඇප් මැසේජ් විස්සක් විතරක් මම ඇරියා .පුංචි පුංචි කවි ,රුසියන් කතාවලින් අහුලගත්ත ලස්සන කෑලි ,අන්තිමේ එක එක නිකායවල් වලින් අහුලගත්ත කෑලිත් ඇරියා.ඒ මැසේජ් බලලා තිබුණට එකකටවත් එයා උත්තර එව්වේ නෑ.
කවදාවත් නැති විදියට මම උදේ විශ්වවිද්යාලයට ගියේ පුදුම ආසාවකින්.ඒක වචනයෙන් කියන්න බැහැ .හැම හුස්මකම හැම පැතුමකම පුලස්ති අයියා උන්නා .
මට නැශනල් ලයිබ්රරියට යන්න ඕනේ .යන්න දන්නේ නැහැ.උදව් කරන්න පුලුවන්ද..
මම වට්ස්ඇප් මැසේජ් එකක් ඇරියේ උවමනාවටම නෙමෙයි .
මුළු දවස පුරාවටම ඒකට උත්තරයක් එවල තිබුනෙ නෑ . ඒ උනාට එයා රෑ එක බලලා තිබුණා .සිකුරාද දවසක මාව එක්කගෙන ගියා ලයිබ්රරියට.මගෙ ළඟ සීට් එකෙන් ඉඳගත්තේ නෑ. ඊට ඉස්සරහ සීට් එකෙන් තමයි ඉද ගත්තේ . පුස්තකාල ඇතුලට ගිහිල්ලා මම පොත් වැඩ කරන කං එයා පරණ පත්තර අංශයේ පරණ පත්තර කියෙව්වා .
මේ විදිහට මට ඕනේ වෙන හැම වෙලාවකම ඒ උනාට හුඟක් දුරින් පුලස්ති අයියා ඒ සම්බන්ධකම පවත්වාගෙන ගියා .අවුරුද්දක් විතර තිබිච්ච මේ සම්බන්ධයට හරියන නමක් දෙන්න මම දැනගෙන හිටියේ නෑ .ඒ මුළු කාලය පුරාවටම පුලස්ති වචන විස්සක්වත් මාත් එක්ක කතා කරලා තිබුණෙ නෑ .එයා ඒ වෙන කොටත් හිටියේ හතරවෙනි අවුරුද්දේ .එදා එයාලගේ විභාග ඉවරවෙලා හොස්ටල් වලින් යන දවස .අපි දෙන්නා සරුංගලයේ යට තියෙන කැන්ටිමට ගිහිල්ලා කිරි තේ බිව්වා .අතොරක් නැතුව මම කියවන චිත්රපටි කෑලියි සරත්චන්ද්ර චට්යොපාද්යගේ , බැනර්ජිගේ, වගේම චේතන් බගට් ගේ පොත් වල විස්තර වරු ගානක් අහං උන්නා .හුඟක් තැන් වල පුලස්ති කිව්වේ හුම් විතරයි .මං දන්නවා අද එයා ඉන්න අන්තිම දවස කියලා.මං එයාට කැන්ටිමේ දී කිව්වා අද මගේ උපන් දිනය කියලා .ඒ හින්ද එයා කිරි තේ වලට සල්ලි ගෙව්වා .
මම කියන හැමදේකටම හිනාවෙවී තිත්ත කළුවරේ පුරුදු විදිහටම එයා මාව හොස්ටල් දාන්න ආවා .එක හරියක් හම්බෙනවා ගස් වලින් වැහිච්ච හරියක්. වාහනයක් ගියොත් මිසක ඒ හරියේ ලයිට් එළියක් නැහැ .
හැපී බර්ත් ඩේ අරුනි… පුලස්ති රහසින් කිව්වා .
පුලස්ති මගේ අතින් ඇදලා අරං තුරුල් කරගද්දි මට පුදුම හිතුනා. ඒත් ඒකට විරුද්ධ වෙන්න බැරුව මාව ගල්උනා.
මගේ හිස් මුදුනින් පටං ගත්ත උනුහුම් හාදුව ඉවර උනේ මං ආස උනා වගේම මගේ කම්මුලත් පහුකරං…
මට සමාවෙන්න … අරුනි… පුලස්ති රහසින් කොදුරද්දි මං හිතුවේ එයා මාව සිපගත්තු එකට සමාව ඉල්ලුවා කියලයි.
ඇයි….
මමත් ඇහුවේ රහසින්…
අරුනි…. අදින් පස්සේ මේ හැම දෙයක් ම අමතක කරන්න . මටනම් මේක සංතෝශ යක් දැනෙන හීනයක් … ඔයා කොයිතරම් මැසේජ් කලත් මං ඒවට අනුබල දුන්නේ නැත්තේ….. ඔයාට පව් හින්දා…. ගමේ නාලිකා පව් හින්දා …. හදවත් වලින් බැදෙන මිනිස්සුන්ට අත් අල්ලන් ඉන්න වාසනාව අඩුයි අරුනි…. මං එන්ගේජ් වෙලා ඉන්න කෙනෙක්…
මං …. මං …. ඇඩුවේ නෑ… එතන තිබුනේ මොකද්ද …. මං අදටත් හිතනවා. එහෙම හිතන හැම වෙලාවෙම කැන්බරා වල තට්ටු නිවාසේ මාව ගොලුවෙලා යනවා.
උපුටා ගැනීම: Indika Peiris