“හායි නෙතූ ගුඩ් මෝර්නින්……”
“ගුඩ් මෝර්නින් ලෝචනා….”
“ඉතින් ඉතින් ….අපේ සුබපැතුම් ඔයාගෙ මිෂන් එක කම්ප්ලීට් කළාට…”
“ඒක අපේ මිෂන් එක….මගේ නෙවෙයි.අපි හැමෝගෙම…..”
“ඕකේ ඕකේ…කවුද මේ හැන්ඩ්සම් බෝයි.අඳුන්නලා දෙන්නෙ නැද්ද අපිට….?”
ලෝචනා ඇසුවේ සිනාසෙමිනි.සී අයි ඩී ඔෆිසර්ස්ලාගෙන් නෙතුලිව මුලින්ම පිළිගත්තේ ඇයයි….
“ම්…මේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් සංදේශ්….සංදේශ් අයියේ මේ සී අයි ඩී ඔෆිසර් ලෝචනා…..මෙයා මෙහෙම හිටියට නපුරුයි හොඳේ….”
නෙතුලි එහෙම කියද්දි ලෝචනාත් හිනාවුනේ නෙතුලි සමඟමයි….
“හෙලෝ….”
“හෙලෝ….”
ලෝචනා හා සමීර අතට අත දුන්විටම නෙතුලිගේ ස්ටාෆ් එකේ සියලු දෙනාම එතනට පැමිණියේ නෙතුලිට සුබ පැතීමටයි….
පසුව සියලු දෙනාගේ සුබපැතුම් මධ්‍යයේයි සමීරත් නෙතුලිත් ඇයගේ ප්‍රධානියා හමුවීමට ගියේ…..”
“Officer Nethuli……Good job, …….you are Amazing……and my Congratulations!!!!”
“Thank you sir….”
“මේ කවුද නෙතුලි ?….”
“මේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් සර්….මේ සංදේශ්…සංදේශ් අයියා නිසයි මේ මිෂන් එක මේතරම් ඉක්මනට ඉවරකරන්න පුලුවන් වුනේ…..”
“ඒ කිවුවෙ නෙතුලි?”
“සර් , සංදේශ් අයියා නොහිටියා නම් මම මේ වෙනකොට ජීවතුන් අතර නෑ….හැමවෙලාවෙම සංදේශ් අයියා මගේ පිටිපස්සෙන් හිටියා…මාව ආරක්ෂා කලා…මේ මිෂන් එක ගැන නොදැන උනත්….”
“ඕ …..ඇත්තද මිස්ටර් සංදේශ්….Thank you very much for your help……”
“Thank you sir….මම ඇත්තටම කලේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව ආරක්ෂා කරපු එක…මම දැනන් හිටියෙ නෑ නෙතුලි සී අයි ඩී කියලා…ඒ වගේම මෙයා හිටියෙ ප්‍රාර්ථනා විදියට….දැන් සේරම හොඳ විදියට උනානෙ සර්…..”
“යස් මිස්ටර් සංදේශ්……,නෙතුලි , ඔයා ගැන අපේ ඩිපාර්ට්මන්ට් එකම ආඩම්බර වෙනවා…ඔයා කලේ රටට ලොකු සේවයක්……”
ඒ සමඟම සමීරට දුරකතන ඇමතුමක් ලැබිණි….
“එක්ස්කියුස්මී සර්,නෙතුලි මම පොඩ්ඩක්…..”
“හරි සංදේශ් අයියේ….”
නෙතුලිට එසේ පවසා සමීර ඇමතුම ගැනීමට මදක් එලියට ගියේ ඇමතුම තුෂාරගෙන් නිසයි….
“හෙලෝ තුෂාර අයියේ…..කියන්න….”
“සමීර මල්ලි උඹ කොහෙද ඉන්නෙ ගෙදරද?”
“නෑ තුෂාර අයියේ ප්‍රාර්ථනා එක්ක කොළඹ ආවා…එයාගෙ වැඩකට..තනියම යවන්න බයයිනෙ…”
සමීර, නෙතුලි යැයි නොකියා තුෂාර දන්නා ප්‍රාර්ථනා ලෙසමයි ඇයව හැඳින්වූවේ….
“එහෙමද? මේ අදවත් බස් එකට එනවද උඹ?…”
“ආ හරි තුෂාර අයියේ ප්‍රදීප්ට කියන්න මං අද බස් එකට නගිනවා කියලා….”
සමීර ගම්පොල වව්නියාව බස් රථයට නැගීමට තීරණය කලේ ප්‍රාර්ථනා අමතක කර නෙතුලිට ලංවීමට තමන්ට හැකි වූ නිසයි…පැමිණියෙ නැතිනම් වෙන අයෙකු ගන්නා බවත් ප්‍රදීප්ගේ පියා තුෂාර සමඟ පසුගිය දිනක පවසා තිබිණි…..ඔහු සිතේ කලබලගතියක් තිබුණේ නම් කෙසේවත් තුෂාරගේ ඉල්ලීම පිළිගන්නෙ නෑ…..දැන් සමීරගේ සිත සන්සුන්ය…
“සර් මට නෙතුලි එක්ක විනාඩියක් කතාකරන්න පුලුවන්ද?”
“ඕකේ සංදේශ්…..”
“අැයි සංදේශ් අයියේ?…මොකක්ද ප්‍රශ්නෙ?”
“නෑ පැටියො තුෂාර අයියා කතාකලේ….අද බස් එකට එනවද කියලා ඇහුවෙ…නැත්තම් දිගටම වෙන කෙනෙක් දානවා කියලා ප්‍රදීප්ගෙ තාත්තා කිවුවලු…..ඔයාට පුලුවන් නේද තනියම ගෙදරට යන්න….නැත්තම් මම එන්න ඕනිද ඔයා එක්ක….”
නෙතුලි සිතේ ඇතිවූ දුක සඟවාගෙන සිනාසුනේ ඔහු ඇය එක්කම එන්නද කියා ඇසූ නිසයි….
“කමක් නෑ සුදු අයියේ…මට යන්න පුලුවන්….ඔයා පරිස්සමින් යන්නකො…පරිස්සමින් බස්එක එලවන්නෙත් හොඳේ සුදු අයියේ….මට අමුත්තක් දැනෙනවා…අනේ පරිස්සම් වෙන්න රත්තරං….”
ප්‍රාර්ථනා එසේ කියමින් සමීරව වැලඳගත්තේ දුක පිරි හදවතින් ආදරයෙනි.
“මට මොකුත් වෙන්නෙ නෑ පැටියො….ඔයාගෙ ආදරේ තියෙනකල් මම ජීවත් වෙනවා….ඒත් නැති වුන දවසක…..”
සමීරට ඉතිරි වචන පැවසීමට නෙතුලි අවස්ථාවක් දුන්නෙ නෑ…ඇය ඇගේ දකුණතේ දබර ඇඟිල්ල සමීරගේ මුවට තබා සමීරගේ වචනවලට බාධා කලා…..
“ඇති සුදු අයියේ….නොවෙන දේවල් ගැන කියවන්න එපා….මගේ ආදරේ මේ ලෝකෙ තියෙනකල්ම තියෙනවා.ඒ කියන්නෙ ඔයත් හැමදාම මං ළඟින් ඉන්නවා…මමත් ඔයාලඟින් ඉන්නවා හැමදාටම……සුදු අයියේ….”
දෙදෙනා දෙදෙනාවම තදින් වැළඳගත්තා.දෙදෙනාගෙම දෑස්වල කඳුළු පිරීතිබුණේ තව දින ගණනාවකින් හමු නොවන නිසයි…..
සමීර ඒ වෙලාවෙම පිටකොටුවට පැමිණ ගම්පොල බස්රථයක නැගුණේ රාත්‍රියේ වව්නියාවේ යාමට තිබෙන නිසයි…..
සුපුරුදු ලෙසම රාත්‍රී 7.40 ට පමණ සමීර නිවසින් පිටවීමට අඩිය තබනවාත් සමඟ හූනෙක් ඇඬුවේ අසුබ සිදුවීමක පෙර නිමිත්තක් මෙනි.නමුත් සමීර එවැනි දේ විශ්වාස නොකරන නිසා ඒතරම් එය ගනන් නොගෙන බස් නැවතුමට ගියා.
කලින්ටත් වඩා අලංකාරයක් සමීරට බස්රථයේ දකින්නට ලැබුණා…..
“ආ සමියා…..කොච්චර කාලෙකින්ද බන් උඹව දැක්කෙ…!!!”
“ඒකනෙ තුෂාර අයියා…කොහොමද ඉතින්…මෙයාව හිටියට වඩා හොඳට හදලා තියෙන්නෙ…”
සමීර කිවුවේ බස්රථය දෙස ආදරණීය බැල්මක් බලමින්.
සුපුරුදු වේලාවටම බස් රථය ගමන් ආරම්භ කලේ පහලොස් දෙනෙකු පමණ සමඟයි.නුවරදී බස් රථයට තවත් මගීන් තිස් දෙනෙකු පමණ නැඟිණි…සුපුරුදු ගමන් මාර්ගයේම සමීර බස්රථය ධාවනය කලේ වෙනදාටත් වඩා අඩු වේගයකිනි.
පසුදා අලුයම වන විට බස්රථය වව්නියාවට ළඟා විය.මගීන් බස්සවා සමීර බස්රථය රැගෙන ගියේ තල්ගස් සෙවණකටයි.වෙනදාටත් ගිනියම් වූ කාෂ්ඨකයෙන් බේරීසිටීමට සමීරටත් තුෂාරටත් අනෙක් රියදුරු කොන්දොස්තර වරුන්ටත් සෙවණ දෙන්නේ මේ තල් අරඹයි.වව්නියාව 87 කොළඹ, වව්නියාව 15 කොළඹ බස් රථ කීපයක් හා හම්බන්තොට 69 වව්නියාව රාජපක්ෂ බස් රථයක් තම ඊළඟ ගමන් වාරය එනතුරු තල් සෙවණේ නවතා තිබිණි…බොහෝවිට මේ ස්ථානයේ ඇත්තේ දුරගමන් සේවා බස් රථයන්ය.බොහෝ බස්රථ රාත්රියේදී ඈත නගරවලට ධාවනය වන ඒවාය.
සමීර හා තුෂාර බස් රථය පිරිසිදු කර බස්රථයේම පැය කිහිපයක් ආසන මතම නිදාගන්නේ රාත්‍රියේ නොනිදා සිටීමට බලවත්ම පිළිසරණ එය නිසයි.නමුත් විටින් විට අවදිවන්නේ ඇඳක ඇති සුවපහසුව බස්රථයේ ආසන මත නොමැති නිසා දැනෙන අපහසුව නිසයි….ඒඅතර හිරු එළිය එල්ල කරන්නෙත් සුලු පීඩනයක් නොවේ…..ටික කාලයක් මේ අත්දැකීම නොලැබුණු නිසා සමීරට නින්දක් නොලැබිණි…
තුෂාර නිදි අතර සමීර බස් රථයෙන් බැස්සේ කුඩා හෝ සුලං පොදක් ලැබේවි යන බලාපොරොත්තුවෙනි.
“මාත්තයා…..අද අදින ලොතරැයියක් ගන්න.මාත්තයාට ඇදෙනවමයි.මං කියනවට ගන්න මාත්තයා….”
පාපැදියක පැමිණි මහලු ලොතරැයි විකුණන්නෙකු සමීරට ලොතරැයියක් ගැනීමට බලකලේ කැඩුණු සිංහලයෙනි…සමීරට ලොතරැයි ගැන විශ්වාසයක් නොතිබුණත් සමීර ලොතරැයියක් ගත්තේ ඒ වයසක මිනිසාගේ ධෛර්යට ගරු කිරීමක් ලෙසයි…
රාත්‍රී 7 වන විට සමීර හා තුෂාර බස්රථය නැවතුම්පලට ගෙනයාමට සූදානම් වන විට එහි නවතා තිබූ සියලු බස්රථ පිටත්ව ගොස් හමාරය.රාත්‍රී 10.00 ට ගම්පොල බලා මගීන් හතලිස් දෙනෙකු සමඟ ගමන් ආරම්භ කල බස් රථය වෙනදාට වව්නියාව නගරයේ සිට මදක් දුරින්ඇති කෝවිලෙන් කොහොඹ අතු ගැසූ දෙහි වැලක් ගැටගසා ආශිර්වාද ලබාගෙන යනමුත් අද සමීරට ටික කාලයකින් පැමිණි නිසාදෝ එය අමතක වූයේ නොදැනුවත්වමයි.
“සමීර මල්ලි උඹ කෝවිලේ නතර කලේ නෑනෙ…..?”
සමීරට ඒබව මතක් වූයේ මගීන්ට ටිකට් ලබාදී ඉදිරිපසට පැමිණි තුෂාර අසන විටයි.
“ඒ තුෂාර අයියේ කවදාවත් නැතුව අද අමතක වුනානෙ…….”
සමීරගේ හිතට අමුත්තක් දැනුනු මුත් ඔහු එය තුෂාරට දැනෙන්න දුන්නෙ නෑ….
“කමක් නෑ තුෂාර අයියේ….දඹුල්ලෙන් නවත්තලා පඬුරු දාලා යමු…..”
සමීර හිතහදා ගැනීමට එසේ කීවත් යම් තිගැස්මක් ඔහුගෙ සිතෙත් තිබුණා….
බස් රථය මැදවච්චිය පසුකරන විට සමීරට නිදිමතක් දැනුනේ දහවල් නිදාගැනීමට නොහැකි වූ නිසයි….බස්රථය අයිනක නවතා වතුර බෝතලය ගෙන සමීර මුහුණ සෝදාගත්තේ නිදිමත මගහැරේවි කියා හිතාගෙනමයි…..
නැවත ගමන ආරම්භ කර සමීරට යා හැකි වූයේ රඹෑවට පමණයි….
රඹෑව හන්දිය පසුකර ටිකදුරක් ඉදිරියට යනවිට ඉදිරියෙන් වේගයෙන් පැමිණෙන ටිපර් රථය පැමිණෙන්නේ තමන්ගේ මංතීරුවේ බව සමීර හඳුනාගත්තේ එය බස්රථයට ආසන්නම වූ විටයි..
ඒවන විට බස්රථයේ වේගය පැයට කිලෝමීටර් 85-90 අතර විය.ටිපර් රථයද පැමිණියේ ඒ හා සමාන වේගයකිනි.බස්රථය නවතාගැනීමට කෙසේවත් නොහැකි බව සමීරට තත්පර ගණනකින් වටහා ගැනීමට හැකිවිය.
“තුෂාර අයියේ පස්සට පැනහන්….”
කියා පමණයි සමීරට කිවහැකි වූයේ…ඔහු කලේ එක්වරම බස්රථය විරුද්ධ මංතීරුවට හැරවීමයි.සමීරට ටිපර් රථය බේරීමට හැකිවුවත් අවාසනාවට බස්රථය වේගයෙන් ගොස් ගැටුනේ මාර්ගය අයිනේ වූ විශාල ගසකයි.බස්රථය එක්වරම නිශ්චල වූයේ බස්රථයේ ඉදිරිපස කොටස් කුඩුවී සී සී කඩ විසිකරමිනි.බස්රථය ගසේ වැදී තිබුණේද සමීරගේ රියැදුරු අසුන සහිත ඉදිරිපස කොටසමයි……