ඔන්න ඉතින් ඉස්සෙල්ලම කියන්නම්කො මන් ඇයි අහිංසක කියලා. ගෙදර වැඩ ඔක්කොම කරන අම්මගේ අණට කීකරු මල්ලිලයි නංගියි බලාගන්න සුවච කීකරු කෙල්ල මන්. නැත්නම් අම්බානක ගුටි අම්මගෙන් කන්න වෙන බව දැනන් හිටියේ මන් විතරයි. ඉස්කෝලෙත් විනීතම ශිෂ්‍යයාව, ප්‍රධාන ශිෂ්‍ය නායිකාව, ඒ වගේම ඉස්කෝලේ හැම උත්සවයකම නිවේදනය මම ඒ වගේම වැඩි කතා නැති නිසා ගොඩක් අයට මන් අහිංසකය. දැන්නම් කට ගැන කතා කරලා තේරුමක් නෑ ඉතින්. වහ ගන්නම බෑ. මන් ගියේ ගමේ පුංචි පාසලකට.ඒ කාලේ හරිම සුන්දරයි. ඔන්න ඉතින් දවසක් අපිට සිංහල උගන්න උගන්න අමිතා මිස් ඉන්නවා. එතකොට ප්‍රින්සිපල් සර් ඇවිත් මිස් එක්ක ලොකු කයියක්.අපිට කතා කරන්නත් බෑ බකුස්සෝ රැල වගේ ඔහේ බලාගත්ත අත බලන් ඉන්නවා. මටත් දැන් හොදටම එපා වුණා. ඉතින් මගෙ අතේ තිබුන රෙනොල්ඩ් පෑන් කොපුව අරගන මම සද්දේද බලන්න පිම්බා. යකෝ මේක මුලු හෝල් එකටම ඇහෙන්න සද්ද කලා නොවැ. ඉතින් මුකුත් නොදන්න අහිංසකි වගේ මන් පොත දිහා බලන් හිටියා දැන් ඉවරයි දැන් ඉවරයි කිය කියා. එකපාරටම ප්‍රින්සිපල් පිරිමි ළමයිගේ පැත්තට හැරිලා තක්කඩි බූරුවෝ වගේ හැදෙනවා මුන් කියන කිසිම දෙයක් අහන්නේ නෑ කිය කියා හොදටම දොසය. හිනා වේවී බලන් ඉන්න උන් මන් දිහා රව රවා බැලුවා මිස පාවා නුදුන්නෝය. මොකද කොපි කරගන්නේ මගෙන් නිසා බැවිනි.
ඔන්න තව දවසක් අපේ ගෙදර වත්තේ පැත්තක පුංචි කැලයක් වගේ මහුගෝනි ගස් ගොඩක් තිබුනා. ඉතින් මල්ලිලා ඕකේ අට්ටාලයක් හදලා අට්ටාලෙට නගින්න ඉනිමගකුත් හැදුවා. දවසක් මායි, නංගි යි පුන්චිලගේ නංගියි ඔය අට්ටාලේ සෙල්ලම් කර කර හිටියා. ඉන්නකොට මන් බැහැලා ගියාම මන් දැක්කා පොල්තෙල් ගන්න මහප්පලගේ දිහාට තැපැල් නයින්ටියෙන් එන මාමා අපේ දෙවැටේ එනවා. ඒ පාර තියෙන්නේ අපේ ගෙදරටයි මහප්පලගේ ගෙදරටයි යන්න විතරයි. ඉතින් අපේ වත්තට ඇතුල් වෙන තැනම දෙපැත්තෙන් අන්දර යායක් වවලා තියෙනවා. ඒක අපට හැංගෙන්න තරම් ප්‍රමාණවත්. මම ටක් ගාලා අට්ටාලෙට නැගලා නංගිලා දෙන්නට විස්තරේ කිව්වා. එතකොට මම හත වසරේ. නංගිලා අවුරුදු 5ක් බාලයි. ඔන්න බයික් එක ලංවෙනවා. අපි තුන්දෙනාම “ඕඕ හහහා” කියා මරහඩ දෙමින් කෑ ගසා බිමට පැන එතනම තියෙන අන්දර ගෝලේ හැන්ගුණා. කළුවරත් වැටිගන එන නිසා මුකුත් පෙන්නේ නෑ. ඒ වගේම පාරේ වැල්ල. අපේ මරහඩින් බිය වුනු මාමා අප්පට හු# කියමින් වැනි වැනි ගියපු බයිසිකලෙත් එක්ක පෙරලුනා. වෙලාවට බයික් එකේ කෑන් වල තෙල් තිබුනේ නෑ.මාමා හොදටම බය වෙලා මහප්පා එක්ක සිද්දිය කියලා හොල්මන් දෝෂයක් වත්තේ තියෙනවා කියලා. ඉතින් එකෙන්නම් අපිව කාටවත් අල්ල ගන්න බැරි වුණා.
අපේ අම්මාගේ මහ ගෙවල් තියෙන්නේ අපේ ගමට ගම් තුනක් විතර දුරින්. එහෙ ගම වටේට කැළේ තියෙන නිසා මන් එහෙ යන්න හරි ආසයි. ඉතින් එහෙ මගෙ සම වයසේ චුටි අම්මාගේ දුවයි ඇන්ටනි මාමගේ දුවයි ලොකු අම්මාගේ දුවයි ඉන්නවා. අපි ඉතින් හරිම නිදහසේ ඉන්නවා. එහෙත් හොල්මන් කතා පිරිලා. මන් ඒවා හරි අසාවෙන් අහලා රෑට හු කියනවා නැත්නම් හොරාට කවුරු හරි ගාවට පැනලා නිදාගන්නවා. ඔන්න ඉතින් දවසක් මන් එහෙම මාමාගේ දුව ගාවට පැන්නම මාමාගේ දුව නින්දෙන් මරලතෝනි දීලා එකම විගඩමක් නටද්දී මන් මුකුත් දන්නේ නෑ වගේ ගිහින් හිටිය තැනින්ම නිදාගත්තා. කට්ටියම කිව්වේ එයාට කළු කුමාර දෝෂයක් තියෙනවා කියලා. ඔය මුකුත් නොදන්න ගානට මන් නිදාගත්තා.
ඉතින් කිරි අම්මලාගේ ගේ ගාව තව ලොකු අම්මා කෙනෙක් හිටියා. එයාගේ පුතා බැදලා ගිහින් හින්ද එයා හිටියේ තනියම. දවසක් නංගිලා දෙන්නයි මායි නාගන එහෙම කළුවර ටිකක් වැටිලා තිබුනත් ලොකු අම්මලාගේ දිහා ගියා. ඒ ලොකු අම්මා හරිම හොදයි. මොනා හරි කන්න හිතන් තමයි අපි එහේ ගියේ. ලොකු අම්මා ගෙදරත් නෑ. එහෙ හොල්මන් තියෙනවා කියලා ලොකු අම්මා නිතරම කියනවා. අපිට බයත් හිතුනා. එළියෙන් හදලා තිබුන පොඩි කුස්සි කෑල්ලට අපි ගියා. ඒකෙ වටේට බ්ලොක් ගල් පේලි තුනක් විතර උඩට යවලා තිබුනේ නිකන්ම. අපි ලොකු අම්මව බය කරමුද කියලා මන් නන්ගිලාගෙන් ඇහුවම එයාලා එක පයින් කැමති උනා. ලොකු අම්මා වතුර අරගෙන එනවා. ඒ අස්සේ මට හොටු පෙරිලා හච්චින් යන්න එන නිසා නැගිටිනකොට අරුන් දෙන්නත් බක බක ගගා හෙන හයියෙන් හිනාවෙමින් නැගිට්ටා. කොන්ඩත් කඩාගෙන මෝහිනීලා වගේ ඉන්න අපිව දැකලා ලොකු අම්මා මැටි කලෙත් අත ඇරලා හොද කුණුහරුප වැලක් කිව්වා. අපි ඉතින් සමාදානෙට ආවත් ඇය වැඩිය හිනාවුනේ නෑ. අන්තිමේ කිව්වේ මේ නදියවත් නරක් කරනවා කියලා නංගිලාට බැනීමයි. උන් දෙන්නට හොදටම තරහ ගිහින් ඔක්කොටම හොද නදී අක්කනේ කියා ගස්සාගෙන ගියා. එතනත් මන් මුකුත් නොදන්න තොත්ත බබා.
රචනය :එල්. එන්. එස්. ලියනගේ