පුංචිකාලේ කතාවක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අපි හද්දා දුප්පත්.තාත්ත කොළඹ රස්සාවකට ගිහිල්ල සොච්චම් පඩියකට.මාසෙකට රුපියල් විසිපහක් එවනව මුදල් ඇනවුමකින්.අම්ම ලියන මහත්තයගෙ තේ කෑල්ලෙ දළුකඩල දවසකට ගන්න සත විසිපහත් එක්ක තමයි අපේ අය වැය ලේඛනය හැදෙන්නෙ.ඒකෙන් තමයි පවුල් පස්දෙනෙක්ගෙ ජීවිත ගැටගැහුණෙමං පවුලෙ වැඩිමලා.පහේ පංතියෙ ඉගනගත්තෙ.ලොකුමල්ලිත් ඉස්කෝලේ ගියා යලට මහට වගේ කළාතුරකින්.එයා ඉස්කෝලෙ හාමිනේට ගල් කූරකින් ඇනල ඊට පස්සෙන්ද ඉඳල ඉස්කෝලෙ යෑම නතරකරල හිටියෙ.අනිත් මල්ලියි නංගියි පොඩි ඈයො හින්ද ඉස්කෝලෙ යන්න වයසක් වුනේ නැහැ.
වරිච්චි මැටිගහල ,බටකොළ හෙවිළි කර්ස්පු ගේක තමයි අපි හිටියෙ.ගෙයි බිම මැටිගාල තිබුන.අම්ම වත්ත පහළ පොල් ගහකින් වැටෙන වේලිච්ච පොල් අතු අරන් ඇවිල්ල ඇලේ දාල පොඟවල අරන් ඒකෙන් ගන්න පොල්කොළ තීරුවලින් වියාපු පැදුරුවල තමයි අපි නිදාගත්තෙ.මැටි පොළොවෙ නිදාගන්නකොට බිම ඉන්න මැක්කො(ගමේ කියන්නෙ කලිසම් කටුවො කියල) රෑට පැදුරෙ හිල් අස්සෙන් රිංගල අපේ පිටවල් වලට දෂ්ට කරනව.උන්ගෙ විස තුඩු හරියට දෙබරු ඇන්නම වගේ විසයි.
.මල්විස්කෝතු ගොට්ටක් සතපහයිකඩේ.රටඉඳි රාත්තලක් සත අටයි.ඒ වුනාට අපිට ඒව කන්න අතේ සතයක්වත් නැහැ.බුදු පහන ළඟ කොළපාටට හැරිච්ච සත දෙකේ කාසි ටිකකුයි,දොරකඩ දෙහි ගහේ අම්ම අපට උණ, හෙම්බිරිස්සාව හැදුනම දෙවියන්ට ගැටගහන සත පහේකාසි ටිකකුයි විතරයි තිබුනෙ.ඉතින් අර ගැටගහපු ගැටයක් දෙකක් ලිහල සත පහක් දහහක් අරන් පැනිරස කෑම අරගන්න හිතුවත් බුදුහාමුදුරුවන්ගෙ පිංතූරය දිහා බැලුවම හිතදුන්නෙ නැහ
අම්ම ඉඳල හිටල හදල දෙනව දිව්ය භෝජනයක් වගේ කෑම වේලක්.ලොකු කොස්ගෙඩියක් අරන් කටුව ඇහැලදාල හීනිය්ස්ට ලියල තම්බනව.බුහාරි මුදලාලිගෙ කඩෙන් ගෙනාපු සුන්සහල් හුණ්ඩුවකුත් උයනව..හාල්මැස්සො ඔලු ටිකක් හොඳට හෝදල කබළෙදාල බැදල කරපුන්ච කොළයි කොච්චි අහුරකුයි ලුණු ඇබිත්තකුයි දාල ඇඹරුම් ගලෙන් අඹරල පොල්තෙල් ඇබිත්තක් දමල අරන් පුංචි ගුලිවලට ගුලිකරනව.ඒව බෙදල දුන්නම් අපි හායි හූයි කියල කටදද්දි කනව. මටනම් දැන් තරුපහේ හෝටලේකින් කෑවත් එච්චර රසක් නැහැ.
ඉස්කෝලෙ යන්නෙ මං විතරයි.දෙවෙනිය ඉස්කෝලෙ ගිය.ඒ වුනාට පංතියෙ ගුරුතුමීට ගල්කූරෙන් ඇනල ගෙදර ආපු දවසෙ ඉඳල තවම ඉස්කෝලෙ ගියෙ නැහැ.ඉස්කෝලෙ බ්ස්නිස් බෙදුවෙ මම.වැඩිපුර බනිස් ඉතිරිවෙච්ච දවසට මං ලොකු ඉස්කෝලෙ මහත්මයගෙන් අහල වැඩිපුර බනිස් ගෙඩියක් දෙකක් ගෙදර ගේනව.කොහොම උනත් මගේ බනිස් ගෙඩිය ගේනවාමයි.මං ඉස්කෝලෙ ඇරිල ගෙදර එනකම් මල්ලිල දෙන්න නංගිව උකුළෙ තියාගෙන බලන් ඉන්නව අපේ දොළ ළඟ ගල උඩ වාඩිවෙල නිකටට අත තියාගෙන.මං එනකොට බලන්න ඕන තුන්දෙනාගෙ මුහුණුවල තියන හිනාව.
ඔහොම යනකොට අපේ ගැටබරුවෙ පෙරහැර පටන්ගත්ත.ලොකු තොරණකුත් තියනව.රුහුණෙන් වන්දනාවෙ එනව දහස්ගණන් සෙනග බාරහාර ඔප්පුකරන්න ගැටබරුවට ඒකාලෙ.එන්නෙ පයින්.ලොකු දන්සැලක් තියනව ගැටබරුවෙ පහළ ආවාසෙ දවස් තුනක්ම.මම අපේ මාමයි පුතා ආනන්ද එක්ක පළමුදවසෙ පෙරහැර බලන්න ගියා රෑ හතට විතර.පාරදිගේ ගිහිල්ල ගැටබරුවට හැරුන.ඉස්සෙල්ලම අපි ගියේ දන්සැලට.ගොඩක් වෙලා පෝළිමේ ඉඳල අපිත් වාඩිවුනා දන්සැල ඇතුලෙ බංකුවක.අඳුරනකෙනෙක් ඉන්නවද කියල හොරෙන් බැලුව වටපිටාවෙ.කවුරුවත් වෙලාවට හිටියෙ නැහැ.මීට කලින් අපි දන්සැලකින් කාල තිබුනෙ නැහැ.පරිප්පුවලයි සැමන්වලයි සුවඳට අපේ බඩගින්න අවුස්සල තිබුනෙ.අපි හොඳට සප්පායම් වුන.පස්සෙදි අපි වෙහෙර වඳින්න යන්න ගැටබරු කන්ද නැග්ග.වෙහෙර මළුවට යනකොට පාන්දර එකට විතර ඇති.හතරපස්දෙනෙකුට වැඩිය සෙනග හිටියෙ නැහැ ඒ වෙලාවෙ මොකද කිව්වොත් පෙරහැර බලන්න සෙනග පහළ නැවතිච්ච හින්ද.අපි දෙන්න බිමවාඩිවෙල දන්න ගාතාවල් කියල වැන්ද.මට ඇහුණ ආනන්දදසමාසේ උරේකත්වා කියලත් කියනව.
අපි වැලිමළුවෙ වටේ යනකොට දැක්ක සතපනහෙ සතවිසිපහේ කාසි වගයක් වටේටම වගේ වැටිල තියනව.ඉතින් දෙන්න එක්කල පෙනිච්ච ඒව ඇහිඳගත්ත.ඒවත් අරන් පහළට ඇවිල්ල කඩේකින් තේත්බීල බොම්බයිමොටයි පාර්සල් දෙකකුත් අරන් ගෙදර ආව.අපේ ගෙදර දොරට තට්ටුකළාට දොර ඇරුනෙ නැහැ.අම්මට හොඳට නින්ද ගිහිල්ලවෙන්න ඇති. ඉතින් ආනන්දයි මමයි කොහෙද නිදාගන්නෙ කියල කල්පනාකරා.වෙලාවත් උදේ තුනට විතර ඇති.
දවස් හතරකට ඉස්සෙල්ල මැරිල වළදාපු පියසීලි නැන්දගෙ සොහොන මතක්වුනා මට. සොහොන උඩ හොඳට රතු සිමෙන්තිගාල ඔපමට්ටම් කරල තිබුන.නිදාවන්න කියාපු තැන නිවීසැනසිල්ලෙ.අපි දෙන්න ගියා ඒ සොහොන ළඟට.සොහොනට උඩින් පාංශුකූල රෙද්ද එල්ලල තිබුණ වියනක් වගේ.ඒක දෙකට ඉරල හොඳට පෙරවගෙන අපි නිදාගත්ත.කොච්චර නින්ද ගියාද කිව්වොත් හොඳට අව්වත් වැටිල තිබුනා අපේ
මුහුණුවලට.ඇලෙන් මුහුනත් හෝදගෙන ගෙදර ගියා.අම්මත් එළිපත්ත ළඟ හිටගෙන හිටියා.
මමත් රටක් රාජ්ජයක් දිනාගෙන ආපු සෙන්පතියෙක් වගේ අර බොම්බයි මොටයි ටික අම්මට දුන්න.අම්ම ඒක අරවෙන මගෙන් ඇහුව”පුතේ මේව ගන්න කොහෙන්ද සල්ලි ලැබුනෙ ?”” කියල.මම මුළු කතාවම කිව්ව.
අම්මගෙ ඉරියව් වෙනස්වුන.කඩාගෙන ආව ලොකු පේර කෝට්ටක්.ගැහුව මගේ පිටට මදිය නොකියන්න.ගහල ගහල අර බොම්බයි මොටයි ටික වීසිකළා ගල්වැටෙන් පහළට කුණුගොඩ උඩට.පස්සෙ මට කිව්ව”පුතේ,ඔය කාසි වන්දනාකාරයො වෙහෙරවහන්සෙ උඩට වීසිකරන ඒව.ඒ කාසි අපිට කැප නැහැ”කියල
උපුටා ගැනීම: Premasiri Viharahena

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!