පුංචි දොස්තර නෝනා (3 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සමීර මුහුණ හෝදගෙන ඇවිත් බස් එකට නැග්ගෙ ප්‍රාර්ථනා ඉන්නවද බලලමයි.
අැය සමීර දෙස බිය මුසු මුහුණෙන් අසුනේ සිටම බලාසිටියා.

යන්තමින් හිනාවූ ඔහු බස්රථය පණගැන්වූයේ තුෂාරගේ ප්‍රශ්නවලට උත්තර දෙන ගමන්මයි.

“කොහෙද බන් ගියෙ.මම උඹව හැමතැනම හෙවුවා….”

“ආ…මං මූණ පොඩ්ඩක් හෝදගෙන එන්න ගියා තුෂාර අයියේ…පරක්කු නෑනෙ…”

“නෑ… නෑ….නෝමල් පැදහන්.අරුන් දෙන්නා ගියෙත් පොඩ්ඩකට කලින්නෙ.”

තුෂාර කිවුවේ තේ බොන්න නැවැත්වීමෙන් පසු යලි ගමන් ආරම්භ කල බස් දෙක ගැනයි.

“හරි තුෂාර අයියා…..”

සමීර සාමාන්‍ය වේගයකින් සුපුරුදු ගමන පටන් ගත්තා.ඔහු කොහොමත් වේගයෙන් යන්න ආසයි.ඒක තරුණ කම නිසා කියලයි සමීරට හැම වෙලාවෙම හිතුනෙ.ඒත් හැම වෙලාවෙම එහෙම යන්න බෑ කියලා සමීර දන්නවා.

බස්රථය කැකිරාව පහුකරලා දඹුල්ලට ආවා.දඹුලු පන්සලේ සුවිසල් බුදු පිළිමය බස්එකේ යන හැමෝටම ආශිර්වාද කරමින් තමන් දෙසට නෙත්යොමාගෙන ඉන්නවා කියලා සමීරට හිතුනා.ඒ ලස්සන නිසා නෙලුම් මල් මි⁣ටක් අරන් ගිහින් වැඳලා එන්න තිබුනනම් කියලා සමීරට හිතුනත් වෙලාවක් තිබුණෙ නෑ.

“ආ තුෂාර අයියේ..මේකත් පඬුරු දාලා එන්න….”

සමීර තුෂාරට රුපියල් පනහෙ කොලයක් පර්ස් එකෙන් අරන් දුන්නෙ පඬුරු දාන්න.ඒක බස් එකේ කවුරු වැඩකලත් හැමදාම පුරුද්දක් කියලා පළවෙනි දවස උනත් සමීර දන්නවා.

මුලු ලෝකයම නිදන රාත්‍රියෙ ජීවිත හැට හැත්තෑවකටත් වැඩිය අත්දෙකේ තියාගෙන නින්දට අභියෝග කරමින් යන දිගු ගමනකට එකම පිහිට ඒ ආශිර්වාදය කියලා හැම රියදුරෙක්ම විශ්වාස කරනවා.

සමීරට තිබුනෙත් ඒ වගේම විශ්වාසයන් දෙකක්.එකක් ⁣,රෑට ගෙදරින් අම්මට වැඳලා එද්දි අම්මා ඔලුව අතගාලා දෙන ආශිර්වාදය, අනික පඬුරු දමා පතන පැතුම්වල හා විශ්වාසයේ ආශිර්වාදය.

තුෂාර පඬුරු දාලා එද්දිම සමීර කැප්එක ගලවලා තුන්වතාවක් සුක්කානම වටේ දෙඅත් යවලා සුක්නානම මැදට නලල තියලා වැන්දෙ ප්‍රාර්ථනා ඔහු දෙස බලාසිටින බව නොදැනයි.

ප්‍රාර්ථනාට සමීරගේ පිළිවෙත් දැකලා ඉබේම ඇස්වල කඳුළු පිරුණා.ප්‍රාර්ථනා අහලා තිබුණෙ මිනිස්සුන්ට බනින,මගදිගට රණ්ඩු වෙවී සල්ලි මත්තෙම නැහෙන බස් රියදුරන් ගැන විතරයි.

රෑවෙලා නිසා පාරෙ වාහන අඩුයි.සමීරගෙ වේගය තවටිකක් වැඩිවුණා..නිදිමතක් යන්තම් ඇස් අද්දර තිබුණත් බස්එකේ කැසට් එකේ වේග රිද්ම ගීත ටිකක් දැ⁣ම්මෙ ඒ නිදිමත නැතිවෙයි කියලමයි.
මේ වෙද්දි රෑ දොළහත් පහුවෙලා තිබුණෙ.ප්‍රාර්ථනා බස් එකේ ඉඳගෙන හිටිය අනිත් අය දිහා හිමීට බැලුවා.සේරම අය නිදි.ප්‍රාර්ථනාගෙ ඇස්වලටත් නින්ද හිමීට එබිකම් කලා.ඒත් ඇයට මතක් වුනේ ඇහැරගෙන සුක්කානම කරකවන සමීරව.

“අපිව පරිස්සමින් එක්කගෙන යන්නනෙ ඒ අයියා මේ දුක විඳින්නෙ….”

ප්‍රාර්ථනාට හිතුනෙ එහෙමයි.ඔහු වෙනුවෙන් අමුතුම හැඟීමක් ඇයගෙ හිතේ ලියවිලා තිබුණා.ඒ ආදරයක්ද කියලානම් ඇය තවම දන්නෙ නෑ.ඔහුගෙ හිතත් එහෙමයි.
එහෙම හිතද්දි ප්‍රාර්ථනාගෙ නින්ද නැතිවෙලා ගියා.නොදැනීම බස්එක නුවරටත් ආවා.ඒ පැය ගාන විනාඩියක් වගේ ඇයට දැනුණා.මේ වෙද්දි වෙලාව පාන්දර තුනයි.මුලු නුවරම සීතල මීදුමකින් ලාවට වැහිලා තිබුණා.ඒ ලස්සන, මැදවච්චියෙ කාෂ්ඨක පරිසරය හුරු ප්‍රාර්ථනාට අමුතු හැඟීමක් හිතට එක් කලා.දළදා මැදුරෙ සුන්දරත්වය නිසා ඇගේ බය සම්පූර්ණයෙන්ම නැතිවුනේ ඉබේමයි.
තව පැය භාගයකින් විතර තනිවම ගෙවන ජීවිතයකට හුරුවෙන බව ප්‍රාර්ථනාට හිතද්දිත් බය හිතුනා.නමුත් මවගේ හා සහෝදරයාගේ හීන වෙනුවෙන් ප්‍රාර්ථනා හිත ශක්තිමත් කරගත්තා.

“නංගි ලෑස්තිවෙන්න.තව ටිකකින් ඔයා බහින්න ඕනි.”

ඇය අසලම ජනේලයෙන් ඇසුණ හඬින් ඇගේ සිතුවිලි හැමතැනම විසිරුණත් ඒ රූපය දකිද්දි ප්‍රාර්ථනාට දැනුනෙ ආරක්ෂාවක්.

ඒ හිටියෙ සමීර.නවත්තලා තිබුණ බස්එක ප්‍රාර්ථනාට එහෙම කියාගෙනම ගිහින් සමීර පණගැන්වුවා.නුවරින් බස්එක තුනයි කාලට පිටත්වුනේ ප්‍රාර්ථනාගෙ හදවත වේගයෙන් ගැහෙද්දි.දන්න අඳුරන කවුරුවත් විශ්ව විද්‍යාලයට යාමට බස් එකේ හිටියෙ නෑ.තනියම මේ පාන්දර යන්නෙ කොහොමද කියලා ප්‍රාර්ථනා කල්පනා කලේ බයෙන්.

“කැම්පස් එක ළඟ බහින අය එන්න ඉස්සරහට….”
තුෂාර ඉදිරිපස දොරේ සිටම කෑගැහුවෙ ගොඩක් අය නිදි නිසා.ඒත් නැගිට්ටෙ ප්‍රාර්ථනා විතරයි.

කලු පැහැ බෑගයක් කරේ එල්ලාගෙන අනිත් බෑගය අතකින් අරන් සීට් එකෙන් සීට් එක අල්ලගෙන ඉස්සරහට එන ප්‍රාර්ථනා දිහා සමීර කණ්ණාඩියෙන් බැලුවෙ අහිංසක විදියට.ඒ බවක් ඇය දැක්කෙ නෑ.

“නංගි කොහොමද මෙතන ඉඳන් යන්නෙ තනියම…?”

සමීර ඇහුවා.

“කොහොම හරි යනවා අයියෙ.තනියම මෙතන ඉන්නත් බෑනෙ.”

“සල්ලි තියෙනවද?”

“තියෙනවා අයියේ….”

ඒත් ඇයට තිබුණෙ අයියා දුන්න රුපියල් දාහක් විතරයි.මේ සතියෙ අන්තිමට ගෙදර නොගියොත් සල්ලි මදිවෙනවා කියලා ඇය දැනන් හිටියා.විශ්ව විද්‍යාලයට අලුත් නිසා මුල් දවස්වල වියදම සැරයි කියලා ඇය දැනන් හිටියා.

ඒත් දුප්පත් හින්දා ඊටවඩා සල්ලි ගෙදරින් ඉල්ලන්න ඇයට හිත් දුන්නෙ නෑ.බස් එක ගලහා හන්දියෙ නැවැත්තුවා.

“අයියෙ මං යනවා….”

සමීරට ඇය එහෙම කියද්දි ලොකු දුකක් හිතට දැනුණා.ඒත් ඒ ඇයි කියලා සමීරට වැ⁣ටහීමක් තිබුණෙ නෑ.

“හරි නංගි.පරිස්සමින් යන්න.”

සමීර එහෙම කිවුවත් ඒ හඬ හැඟුම්බරයි කියලා ප්‍රාර්ථනාට දැනුණා.ඇය යන්තම් හිනාවක් එක්ක ඔලුව වනලා බස් එකෙන් බැස්සා.

සමීර ඒ සැනින් වටපිට බලද්දි ත්‍රීවිල් එකක් දැක්කා.දෙතුන් සැරයක් හෝන් කරද්දි ත්‍රීවිල් එකේ රියදුරා එලියට ආවා.

“අයියේ මේ නංගිව පරිස්සමට මෙඩිකල් ෆැකල්ටිය ළඟට එක්කන් යන්න.ආ සල්ලි..”

සමීරම හයර් එක අහලා ඒකත් දීලා ප්‍රාර්ථනාට ත්‍රීවිල් එකේ යන්න කිවුවා.ඇයට දැනුනෙ තමන්ගෙ ම අයියා ළඟ ඉන්නවා වගේ.

“ගොඩක් පිං අයියෙ…..”

ඇය එහෙම කියලයි ත්‍රීවිලරයට ගියෙ.සමීර ඒ සැනින් ත්‍රීවිලරයෙ ෆොටෝ එකක් ගහගත්තා.

“ඇයි බන් මල්ලි සල්ලිත් දීලා ත්‍රීවිල් එකේ ෆොටෝ එකකුත් ගහගත්තෙ.?”

තුෂාර ඇහුවෙ කිසිදෙයක් සිතාගැනීමට නොහැකිවයි.

“නෑ අයියේ.ඒ කෙල්ල තනියම ඒකෙ යන්නෙ.කෝකටත් හොඳයි කියලා පොටෝ එක ගහගත්තෙ.අනික රෑ නෙ.”

තුෂාර සමීරට අමුතු හිනාවක් දැම්මෙ ඔහුට යමක් දැනුනු නිසයි.ඇය බස් රථයට නැග්ග ස්ථානයේ ඉඳන් සමීර අමුතුයි කියලා තුෂාරට දැනිලා තිබුණා.

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!