රෑ එළිවන තුරු සමීරට නින්දක් තිබුණෙ නෑ.උදෑසනම පොලිස් නිලධාරියෙක් සිර මැදිරිය අසලට පැමිණියා.
“අන්න තමුන්ට ඕ අයි සී මහත්තයා එන්න කිවුවා…”
සිර මැදිරියෙන් එලියට විත් සමීර ගියේ ස්ථානාධිපතිතුමා සිටි කාමරයට.
“ආ….එන්න එන්න….”
පොලිසියෙ ස්ථානාධිපති වරයෙක් සිර කරුවකුට මේ ලෙස කාරුණිකව කතානොකරන බව සමීර දන්නවා.
“සර්….මට එන්න කිවුවද?..”
“ඔව් වාඩිවෙන්න….”
සමීර හිතේ ගැටලු රාශියක් හිතේ තියන් ඔහු ඉදිරියේ අසුන්ගත්තා.
ස්ථානාධිපතිතුමා මේසය මත වූ ස්මාර්ට් ෆෝන් එකක් අතට ගත්තේ ඒ දෙස අමුතුවට බලමිනි.
සමීර එය හඳුනාගත්තද එය නොදන්නා ලෙසයි සිටියේ.
“මේ ෆෝන් එක අඳුරනවද?”
“නෑ සර්….”
” ඒ කියන්නෙ මේක ඔයාගෙ ෆෝන් එකක් නෙවෙයිද?”
“නෑ සර්…මේ තියෙන්නෙ මගේ ෆෝන් එක….”
සමීර ඔහුගේ දුරකතනය ස්ථානාධිපතිතුමාගේ මේසය මත තැබුවේ ස්ථානාධිපති තුමාගේ දෑස් දෙස ඍජුව බලමින්.එය නිර්දෝෂීභාවය තහවුරු කලහැකි කෙටිම ක්රමයක් බව ඔහු දන්නවා.
“එහෙනම් මේක ඔයාගෙන් ගුටිකාපු කෙනෙක්ගෙ වෙන්න ඇති.අපි මේක චෙක් කලා…මේකෙ රෙකෝඩින් වල සේරම දේවල් රෙකෝඩ් වෙලා තිබුණා….”
“කොහෙද සර් මේක තිබුනේ?”
” ඔයා අර ළමයින්ට ගහපු තැන පාරෙ අයිනක වැටිලා තිබිලා අපි හොයාගත්තෙ…..”
“සර් උන්ට කොහොමද දන්නෑ නේද?”
ස්ථානාධිපතිතුමා ඉදිරියෙදි උවත් සමීර කතාකලේ එහෙමයි.
“හා හා කට පරිස්සම් කරගත්තොත් හොඳයි.අපේ සාජන් කෙනෙක් යැවුවා තත්වෙ බලලා එන්න පේරාදෙණිය හොස්පිට්ල් එකට.ඊයෙ රෑ එයාලව ගෙනියද්දි එක්කෙනෙක්ට සිහිය තිබුනෙත් නෑ.අනිත් තුන්දෙනාට හොඳටම අමාරු තත්වෙක හිටියෙ…”
“සර්….”
ඒ සමඟම කුටියට පැමිණියේ පොලිස් නිලධාරියෙක්…ඔහුට ඇතුලට පැමිණීමට ස්ථානාධිපතිතුමා හිසෙන් සංඥා කලපසු ඔහු ඇතුලට පැමිණියේ සමීර දෙසත් බලමින්.ඔහු පැමිණ ස්ථානාධිපතිතුමා වෙතට ආචාර කලා.
“කොහොමද අර ළමයින්ගෙ තත්වෙ අශෝක…?”
“දෙන්නෙක්ගෙ අත් දෙකක් කැඩිලා සර්.තව එක්කෙනෙක්ට ටික කාලයක් යනකල් ඇඳෙන් නැගිටින්න බැරිවෙයි…..”
“එතකොට අනිත් කෙනා?”
ස්ථානාධිපති තුමා ඇසුවේ ඇස් හීන්කරමින්.
“එයාට තවම සිහිය නෑ සර්.ඔලුවට ටිකක් ඩැමේජ් කියලයි ඩොක්ටර්ස්ලා කියන්නෙ…..”
පැමිණි නිලධාරියා එතැනින් ඉවත්ව ගියපසු ස්ථානාධිපතිතුමා හැරුණේ සමීර දෙසට….
“තමුන්ට තේරෙනවද මේකෙ බරපතල කම…?”
“ඔව් සර්….”
“එහෙනම් මොකද මේවගේ දෙයක් කලේ…”
“උන් කරදර කරන්න හැදුවෙ මගේ ගෑනුලමයට සර්…එයාව මරනවා කියලා, උන් කියපු තැනට ආවෙ නැත්තම්.මට උන්ව පොලිසියට අල්ලලා දෙන්න බෑ.මට සාක්ෂි නෑ.ඒ කලත් උන්ව එලියට එනවා දවසක් යන්න කලින්….ඊට පස්සෙ අර අහිංසකීට මොකද වෙන්නෙ සර්….”
“ඒ සේරම දේවල් අපි දැනගත්තා මේ ෆෝන් රෙකෝඩින් වලින්.ඒත් තමුන් ඇයි මෙච්චර බරපතල දෙයක් කලේ.එක්කෙනෙක් හරි මැරුණනම් තමුනුත් ඉවරයි.දැනටත් එක්කෙනෙක්ට සිහිය නෑ…”
“ඒවගේ ජරා එවුන්ට එහෙම වෙලා මදි සර්.මට මරන්න උවමනාවක් තිබුණෙ නම් නෑ උන්ව.අනික උන් ආයිත් සැරයක් මගේ කෙල්ල දිහා විතරක් නෙවෙයි කිසිම කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන එකක් නෑ……”
“දැන් තමුන් හිතනවද තමුන්ට මේකෙන් ගැලවීමක් තියෙයි කියලා.”
“ඒක මං දන්නෑ සර්.සමහර විට….ඒත් මගේ ගෑනු ලමයට පාඩුවෙ ඉන්න පුලුවන් වෙයි…මට ඒ ඇති..”
සමීර කිවුවෙ දිගු සුසුමක් පිට කරමින්….
“පී.සී..”
“සර්”
“මෙයාව ගිහින් දාන්න කූඩුවට….”
සමීර කිසිත් නොකියා නැවතත් සිර කුටියට ගියේ දාහක් දේවල් සිතේ තියාගෙනයි.
දහවල් වන විටයි ප්රාර්ථනා දැනගත්තේ සිදු වූ සිදුවීම්.ඒසැනින්ම ඇය පොලීසියට දුවගෙන පැමිණියේ නිමේෂාටත් නොකියායි..
“අනේ මගෙ සුදු අයියේ…ඔයා මොකද්ද රත්තරං කලේ.මං වෙනුවෙන් ඇයි මේවගේ දෙයක් කලේ.මම ඒක ඔයාට කියපු එකයි වරද.ඔයා මෙහෙම ඉද්දි මම කොහොමද රත්තරං ඉන්නෙ…..”
“මගේ පුංචි දොස්තර නෝනා.ඔයා මේවට මැදිහත් වෙන්න එපා.ඒවගේම ඔයා මේකට යන්තම් කොනකවත් ගෑවෙන්න බෑ.මම එළියෙ හිටියත් අර වගේ තිරිසන්නු ටිකක් ඔයා පස්සෙ එද්දි මම කොහොමද රත්තරං, අතපය අකුලගෙන බලන් ඉන්නෙ….”
“ඒත් මගෙ සුදු අයියේ…..ඔයා…..”
“ඇති….ඔයා දැන් පරිස්සමින් යන්න ගෙදරට.දුක්වෙන්න එපා රත්තරං….මම එලියට එනවා කොහොමහරි….”
“ඔයා බය වෙන්න එපා සුදු අයියේ , මම ඔයාව කොහොමහරි එලියට ගන්නවා.”
ප්රාර්ථනා පැවසුවෙ ගලාගෙන ගිය කඳුළු පිසදමමින්.
“ඔයා කොහොමද පැටියො මාව එලියට ගන්නෙ.බය වෙන්න එපා.මම චතුරංග අයියට කිවුවා.එයා ඇවිත් ඇප දෙයි…ඔයා දැන් යන්න පරිස්සමට…”
සමීර කිවුවෙ ප්රාර්ථනාගෙ අත්දෙකෙන් තදකර අල්ලාගෙනයි.
ප්රාර්ථනා යනගමන්ම , ස්ථානාධිපතිතුමාවත් හමුවුණා…ඇය ගොස් පැය හතරකට පමණ පසු චතුරංග පැමිණියා.චතුරංග සිටියේ සමීරත් සමඟ යකඩ කූරු අතරින් කතාකරමින්.
මොහොතකින් යතුරු කැරැල්ලක් අතේ තියන් සිර කූඩුව අසලට පැමිණියේ පොලිස් නිලධාරියෙක්….
“ඔයාව නිදහස් කලා.එලියට එන්න…”
නිලධාරියාගේ වචන වලින් සමීරට දැනුනේ විශාල සතුටක්.එලියට පැමිණි සැනින් සමීර චතුරංගව වැළඳ ගත්තේ උතුරායන සතුටින්.
“මම හිතුවා අයියා මාව බේරගනී කියලා.මම ඒකයි මැසේජ් එකක් ඊයෙ හවසම අයියට දැම්මෙ…..”
“මම මැසේජ් එක දැකලා තමයි නුවර ඉඳන් ආවෙ වැඩත් අතරමග දාලා.ඒත් සමීර මම තාම උඹට ඇප දුන්නෙ නෑ.මටත් පුදුමයි මේකනම්.කොහොමද උඹ එලියට ආවෙ කියලා මටත් පුදුමයි බන්….”
දෙදෙනාම කිසිවක් සිතාගත නොහැකිවයි ස්ථානාධිපතිතුමා හමුවීමට ගියේ…..
“සර්…කවුද මට ඇප දුන්නෙ…?”
සමීර ඇසුවෙ පුදුමයෙන්.
නමුත් එය ඇසූවිට ස්ථානාධිපතිතුමාගේ මුවේ සිනහා රැල්ලක් ඇඳෙනු සමීරත් චතුරංගත් හොඳින් දැක්කත් ඒ ඇයි කියා දෙදෙනාටම අදහසක් තිබුණෙ නෑ…
“ඔයාට කිසිම ප්රශ්නයක් නෑ දැන්.යන්න පුලුවන්.මීඩියා වලටවත් මේක දෙන්නෙ නෑ.ඒත් ඔයාව බේරගත්ත කෙනාව හෙලිකරන්න බෑ රාජකාරිමය හේතුවක් මත….ප්රශ්න අහන්න එපා මගෙන්….”
ස්ථානාධිපතිතුමා අසුනෙන් නැගිට සමීර අසලට පැමිණියා.
“අපි හැමදේටම සාක්ෂි හොයාගත්තා.ඔයා කලාතුරකින් හම්බවෙන නියම කොල්ලෙක්.මම මේ රාජකාරි කරන්න පටන් අරන් අවුරුදු 35 ක්.මෙච්චර කාලෙකට ඔයාවගේ කොල්ලෙක් දැක්කෙ මේ සැරේ තමයි මුලින්ම.
ආ තවදෙයක්.ඔයාගෙ ගෑනු ළමයා ගොඩක් වාසනාවන්තයි.මටත් දුවෙක් ඉන්නෙ.මට තේරෙනවා ඔයාවගේ කොල්ලෙක්ගෙ වටිනාකම.අදකාලෙ ඉන්නෙම තමන්ගෙ කෙල්ලගෙන් සේරම ප්රයෝජන ගන්න විතරක් යාලුවෙන කොල්ලො.උන් අතරේ ඔයා ග්රේට්…පුතා…..”
ඔහු කිවුවෙ සමීරගෙ උරහිසට තට්ටුවකුත් දමමින්.නමුත් සමීර පොලීසියෙන් එලියට යන විටත් ප්රාර්ථනා ඒ අසලට වී සිටියේ සමීරගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කියලයි සමීරට නම් හිතුනෙ.ඒත් පැය පහකට ආසන්න කාලයක් ප්රාර්ථනා මෙහි රැඳී සිටීම සමීරටත් ගෙන ආවේ පුදුමයක්….
“සුදු අයියේ ඔයා එලියට ඇවිත්….අනේ මගෙ සුදු අයියේ….”
ප්රාර්ථනා ඔහු අසලට පැමිණ ඔහුව වැලඳගත්තේ ආදරයෙන්.ඒ ලෙන්ගතුකම නිසාම සමීරටත් සියලු සැක සංකා නිමේෂයකින් අමතක වී ගියා.සමීරත් ඇයව ආදරයෙන් වැළඳගත්තා.
“කවුද බන් මේ….?”
චතුරංග දන්නා තරමින් සමීරට කෙල්ලෙක් මේ වනතුරු සිට නෑ.ප්රාර්ථනාව ඔහු හඳුනන්නෙත් නෑ.ප්රාර්ථනා ඔවුන්ගේ නිවසේ සිටියත් චතුරංග නුවර නතරවී රැකියාව කරන නිසා ඇයව දැක තිබුණේ නෑ…
සමීර සියලු විස්තර චතුරංග සමඟ පැවසූ විට චතුරංග ප්රාර්ථනා දෙසට හැරුණා.
“නංගි දන්නවද? මූ දවසක් බස් එකේ යද්දි මාත් එක්ක,එක මිනිහෙක් කෙල්ලෙක්ගෙ ඇඟට හේත්තු වෙවී ගිහින්…..මම දැක්කෙත් නෑ…මූ බස්එක ඇතුලෙදීම ඒ මිනිහට ගැහුවා….මූ අමාරුවෙ වැටෙන්නෙ අනුන්ට පිහිට වෙන්න ගිහින්මයි….”
චතුරංග පැවසුවේ සිනාසෙමින්.ප්රාර්ථනාට එයින් සමීර ගැන තිබූ ගෞරවය තවත් වැඩිවුණා.ඒ ගෞරවය මුසු බැල්මෙන්ම ප්රාර්ථනා සමීර දෙස බැලුවීට ඔහු කලේ ඇය සමඟ යන්තමින් සිනාසීම පමණයි….
“පැටියො ඔයා මෙච්චර වෙලා කොහොමද මෙතන හිටියෙ තනියම….අනික ඇයි හිටියෙ.කලින් දන්නවද මාව අද එලියට දානවා කියලා…?”
සමීර ඇසුවෙ පුදුමයෙන්…
“නෑ මගේ සුදු අයියේ…මම දන්නෑ.ඒත් මට හිතුනා.අනික මෙච්චර වටින කොල්ලෙක්ව හිරේ තියයිද පොලීසිය උනත්..”
ප්රාර්ථනා පැවසුවේ හුරතලයෙනි…
“ඔයා පොලීසිය ගැන ගොඩක් දන්නවා වගේනෙ පැටියො…….අනික මට තාම හිතාගන්න බෑ මාව අද එලියට දැම්මෙ කොහොමද කියලා.මේක මගේ ප්ලෑනට අනුව වුන දෙයක් නම් නෙවෙයි.චතුරංග අයියත් නෙවෙයිනම් කවුරු වෙන්න පුලුවන්ද……..???”
සමීර මේ මොහොතේ සිතුවේම ඒගැනමයි.ඒත් එය සිතෙන් ඉවත්කිරීමටයි ප්රාර්ථනා උත්සහා කලේ….
“හරි හරි මගෙ සුදු අයියේ….ඔයා දැන් එලියෙනෙ.අනික ඔයා වරදක් කලේ නෑනෙ රත්තරං….”
ප්රාර්ථනා එසේ පැවසූ නමුත් සමීරගේ සිතේ තිබූ ප්රශ්නය ඉවත් කිරීමටනම් ප්රාර්ථනාට නොහැකි වුනා.