මම පුංචි ගාණක් හැදුවා. අපි දෙන්නා ජීවත් වුනු කාලයෙන් අපි දෙන්නා රණ්ඩු වෙන්න ගිය කාලය අඩු කරා. අපි දෙන්නා ආදරෙන් වුන්නු කාලය නෙමෙයි ලැබෙන උත්තරේ. අපි රණ්ඩු නොවී වුන්නු කාලෙ. රණ්ඩු නොවී වුන්නා කියන්නෙ ආදරෙන් හිටියම නෙමෙයි. සමහර වෙලාවල් වල රණ්ඩු වීම එපා වෙලා නීරස වෙලා අපි ඉන්න ඇති. වෙන්වීම කියන්නෙ දරා ඉඳීම අවසන් වීම.ඔව් අපි වෙන් වුනා. අපි අවසන් කළා. වෙන්ව ඉන්න පටන් ගත්තා.
උදේ ඇහැරෙනකොට මගේ එහා පැත්තෙ වදකාර පුරුදු ජීවියා නැති අඩුව මට නොදැනෙනවා නෙමෙයි.ඒත් මම ඒකට පුරුදු වෙන්න උත්සහ කරනවා.වෙලාවකට මට රණ්ඩු කරන්නවත් කෙනෙක් නෑ නේද කියලා හිතන හැඟීමක් මගේ නිස්කාන්සු හිත කොනිත්තනවා. ඒ වේදනාවත් එක්ක මගෙ මතකෙට එන්නෙ අන්තිම තත්පරේ වෙනකන් දිනුම වෙනුවෙන් ආදරේ පරදුවට තියලා හැප්පිච්ච වචන හරඹ කරපු අපි දෙන්නා. නොදන්නා කෙනෙක් හිතට එබිලා මගෙන් අහනවා ආදරේ කියන්නෙ ඕකද බන් කියලා.
වෙලාව රෑ 9.00ටත් කිට්ටුයි.මම තාම රෑ කෑම කාලා නෑ. බඩගිනී කියලා මට වද දෙන්න වෙන කෙනෙක් නැති නිසා මට බඩගිනි වෙලාවක මම කෑම හදා ගන්නවා. රෑ කෑමට කියලා පරළු පාන් පෙතිදෙකක් කර කරලා හදාගන්න පටන් ගත්තෙ මගෙ බර වැඩි වෙලා කියල දැනෙන්න ගත්ත දවසෙ ඉඳන්. ඒ මීට දවස් කීපෙකට එපිටින් දවසක්. මම ඇනෙක්ස් එකේ ඉඳන් සුපර් මාර්කට් එකට යන්නෙ පයින්. ඒ යන අතරෙ පහුගිය දවසක නිම්සර ගෙන් ඇමතුමක් ආවා. නිම්සර මගෙ හොඳම යාලුවා. ඌගෙයි මගෙයි යාලුකම ලිංගිකත්වයේ හෙවණැල්ලක් නොවැටී බොහොම කාලයක් ඇදුනු යාලුකමක්. මට එයාගෙ ඇමතුමකින් පවා මිත්රත්වය පිරුණු වැළඳ් ගැනීමක දැනෙන ආදරේ දැනුනා. එයා කතා බහ අස්සෙ ඇහුවා මොකද බන් උඹ බතල ලැබ්රඩෝ බැල්ලියක් ඇවිදිනව වගේ හති දාන්නෙ කියලා.මට හොඳටම හිනා. ඇත්තටම මම හිටියෙ හති ද දා ඇවිදිමින්.නිම්සර යෝජනා කරා ඊරියක් වගේ නොකා කෑම පාලනය කරන්න පටන් ගන්න. ඒකට මම අවිවාදයෙන් එකඟ වුනා.මොකද මම ආසම ඇඟළුම් මේ ටික දවසට මට අඳින්න බැරිව ගැන ගිහින් තිබුණා.
කර කරගත්තු පාන් පෙති දෙකට මාමයිට්,බටර් තවරගෙන මම කන්න පටන් ගත්තෙ ෆේස් බුක් එකට එබිලා. මිනිස්සුන්ගෙ හිනා මූණු පිරුණු ෆොටෝ වලට ,දරු සුරතල් ගැන ලියවුනු කවි කතා වලට හාට් දමමින් යන අතර අතරමග අතෑරුනු මගෙ ආදරය දැකල මාව ගල් ගැහුනා.
ආලෝක අලුත් නවතැනකට ගිහින් එතැන ඉඳලා ලස්සන ෆොටෝ කීපයක් එෆ් බී එකට එකතු කරල තිබුණා. ගොඩක් අය සුබ පතල තිබුණා.මම කෙයාර් රිඇක්ෂන් එකක් දාලා all the very best කියලා කමෙන්ට් එකක් ලිව්වා. තත්පර බාගෙකින් වගේ ඒ කමෙන්ට් එකට එයා හාට් රිඇක්ෂන් එකක් දැම්මා.
හෙට ලියලා බාර දෙන්න තිබුණු වෙබ් ලිපි දෙකක්ම මම ලිව්වෙ ආදරේ ගැන.ලිව්වා නෙමෙයි ලියවුනා.අපි දෙන්නා ප්රාර්ථනා කරපු නූපන් සිඟිති දරුවා මගේ කුසේ නෙමෙයි හිතේ කිරි සිනා නඟමින් හිටියා. හිතට දැනුන බර අකුරු එක්කම සැහැල්ලු වෙලා ගියා. මම ආසම නයිට් ඩ්රස් එක ඇඳලා මම කණ්ණාඩියෙන් බැලුවා.මගෙ ලස්සන බලන්න ඉන්නෙ මම. ඒකත් හරි සුන්දරයිනෙ.මම ඉගන ගන්නවා මට ආදරේ කරන්න.ඒක ආකර්ශනීය ඉගනීමක්. ඔයා කොච්චර ලස්සනද මගෙ හිත මගෙන්ම ඇහුවා.
උපුටා ගැනීම: Ishani Saranga