පුංචි දොස්තර නෝනා (1 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“අම්මේ මං ගිහින් එන්නම්.”
සමීර අම්මට දණගහලා වඳින ගමන් එහෙම කියාගෙනම වැඳලා නැගිට්ටා.
“අනේ පරිස්සමින් පුතේ.මේ ටිකේම වැස්සනෙ.පාරවල් ලිස්සනවා ඇති.හයියෙන් එහෙම යන්න එපා.රේස් යන්නත් එපා….”
තමන්ගෙ පළවෙනි ගමනෙදිම අම්මගෙන් ලැබුණ උපදෙස් ටික සමීර පුලුවන් තරම් ඔලුවට දාගත්තෙ අම්මට හිනාවකුත් දාලයි.ඒගමන්ම රෝස පාට කැප්එක ඔලුවට දාගෙන සමීර රෑ 7 විතර දුර ගමනක් යන්න පිටත් වුනේ මතක ඇතුව නිල්පාට බූල් සහිත ජර්සියත් ඇඳගෙනමයි.
ඔහු සමීර සංදේශ් වික්රමසිංහ.ඉගෙන ගන්න සාමාන්යයෙන් හොඳ දක්ෂතාවයක් ඔහුට තිබුණා.ඔහු ගම්පොල ප්රසිද්ධ පිරිමි පාසලක ආදිශිෂ්යයෙක්.ඒත් මොකක් හරි වාසනාවකට හරි අවාසනාවකට හරි උසස්පෙල වාණිජ විශයයන් කරපු ඔහු විභාගය සමත් වුනත් විශ්ව විද්යාලයට යාමට නොහැකි වූයේ ඔහුගේ බලාපොරොත්තු සියල්ල බිඳදමමිනි.
“මචන් උඹ බස්වලට ආසයිනෙ.අපේ බස්එකේ වැඩකරපු නිහාල් අයියා බස්එකෙන් බැස්සා.කැමතිනම් වරෙන් වැඩකරන්න.තාත්තා කෙනෙක්ව හොයනවා මේ දවස් වල…”
දවසක් යාළුවෙක් ගම්පොල ටවුන්එකේදි හම්බවෙලා මෙහෙම කිවුවම සමීරගෙ යටපත් කරගෙන තිබුණ ආසාවක් ඉබේම මතුවුණා.සමීර කුඩාකාලයේ සිටම ආසාකලේ දුර ගමන් සේවා බස්රථයක රියදුරෙකු වීමටයි.ඒත් සමාජයේ පිළිගැනීමක් නැති නිසාත් අවදානම වැඩි නිසාත් ඔහු ඉගෙනීමට හිතදුන්නෙ කවදාහරි බස්එකක් ගන්න හීනයක් හදාගෙනමයි.
“මරුනෙ බන්.ඒ ලෙවල් යන්තම් ගොඩ ගියාට අපිට හම්බෙන ජොබ් එකක් නෑ බන්.කොහෙද රූට් එක මං නගින්නම් බස් එකට කොහේ උනත් කමක් නෑ.හැබැයි දුර….”
සමීර හිතේ තිබ්බ සතුට ප්රශ්න අහලා පිටකරගන්න හිතුවා.
“මම හිතුවෙ උඹ දුර එකකට නගින්න අකමැති වෙයි කියලා සමියා.ගම්පොල වව්නියාව බස් එක බන්.ශුවර් එකෙක් ඕනි ඒකයි.උඹ දන්නවනෙ.අපේ තාත්තා සල්ලි තියෙන හින්දා බස්එක ගත්තට මටනම් බස්පිස්සුව ගැහුවෙ නෑනෙ බන්.පොඩිකාලෙ ඉඳන් ඕවට ආස උඹනෙ.”
සමීරගෙ යාළුවා ප්රදීප් සමීරගෙ උරහිසට අතක් තියලා කිවුවා.
“කවදා ඉඳන්ද?”
සමීරගෙ හඬේ නොඉවසිලිමත් බවක් තිබුණා.
“හෙට ඉඳන් වැඩකරහන්.අද සර්විස් එකට දැම්මා බස්එක.හෙට උඹට කිරි කොකාවගේ ඒක වව්නියාවෙ අරන් යන්න තියෙන්නෙ.”
බස්එක පරිස්සම් කරන්න කියලා කියන්න ප්රදීප්ට හිතුනත් සමීර බස්රථය ප්රවේශම් කරන බව හොඳින්ම දන්නා නිසා ඔහු එය සමීරට අමුතුවෙන් කිවුවෙ නෑ.
සමීර ගෙදරින් පිටත් වෙද්දිම නිල්පාට ජර්සිය ඇඳගත්තෙ දරාගතනොහැකි සීතල නිසයි.
රෑ 7.20 ට විතර සමීර ගම්පොල ස්ටෑන්ඩ් එකට ගියා.ප්රදීප් එ්වනවිටත් බස්රථය ස්ටෑන්ඩ් එකට ගෙනත් තිබුණා.
“ෂා මාර ලස්සනයිනෙ.”
සමීර බස්එක දිහා බලලා තනියම එහෙම හිතුවා.බඳේ යට නිල්පැහැයෙන් හා උඩ රෝස පැහැයෙන් බල්බ දල්වා තිබූ නිසා රාත්රී මීදුම සහිත අඳුර අතරින් බස් රථයට අමුතු ලස්සනක් එකතු වී තිබුණා.
‘මහනුවර හරහා වව්නියාව ‘ ඉදිරිපස ශෙල් එකේ පැත්තකින් බෝර්ඩ් එක සවිකර තිබුණා.බස්රථය අර්ධ සුඛෝපභෝගී බස් රථයක් වූ අතර එහි ධාවන වේලාවන් රාත්රීයේ පමණක් යෙදි තිබුණා.
එහි දෙපසෙහිම සුරංගනාවියන් දෙදෙනෙකුගේ ස්ටිකර් අලවා තිබුණ නිසා එය තවත් අලංකාරවත් වුනා.
“අා මචන්.උඹ ඇවිත්නෙ.ඔන්න අපේ තාත්තගෙ වාහනේ උඹට බාරයි.දැන් ඉඳන් …..”
ප්රදීප් එහෙම කියමින්ම බස්රථයේ යතුර සමීරගෙ දකුණු අ⁣ල්ල උඩින් තැබුවා.සමීරට මෙය සිහිනයක් මෙන් විය.දුර ගමන් සේවාවක රියදුරුකම දැරීම ඔහුට අලුත්ම අත්දැකීමකි.
“උඹ බයවෙන්න එපා.මෙයාවයි, මාත් එක්ක යන හැමෝවමයි පරිස්සමින් එක්ක යනවා වගේම එක්ක එනවා.උඹ දන්නවනෙ මම මේවට කොච්චර ආදරෙයිද කියලා…”
“ඒක දන්න හින්දමයි අපේ තාත්තා බය නැතුව බස් එක උඹට දෙන්න කිවුවෙ.එහෙනම් මම යනවා බං ගෙදර….”
ප්රදීප් සමීරගේ උරහිසට තට්ටුවක් දමා එතැනින් පිටත්වුනා.
හරියටම රාත්රී 8.05 සමීර බස් රථය පණගැන්වූයේ සුක්කානම වටා ⁣දෑත් යවමින් තෙවරක් සුක්නාමට වැඳීමෙන් පසුවයි.ඉදිරිපස තිබූ බුදු පිළිමය තමා දෙසට හරවා ඇති බව දුටු සමීරට අමුතුම ආරක්ෂා සහිත බවක් දැනුණා.
හරියටම රාත්රී අටයි පහලවට සමීර බස්රථය බස් නැවතුමෙන් පිටතට ධාවනය කලේ නැවුම් බලාපොරොත්තු හා වගකීම් රාශියක බර හිතේ තබාගෙනමයි.එදින සෙනසුරාදා දිනයක් නිසා ආසන සංඛ්යාවටවත් මගීන් බස්රථයේ සිටියේ නැත.
බස් රථය ගලහ හන්දියට පැමිණෙද්දී වේලාව රාත්රී අටයි හතලිස්පහට වන්නට ඇත.පේරාදෙණිය සරසවියේ සිසුවකු හා සිසුවියන් දෙදෙනෙක් ගලහා හන්දියේදී අතදැමූ නිසා ඉදිරිපස දොරටුවෙන් ඔවුන්ව ගැනීමට සමීර බස්රථය නතරකලා.
බස්රථයේ පිටුපස දොරටුව තවමත් තිබුනේ වසා දමාය.එය සාමාන්යයෙන් විවෘත කරන්නෙ මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුමේදීය.තිදෙනාම බස්රථයට නැගුණේ සමීර දෙස බලා සුහදව සිනහා වෙමිනි.
බස්රථය ඊළඟට නැවතුවේ ගැටඹෙ බෝධිය අසලයි.තුෂාරත් සමීරත් දෙදෙනාම බැසගොස් පඬුරු දමා ප්රාර්ථනා කලේ යන එන කිසිම විටෙක අනතුරක් නොවේවා කියායි.එය සියලු රියදුරන්ට තිබෙන එකම ශක්තිය නිසා සමීරද එය සිදුකිරීමට අමතක නොකළේය.
තවත් විනාඩි දහයක් පමණ ගතවන්නට ඇත.බස්රථය මහනුවර ප්රධාන බස්නැවතුම්පල වූ ගුඩ්ෂෙඩ් බස්නැවතුම්පලට ඇතුල් කර එහි නැවතූයේ තවත් විනාඩි විස්සකින් වව්නියා බලා ගමන් ආරම්භ කලයුතු නිසයි එහිදී සැලකිය යුතු මගීන් පිරිසක් බස් රථයේ අසුන්ගෙන සිටියා.ආසන පනස්හතකින් යුතු බස් රථයේ ආසන දෙකතුනක් හැර සියලු අසුන් මගීන්ගෙන් පිරීතිබිණි.
බොහෝ දෙනා සිටියේ තදනින්දේය.තවත් අය අවදිව සිටි නමුත් ඔවුන්ද තව ⁣සුලු මොහොතකින් නින්දට යන බව කාලයක සිට බස්රථයේ සේවය කරන තුෂාර අත්දැකීමෙන් දැන සිටියේය.සමීරට මෙය අලුත් අත්දැකීමකි.
රාත්රී නවයයි පහලවට පමණ ගම්පොල වව්නියාව බස්රථය මහනුවර ප්රධාන බස්නැවතුමෙන් පිටත් වූයේ ගත වෙවුලන සීතලක පරිසරය ගිලී ඇති මොහොතකයි.
“තුෂාර අයියේ….අදනම් මාර හීතලක් නේද තියෙන්නෙ.?”
“ඔව් බන් මල්ලි.වෙනදට වඩා අද හීතලයි.ඇඟ ගල්වෙලා වගේ….”
මුලු මහනුවරම තද සීතලකින් හා මීදුමකින් පිරීතිබුණේ මගීන්ට සුන්දරත්වයත් රියදුරන්ට බියත් හිත්වලට එක්කරමින්.කෙතරම් ශීතලක් දැනුනත් බස් රථය ධාවනය කල යුතුය.තුෂාර සිතූසේම මේ වන විට සියලු දෙනා තද නින්දක පසුවිය.
අවධිව සිටියේ තුෂාර හා සමීර පමණි.සමීර තරමක් වේගයෙන් බස්රථය ධාවනය කලේ මෙය දිගු ගමනක් නිසාමයි.
“මල්ලි පරිස්සමින් යමන්.මීදුම දාලා.හුඩ් ලයිට් පාර්කින් එහෙම සේරම ලයිට් දාහන්.මීදුම හින්දා.”
තුෂාර මාර්ගයේ අත්දැකීම් ඇති අයෙක් නිසා සමීර ඔහුගේ අවවාද එසැණින්ම පිළිගත්තා.කටුගස්තොට,මාතලේ ,නාඋල ,දඹුල්ල,කැකිරාව පසුකර බස්රථය මරදන්කඩවලට ළඟාවූයේ අලුයම දොළහයි හතලිස්පහට පමණය.
බස්රථය සුපුරුදු ලෙස මගීන්ට තේපානය සඳහා මරදන්කඩවල රෑ කඩයක නවත්වා විනාඩි පහලවකින් පමණ එතැනින් පිටත් වුනා.මේවනවිට අලුයම නිසා තවත් වැඩියෙන් සමීරට හා තුෂාරට සීතල දැනුනත් මගීන් නින්දේ නිසා ඔවුන්ට ඒ ගැන දැනීමක් නොතිබුණි.නිදිමතට දෑස් අඩවන් වන විට සමීර කලේ වතුර බෝතලයෙන් මුහුණ සෝදා ගැනීමයි.
පැය පහයි තිහක පමණ වූ මේ ගමන නිමකිරීමට තවත් තිබුණේ විනාඩි දහයක පමණ වෙලාවක්ය.නමුත් හදිසියේ වව්නියාව නගරයට මෙහා හමුදා කඳවුර අසලදී හමුදා නිළධාරීන් දෙදෙනෙකු විසින් බස් රථය නැවැත්වූවා.
“මල්ලි අලුතෙන්ද?”
“ඔව් සර්.මේ පළවෙනි ටර්න් එක.”
හමුදා නිලධාරියා සමීරගේ රියදුරු බලපත්රය අතෙහි තබාගෙන සමීරගේ මුහුණ දෙස බැලුවේ පුදුමයෙන් යුතු දෑස්වලින් බව සමීරද දුටුවා.
“උඹ පොඩි කොල්ලෙක්නෙ බං.”
සමීර ඔහු හා සිනාසුනා පමණි.එතැනට ආවේ තුවක්කුවක් අතරැඳි තවත් හමුදා නිලධාරියෙකි.
“මල්ලි ඔයාලා පේරාදෙණිය කැම්පස් එක ලඟින්ද යන්නෙ.?”
“ඔව් සර්.ඇයිද දන්නෑ.?”
සමීර ඇසුවේ කුතුහලයෙනි.
“අපේ නංගි හෙට කැම්පස් යනවා බං.උඹලා කීයටද වව්නියාවෙන් එන්නෙ?”
සමීර හිතින් සතුටු වූයේ හෙට දින කැම්පස් ලෝඩ් එකක් බස්එකට සිටීවියැයි සිතුන නිසයි.
“අපි හෙට රෑ දහයට වව්නියාවෙන් අදිනවා.නවයයි හතලිස් පහ වෙද්දිවත් නංගිට ස්ටෑන්ඩ් එකට ඇවිත් ඉන්න කියන්න සර්.නැත්තම් සීට්එකක් අල්ලගන්න අමාරුයි.කෙල්ලෙක් හින්දා හිටගෙන යන්නත් බෑනෙ.”
“උඹේ නම්බරේ දියන්කො මල්ලි.එයා නගින්නෙ මැදවච්චියෙන්.”
“07645* * * * *
මෙන්න සර්.මැදවච්චියෙන් නගිනවනම් දහයයි විස්ස වගේ වෙද්දි පාරට ඇවිත් ඉන්න කියන්නකො.”
සමීර කිවුවෙ ලොකු විශ්වාසයක් නැතිවය.”සමහර විට එයි මේකට.නැත්තම් වෙන එකක යයි.”සමීරගේ හිත සමීරට කිවුවෙ එහෙමයි.

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!