පුංචි දොස්තර නෝනා (2 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

“අම්මා, අයියා කෝල් කරාද.බස්එකක් කීයට තියෙනවද දන්නෑ….”

“ඔව් කථාකළා චූටි දූ …රෑ බස් එකක් තියෙනවලු.දහයයි කාල වෙද්දිවත් පාරට ඇවිත් ඉන්න කිවුවා.ගම්පොල යන බස්එකක්.ඔයාට කැම්පස් එක ලඟින්ම බහින්න පුලුවන්…”

අම්මා ප්‍රාර්ථනාට එහෙම කිවුවම මෙතෙක් ඇය තුල තිබූ බය ටිකක් නැතිවුණා.

ඇය ප්‍රාර්ථනා උදේනි දිසානායක.පියා නොමැති පවුලක හුරතලී ඇයයි.ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පලමු වසරට පයතැබුවේ දෙසතියකට පෙරයි.
නිවසින් වෙන්ව කෙටිකාලයක් හෝ සිටීම ඇයට අපහසු වූ නිසා ඇය ගෙදර ගියේ ඇගේ අයියා සමඟයි.

පළවෙනි දින ඇයව විශ්ව විද්‍යාලයට අම්මා හා අයියා විසින් වාහනයකින් එක්කගෙන ගියනිසා මෙය තනිව බස්රථයකින් පේරාදෙණියට යන පළවෙනි වතාවයි.ඒනිසාමයි ඇ⁣යගේ හිතේ බියක් තිබුණෙ.

“මචන් මල්ලී….”

“කවුද මේ….?”

“මම කෑම්ප් එකේ…..?”

“ආ සර්.කියන්න.නංගි යනවද.?”

සමීර ඇසුවේ කුතුහලයෙනි.ඒ ගැන කිසිදු විශ්වාසයක් ඔහු⁣ට නොවූයේ තමාට පෙර යාපනයේ සිට යන බස්රථයක් පේරාදෙණිය හරහා යන නිසයි.

“ඔව් මල්ලි.උඹ දැන් වව්නියාවෙන් අදින්න ලෑස්තිවෙනවනෙ.නංගි මැදවච්චියෙ රාජා හෝටලේ ළඟ ඉඳී.පොඩ්ඩක් බලහන් හොඳේ.අද පළවෙනි වතාවට ඔච්චර දුරක යන්නෙ.තනියම…”

“හරි සර්. සර් බය වෙන්න එපා.මාත් එක්කනෙ යන්නෙ.මම එයාව පරිස්සමින් එක්ක යන්නම්.සර්ත් එක්ක යනවා වගේ එයාට දැනෙන්න.”

ඒ වචන ටික කියවුනේ ඇයි කියලයි සමීර කල්පනා කලේ කියලා ඉවරවෙලා.

“මමත් බයේ හිටියෙ බන්.උඹ එහෙම කිවුවම මගේ බයත් නැතිවුණා.ඔය මගේ පණ බන්.පරිස්සමින් පලයන් එහෙනම්…”

අසංකට සමීරගේ වදන් වලින් දැනුනේ සැහැල්ලුවක්.අසංකගේ පණ වූයේ එකම නංගි වූ ප්‍රාර්ථනාය.සමාජයේ ස්වාභාවය දන්නා නිසා අසංක ප්‍රාර්ථනා ගැන සිටියේ බියෙනි.

රාත්‍රී 10 ට ගම්පොල බලා බස්රථය ගමන් ඇරඹුවේ තිස්පහක පමණ මගීන් පිරිසක් සමඟය.

මැදවච්චියට බස් රථය ලඟාවෙද්දි රාත්‍රී 10.20 පමණ විය.ගමනේ ආරම්භය නිසා සමීර ධාවනය කලේ තරමක් සෙමිනි.

මැදවච්චිය රාජා හෝටලය අසල ⁣බස් නැවතුම්පලක් නොතිබුණද එතැන සිට බස්රථයට අතදැමූ තරුණියගේ මුහුණ හෙඩ් ලයිට් වලින් දුටු සමීරගේ කකුල තිරිංග වෙතට ගමන්කලේ ඉබේමයි.

ඉදිරිපස දොරටුවෙන් බස්රථයට නැගි ඇගේ සුන්දර මුහුණ දෙස සමීර බලා සිටියේ ඇසිපියවත් නොගසායි.ඇය ඔහු දෙස බලා හෙලූ සුන්දර සිනහව නිසා තමා සිටින්නේ රියදුරු අසුනේ බවත් සමීරට මොහොතකට අමතක වුනා.

“හරි මල්ලි යන්.”

සමීරට පියවිසිහිය ලැබුණේ තුෂාරගේ වචන වලිනි.

“ආ හරි අයියේ…”

සමීර කලබලයෙන් තුෂාරට පිළිතුරු දී නැවත ගමන් ආරම්භ කලේ තුෂාරගේ අමුතු සිනහව වැටහුණ නිසයි.සමීර මැද කණ්ණාඩියෙන් පසුපස බැලුවේ ඇයට අසුනක් තිබේද කියායි.ඇය ඉඳගෙන ඇති බව දුටුව නිසා නැවත සමීර මාර්ගයට ඇස් යොමුකලත් සිත තිබුණේ ඇය අසලමය.

“සිරියාවයි කම්මුල් පෙති ඒකයි බැලුණේ..
දුප්පත් මට සමච්චලේටද හිනාවුනේ….”

චාමර රණවකගේ ගීතය බස් රථයේ කැසට් එකෙන් සමීරට ඇසෙද්දී ඔහුට දැනුනේ එය තමාටම කියූ ලෙසටයි.පැය එකහමාරකට පමණ පසු බස් රථය සුපුරුදු ලෙස මරදන්කඩවල රාත්‍රී කෑම කඩයෙ නැවැත්වූයේ මගීන්ට අාහාර ගැනීමටත් අවශ්‍යතා ඉටුකරගැනීමටත් වෙනුවෙනි.

අනුරාධපුර කොළඹ බස් රථයක් හා වව්නියාව කොළඹ බස් රථයක් ඒවන විටත් එතැන නවත්වා තිබූනිසා සැලකියයුතු සෙනඟක් කඩයේ සිටියහ.

ප්‍රාර්ථනා හට වොෂ්රූම් යාමට අවශ්‍යතාවයක් ඇති වූ නිසා ඇය බසයෙන් සුලු මොහොතකට පසු බැස ගියේ ටොයිලට් තිබූ දෙසටයි.දන්න හඳුනන කිසිවෙක් බස්රථයේවත් ඇයට නොසිටි නිසා ඇය ඒ දෙසට ගමන් කලේ බියෙනි.

ටොයිලට් අසල පිරිමි කිහිපදෙනෙකු සිගරට් පානය කරමින් සිටින බව ඇය දුටුවේ ලයිට් එලියකට සිගරට් දුම පාව යන අයුරු දුටු නිසයි.

සමීරට ඇයව දුටු පසු බඩගින්නක් ද නොතිබූ නිසා පරාටා දෙකක් කා කෝපි එකක් බිවුවේ රාත්‍රීගමනේ නිදිමත දැනේවි යැයි සිතුනු නිසයි.ඔහු ඉක්මනින් කෝපි එකත් බී බස් රථය අසලට ආවෙ හිතගත් තරුණිය බැලීමට වුවත් ඇය පෙනෙන්නට නොසිටි නිසා සමීර බසයේ පිටුපසට ගොස් බෆර් එකට හේත්තු වුනා.

“මේ අයියේ…..”

“හ්ම්….”

සමීර නැගි⁣ට පිටුපසට හැරුණේ එහෙම කියාගෙනමයි.ඒත් හිටිය කෙනා දුටුපසු සමීරට ඉබේටම වචන ගොතගැසුණා.

“න..න..නංගී ඔයා මෙතන.”

“අයියේ…..”

ඇගේ වචන ලැජ්ජාශීලී බව සමීරට දැනුණා.

“නංගි ඇයි?මොකක්ද ප්‍රශ්නෙ.”

“අයියේ….”

“අයියේ අයියේ නෙවෙයි මොකක්ද ප්‍රශ්නෙ.ඕන දෙයක් කියන්න.”

ඇගේ වචන නිසා සමීර පැවසුවේ කුඩා සිනහාවක් සමඟයි.

“අයියෙ අර වොෂ්රූම් ළඟ පිරිමි කට්ටියක් ඉන්නවා.මේ…මේ….ය..න්…න…”

ඇයගෙ අදහස සමීර තේරුම් ගත්තා.

“අයියෝ ඔයා කියන්නෙ යන්න බයයි කියලනෙ.කලින්ම කියන්න එපෑ ලමයො.යමු මම එන්නම් ඔයා එක්ක.බය වෙන්න එපා…”

ප්‍රාර්ථනා ඔහුගේ මුහුණ දිහා බලලා හිනාවුනා.ඒ මුහුණෙ තිබුණෙ අවංක අහිංසක බවක්.ඇය ලැජ්ජාවෙන් සිනහාවී සමීර පසුපසින්ම වොෂ්රූම් පැත්තට ගියා.

ඇය ඇතුලට ගොස් එනතුරුම ඔහු ඒ අසල එලියට වී සිටියා.

“හරිනෙ දැන්…”

“හරි අයියේ.තැන්ක්යූ.ඔයා හිටියෙ නැත්තම්…”

ඇය ඔහුගේ මුහුණ දෙස ඍජුවම බලා කිවුවා.

“මම හිටියෙ නැත්තම්….මොකද කරන්නෙ?

“සමීර එහෙම ඇහුවෙ තවටිකක් ඇයත් එක්ක කතාකරන්නට ආස සිතුණු නිසා.

“අනේ මන්දා …”

ඇය බිම බලාගෙනම කිවුවා.

“මචන් මේහරියෙ ඕවා නොබී අර එහාපැත්තට ගිහින් බිව්වනම් හරිනෙ.කෙල්ලන්ට එහෙම යන්න බෑනෙ තනියම,උඹලා ඔතන ඉද්දි….”

සමීර කිවුවෙ සිගරට් බිබී හිටිය පිරිමි තුන්දෙනාට.ඒ හඬේ කේන්තියක් නම් තිබුණෙ නෑ.ඒත්,

“ඇයි උඹට මොකද?අපිට ඕනි තැන අපි බොන්නෙ.”

“එහෙම නෙවෙයි.හරිනෑනෙ බන් මේ….”

“අපි දැක්කා අර කෑල්ල ගිහින් එනකල් උඹ දොර ළඟ මුර කරනවා.ඇයි බයයිද අපි මොකක්හරි කරයි කියලා.අපි ඒකත් කරනවා ඕන්නම්.යකෝ අපි හැමදාම එනතැන් මේවා….”

සමීරට ඒවචන වලට කේන්තිය පාලනය කරගැනීමට බැරිවුණා.

“කෙල්ලෙක්ට කතාකරන්න ඉගෙන ගනින්.”

සමීර ඔහුට පාරක් ගැහුවෙ ඒ කේන්තිය හින්දමයි.ඔහුත් නැවත අනෙක් දෙදෙනාත් සමඟින් සමීරට ගහන්න පටන් ගත්තා.සමීරත් හැකිලෙස තිදෙනාටම පහර දුන්නෙ ප්‍රාර්ථනා හා අනෙක් හැම කෙල්ලෙක්ම වෙනුවෙනුයි.

“අනේ අයියෙ අපි යමු…..ඔයා මං හින්දා රණ්ඩු වෙන්න එපා….යමුකො ඉතින්….”

ප්‍රාර්ථනා සමීරගෙ අතකින් ඇදගෙන බලෙන්ම මිදුල දෙසට එක්ගෙනගියෙ තවත් රණ්ඩුවේවි කියා සිතුන නිසයි.ඊටත් වඩා ඇය වෙනුවෙන් කතා කල ඔහුට කවුරුන් හෝ පහර දෙන එකට ඇය කැමති වුනේ නෑ.

“අයියේ.ඔයා හොඳින්ද..ඇයි මං හින්දා රණ්ඩුවුනේ.කෝ බලන්න.ඔයාගෙ නහයෙන් ලේත් එනවා….ආ මේ ලේන්සුව නහයට තියාගන්න.මම පාවිච්චි කලේ නෑ මේක.ආ ගන්න….”

ප්‍රාර්ථනා හිටියෙ ගොඩක්ම කලබල වෙලා.ඒ සමීරගෙ නහයෙන් ලේ ගලන නිසා.

“හරි නංගි අවුලක් නෑ මට.ඔයා බස් එකට නගින්න.වෙලාවත් හරි.මම මූණ හෝදගෙන එන්නම්….”

සමීර ප්‍රාර්ථනාට කිවුවෙ ⁣ආදරණීයවයි.ඒ ඇයගෙ ළෙන්ගතු කතාව ඔහු⁣ගෙ හිතට තදින් ම දැනුනු නිසයි.

“ඔයා හොඳින්නෙ.ඇත්තනෙ කියන්නෙ…?”

ප්‍රාර්ථනා ඇයගෙ අයියට පසුව මේ තරම් ලංවුනේ සමීරට පමණයි.ඇයට ඔහුගැන දුකක් දැනුණා.

“ඔව් නංගි.ඔයාට ප්‍රශ්නයක් වුණෙ නෑනෙ.එච්චරයි.මට ප්‍රශ්නයක් නෑ.ඔයා යන්න බස් එකට…”

ඇය මගින් මගට හැරී බලමින් දුක පිරුණ මුහුණින්ම බස්රථයට ගොඩවුනා.

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!