” පුංචි මහත්තයත් උඹේ පන්තියේමද කෙල්ලේ ?”
පලවෙනි දවසේ අපේ අප්පච්චී මගෙන් පුදුම වෙලා ඇහුපු හැටි මට අද වගේ මතකයි .
” ඔව් අප්පච්චී …… අපි එකම පංතියේ “
කිසිම ගණනකට නොගෙන මම අප්පච්චීට උත්තර දුන්නේ බත් පිහානේ තිබුණු කීලන් කරෝල කෑල්ල කන්න කෙල ගිලින ගමන් .
පුංචි මහත්තයායි මමයි පුංචිකාලේ එකම දහම් පාසලට ගියේ . පුංචි මහත්තයා නම් දහම් පාසල් ආවේ විනෝදයට . අපි කියලත් දහම් පාසල් ගියේ ධර්ම කරුණු ඉගෙන ගන්න කියලායෑ . එත් සෙල්ලමටම තමයි .ළමා සාරියත් ඇදගන බෝ ගස් හෙවනේ සෙල්ලම් කරන්න තිබුණු ආසාවට .
පහේ පංතියේ ශිෂ්යත්ව විභාගෙන් පස්සේ පුංචි මහත්තයයි මමයි ගියේ පළාතේම ප්රසිද්ධවුනු සෙන්ට්රල් එකට .
මමනම් ගියේ ශිෂ්යත්වේ ඉහලින්ම පාස් වෙලා . පුංචි මහත්තයත් ශිෂ්යත්වයට හොද ලකුණක් අරගන තිබුණා .
මම ඒක දැනගත්තේ පන්තිබාර ටීචර් එක එක්කනා නැගිට්ටවලා නම , ගම , විස්තර ගැන කියන්න කිව්වහම .
හැබැයි අපේ අම්මානම් කිව්වේ පුංචි මහත්තයා ගියේ සල්ලී බලෙන් කියලා .
අම්මා ඔය මොනවා කිව්වත් පුංචි මහත්තයාගේ ගෙදර අය අපිට සැලකුවේ කිසිම වෙනසක් නොකර . පුංචි කාලේ අපි එකට කොම්පිට්ටුත් හදලා තියනවා . අම්මා මොන හේතුවකට පුංචි මහතයලා එක්ක තරහක්ද මන්දා .
අම්මා පුංචි මහත්තයාගේ ගෙදර අයට අනම් මනම් කියද්දී අප්පච්චීනම් කියන්නේ ” උබගේ අම්මත් ගෑණියෙක්නේ කෙල්ලේ ” කියලා .
” කෙල්ලේ ….. කෙල්ලේ …..”
දවසක් අප්පච්චී හවස හයට විතර ගෙදර දුවගන ආවේ ගෙට ගොඩවෙන්නත් කලින් මට කතා කරගන .
” මට වතුර කෝප්පයක් ගෙනෙන් කෙල්ලේ ….. ඒ ගමන් අම්මටත් එන්ට කියපන් “
වතුර වීදුරුවත් අරගන අම්මත් එක්ක මම ඉස්තෝප්පුවට ගියේ ඊට පස්සේ . ඒ වෙද්දීනම් අප්පච්චිගේ කලබල ගතිය අඩුවෙලා ගිහිං තිබුනේ . එත් මොකක්දෝ දෙයක් ගැන අප්පච්චී කල්පනා කරනවා .
” මොකක් හරි ප්රශ්ණයක්ද ?”
අම්මා අප්පච්චිගෙන් අහද්දී අප්පච්චී ගැස්සුනා . ඒ ගමන්ම වතුර කෝප්පේ ඉල්ලගන එක හුස්මට බීගන බීගන ගියා . ටික වෙලාවක් නිශ්ශබ්දව හිටපු අප්පච්චී කතා කරන්න පටන්ගත්තා .
” ලොකු මහත්තයා , වලව්වේ ළිදට පැනලා……. “
” දෙයියනේ ……..”
ඒක අහපු ගමන් අපේ අම්මා ඔළුවේ අත ගහගත්තා .
කන්දේ වලව්වේ ලොකු මහත්තයා කියන්නේ පුංචි මහත්තයාගේ අප්පච්චී . අපේ අප්පච්චී වැඩ කලේ ලොකු මහත්තයා ලග . ලොකු මහත්තයාගේ ඩ්රයිවර් විදිහට .
” ඊටත් හපන් කතන්දරේ තමයි , ලොකු මහත්තයා ලිදට තල්ලු කරේ පුංචි මහත්තයා කියලත් දැකපු මිනිස්සු ඉන්නවලු “
” දෙයියනේ …..”
ආයෙත් අම්මා ඔළුවේ අත ගහගත්තා .
මටනම් අප්පච්චී කියන දේ විශ්වාස කරන්න අමාරුයි . හතේ අටේ පංති වලදී පුංචි මහත්තයා මට ඩ්රයිවර්ගේ දුව කියලා පංතියේ අනෙක් ළමයි එක්ක එකතුවෙලා විහිළු කරා තමයි . එත් දැන් පුංචි මහත්තයා ඉස්සර වගේ නෙවේ . මගේ දිහා බලන්නෙත් අමුතු කරුණාවකින් . මේ ලගදි දවසක මට පුංචි මහත්තයා කිව්වා එයාට ඉස්කෝලෙදි ” දිමුතු ” කියලා කතා කරන්න කියලා .ඉතිං මං ඉස්කෝලෙදි පුංචි මහත්තයාට කතා කරේ නම කියලා .
මාස ගණනකට කලින් ඉස්කෝලේ ටිචර් මගේ සුදුගවුම් කහ පාටයි , අළුත් සුදු ගවු ටිකක් මහගන්න වෙයි කියලා පංතියේ නොසැහෙන්න දොස් කිව්වා . එත් පහුවදා ලොකු නෝනා අප්පච්චී අතේ අළුත් සුදු රෙදි වගයක් එවලා තිබුනේ අළුත් ගවුම් මහගන්න කියලා . පුංචි මහත්තයා තමයි ඒ සිද්ධිය ලොකු නෝනට කියන්න ඇත්තේ .
තවත් දවසක් දවල් කෑම පාර්සලය ඉස්කෝලෙට ගෙනියන්න බැරිවෙලා ආච්චිගේ කඩෙන් ඉදි ආප්ප පාර්සලයක් ගන්න රුපියල් විස්සක් දුන්නේ පුංචි මහත්තයා .
ඉස්කෝලේ ටිකක් දඩබ්බර චරිතයක් උනත් පුංචි මහත්තයා වයසින් වැඩෙන්න වැඩෙන්න මිනිසුන්ට අනුකම්පා කරන හැටි මම දැක්කා .
” ඉතිං එහෙම එකේ පුංචි මහත්තයා ඔය වගේ වැඩක් කරයිද ? “
මම මටම කියා ගත්තා .
” කව්ද ඉතිං ඕක දැකලා තියෙන්නේ ?”
අම්මා අප්පච්චීගෙන් එහෙම හාර හාරා විස්තර අහන්නේ අම්මටත් පුංචි මහත්තයා විස්වාස නිසා වෙන්ට ඕනි .
” පොල් වත්තේ වැඩ කරන සිරිසේන ඇස් දෙකෙන්ම දැක්කා කියන්නේ . පුංචි මහත්තයා ලොකු මහත්තයාව තල්ලු කරනවා . එත් පොලොසියෙන් කට උත්තර ගනිදදී සිරිසේන එහෙම දෙයක් පොලිසියට කිව්වේ නෑත් කියලා මිනිස්සු කියනවා “
සිරිසේන කියන්නේ කොහොමත් පිටගම් කාරයා . පොල් වත්තේ තිබුන පුංචි ගෙදරක ජිවත් උනේ . උන්දැගේ රාජ කාරිය උනේ පොල් වත්ත බලාගන්න එක . බොරු පුරසාරම් කතා කියන්න හරි දක්සයා .
ඒ විස්තරේ විස්තර කරලා අප්පච්චී ආයෙත් වලව්ව පැත්තට ගියා මල ගෙදර උදව්වට කියලා .
පහුවදා අම්මයි මමත් ලොකු මහත්තයාගේ මල ගෙදරට සහබාගි උනා . එතැන මිනිස්සුත් හොරෙන් හොරෙන් කුටු කුටු ගගා කතා බහ උනේ පුංචි මහත්තයා මේ මිනි මැරුම කරපු ගානට .
එත් කාටද දෙයියනේ පුළුවන් තමන්ගේ අප්පච්චිව මරන්න. අප්පච්චී කියන්නේ තමන්ගේ පණ වගේ කෙනෙක්නෙ . අනික ලොකු මහත්තයා පුංචි මහත්තයාට කිසිම අඩුපාඩුවක් දැනෙන්න දුන්නේම නෑ . සල්ලී නැති මිනිස්සු කියලායෑ .
එත් මං දැක්කා පුංචි මහත්තයා පුටුවක වාඩි වෙලා ලොකු නෝනගේ උකුලේ ඔළුව තියාගන ලොකු මහත්තයාගේ මිනිය දිහා බලාගන ඉන්නවා . පුංචි මහත්තයාගේ ඇස් වේලිලා මලානික වෙලා තිබුනේ . පුදුමයි එක කදුළු බිංදුවක් පුංචි මහත්තයාගේ ඇස් වලින් ගැලුවේ නෑ . ලොකු නෝනා නම් විලාප තිය තිය ඇඬුවා.
මරණ ගෙදර ඉවර වෙලා , ටිකෙන් ටික ලොකු මහත්තයාගේ මරණයේ උණුසුම අඩුවෙලා ගියා .
පුංචි මහත්තයා ආයෙත් ඉස්කෝලේ එන්න පටන්ගත්තා . එත් ඉස්කෝලේ ළමයි , ගමේ මිනිසසු පුංචි මහත්තයා ගැන සහ ලොකු මහත්තයාගේ මිනි මැරුම සම්බන්ධ කරලා කතා කියන්න පටන්ගත්තා .
එකට හිටපු පංතියේ යාළුවො පුංචි මහත්තයා සැක කරා . සිරිසේන තමයි මේ හැම දේටම වග කියන්න ඕනි . මමනම් සිරිසේනට වෛර කලා.
පුංචි මහත්තයා පංතියෙන් , ගමෙන් කොන් උනා . මට පුළුවන් විදිහට පුංචි මහත්තයා එක්ක කතා කරා . හිත හැදුවා . ඉස්කෝලේ වැඩ වලට උදව් කරා . පුංචි මහත්තයාගේ ලගින්ම හිටියා . අපි හොදම හොදම හොද යාලුවෝ උනා .
ලොකු මහත්තයාගේ තුන්මාසේ දානේ ලොකුවමට දෙන්න වලව්වේන් සුදානම් උනා . ඒ දවස්වල නම් අප්පච්චී ගෙදර ආවේ නැති තරම් . ඒ තරමටම වලව්වේ වැඩ ගේ දොර අස් පස් කරන වැඩ වලට උදව් කරා .
මමත් අම්මත් ඉද හිට උදව්ට ගියා . එත් අම්මා කැමති උනේනම් නෑ මම වලව්වට යනවට .
” ගින්දරයි පුළුනුයි එකට තියන්න හොද නෑ “
අම්මා හැමවෙලේම ඔන්න ඔය උපහරනේ කියවන්න පටන්ගත්තා .
දවසක් දානෙට ගෙවල් අස් පස් කරද්දී අප්පච්චීට ලොකු මහත්තයාගේ කාර්යාල කාමරේ තිබිලා ලිවුමක් ලැබුණා . ඊට පස්සේ සියළු දේ වෙනස් වෙන්න ගියේ එක මොහොතයි .
ලොකු නෝනා වලව්ව දෙවනත් වෙන්න කෑ ගහලා ආයෙත් අඩන්න පටන්න් ගත්තා . මැරුණ ලොකු මහත්තයාට සාප කරා . පොලවේ හැපි හැපි සාප කරා .
ඒ ලියමන බැංකුවකින් එවපු රතු නිවේදනයක් .
ලොකු මහත්තයා වලව්ව සහ සියළු ඉඩම් බැංකුවට ලක්ෂ ගණනකට උගස් කරලා. වාරික නොගෙවා සිටීම නිසා වලව්ව හරියටම තව සතියකින් බැංකුවට සින්න වන බව මාස තුනකට පෙර බැංකුවෙන් දැනුවත් කල ලිපියක් .
ඔය කතාව ගම පුරා පැතිරිලා යන්න ගියෙත් පැයකට අඩු කාලයක් . කොහොමත් පොල්වත්තේ වැඩ කරන සිරිසේන ඕපා දුප හොයන්නේ ගෑණියක් වගේ .
එදායින් පස්සේ ගමේ මිනිස්සු කිව්වේ ලොකු මහත්තයා සියදිවි නසාගන ඇති බව. ටිකෙන් ටික පුංචි මහත්තයා මිනි මරුම කල බව කියූ බොරු කතාව හැමෝටම අමතක උනා .
හැබැයි ඒ වෙද්දී පුංචි මහත්තයත් , ලොකු නෝනත් වැටෙන්න පුළුවන් ලොකුම අඝාදයකට ලොකු මහත්තයා තල්ලු කර අවසන් කරලා තිබුනේ .
” අප්පච්චී ……. පුංචි මහත්තයා ගමෙන් යයිද? “
මට හිතට බයක් දැනුන නිසා අප්පච්චිගෙන් එක සවසක මම ඇහුවේ මගේ හිත නිදහස් කරගන්න බලාගන .
” නෑ කෙල්ලේ …… පහල පොල්වත්ත බැංකුවට උකස් කරලා නෑ කියනවා .”
” ඉතිං “
අප්පච්චිට කියන්න නොදී අම්මත් හරස් ප්රශ්ණ අහන්න පටන්ගත්තා .
” ඉතිං ලොකු නෝනා කිව්වා සිරිසේනට පොල්වත්ත බලාගන්න එක නතර කරලා ගමට යන්න කියනවා කියලා . ඊට පස්සේ ඒ පොඩි ගෙදර පදිංචියට යනවාලූ “
ඒ කතාව අහපු මට හිතුනේ පොල් වත්තේ වැඩ කරපු සිරිසේනට හොදම වැඩේ කියලා.
උපුටා ගැනීම: – හසිකා විජේතුංග –