දේශීය ජන නාට්ය පිළිබඳ අධ්යයනයෙහි යෙදෙන ඔබට “සොකරි” ගැමි නාටකයෙන් පසුව “කෝලම්” නාට්ය පිළිබඳව අධ්යයනය කිරීමට මෙම ලිපි පෙළ බොහෝ උපකාරී වේවි.
“කෝලම්” යන්නෙන් වෙස් මුහුණු පැළදගෙන නැටීම, නළුවා පළදින වේෂය යන්න අර්ථ ගන්වයි. ඒ අනූව කෝලම් වෙස් මුහුණු නාටකයක් ලෙසද හඳුන්වයි. කෙසේ වුවත් එය ව්යවහාර වන ස්වභාවය අනූව හාස්ය, උපහාස්ය හා අපහාස්ය යන භාවිතයන් සඳහා යොදාගන්නට ඇත. මේ නිසාවෙන් කෝලම් වෙස්මුහුණු පැළඳ විනෝදාස්වාදය ලබාගැනීමට රංගගතවිය.
කෝලම් නාට්ය කලාවේ ආරම්භය පිළිබඳව සාක්ෂි මද වූවත් ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක් පුරාවට මුහුදු බඩ ප්රදේශවල රඟ දැක්වේ. අම්බලන්ගොඩ, මිරිස්ස හා බෙන්තර ඒ අතරින් ප්රධාන වෙයි.
කෝලම් උපන් කතාව…
මහා සම්මත රජුගේ බිසවට දරු ගැබක් පිළිසිඳ ගත් බැවින් දොළදුකක් හට ගත් බවත් ආහාර ප්රිය නොවී නැටුම් බැලීමට ප්රිය වූ බැවින් රජුගේ අණ පරිදි දේශදේශාන්තරයෙන් පැමිණෙන නළුවන් බිසව ඉදිරියේ රැගුම් දක්වන ලද මුත් බිසව ඒ එකකින් වත් සතුටු නොවූ හෙයින් රජු මහත් සේ තැවෙන්නට විය.
මේ ආරංචිය සැලවී සක්දෙව් රජුගේ පඩුපුල් ආසනය උණුවී සක්දෙව් රජු එදින රාත්රියේ විශ්වකර්ම දිව්ය පුත්රයා ලවා වෙස් මුහුණු සාදවා කෝලම් රඟ දැක්වෙන ආකාරය විස්තර කෙරෙන පොතකුත් සමඟ රජුගේ උයනේ තැබීය. පසුදා උදෑසන රාජ පුරුෂයන් මෙය දැක රජුට සැලකිරීමෙන් පසුව නළුවන් ලවා මේ වෙස් මුහුණු බැඳ පොතෙහි ඇතුලත් රංගවිධාන අනූව නැටීමට රජතුමා අණ කරනු ලැබීය. මෙයින් රජ බිසවගේ මණදොළ සැපිරී ප්රීතියෙන් පිනාගිය බව කියවේ.
01. කෝලම් රඟදැක්වීමේ ආකෘතිය කොටස් දෙකකින් යුක්ත වීම.
කෝලම් රඟදැක්වීමේ ආකෘතිය හාස්යෝත්පාදක පූර්ව රංගය හා නාට්යමය ගුණයෙන් යුක්ත අපර රංගය ලෙස කොටස් දෙකකින් යුක්ත වේ. පූර්ව රංගය තුලින් තානායපොළ පිළියෙල කරන ආකාරය රඟදැක්වේ. එය චරිත කිහිපයකගේ රංගනයෙන් සිදුවේ.
ප්රථමයෙන් රඟමඩලට පැමිණෙන්නේ කාරිය කරවන රාල හෙවත් සබේවිදානේය. ඔහු තෙරුවන් නමැද කෝලම් උපත විස්තර කරන කවි ගායනා කරනු ලබයි. දෙවනුව අණබෙර කෝලම නැතහොත් පනික්කලේ පැමිණේ. රජුගේ අණ ප්රචාරය කිරීමට පැමිණෙන මොහු ටික වේලාවකින් රජු හා බිසව කෝලම් බැලීමට එන බව සබයට දැනුම් දෙයි. අනතුරුව නොන්චි අක්කා ( අණබෙර කරුගේ මහළු බිරිඳ ) සැමියා සොයා තානායම් පොළට පැමිණේ. පසුව පිවිසෙන්නේ හේවා කෝලම ය. රජුගේ සන්නද්ධ හේවා භටයන් නිරූපණය කරන මොවුන් ප්රේක්ෂකයන් බිය ගන්වයි. අනතුරුව පොලිස් කෝලම් කරුවෝ බැටන් පොලු අතින් ගෙන ජනයා හසුරුවන ආකාරය පිළිබිඹු කරයි. ඉන්පසු ආරච්චිරාල මුදලිගේ අණ පරිදි තානායම් පොළ පිළියෙල කිරීමට පැමිණේ. අනතුරුව ජසකෝලම හා ඔහුව සොයා ලෙන්චිනා තානායම් පොළට පැමිණ රංගනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදලි පැමිණ රජු පැමිණෙන්නට පෙර සියලු වැඩ අවසන් දැයි බැලීම සිදුකරයි. මෙලෙස පූර්ව රංගය නිමාවෙයි.
ඉන්පසු රජතුමාගේ හා බිසවගේ සම්ප්රාප්තියෙන් පසු කෝලම් නාටකයේ අපර රංගය ආරම්භ වේ. මේ සඳහා ආගමික ඵෙතිහාසික කතා පාදක කරගත් මනමේ, සඳකිඳුරු, ගෝඨයිම්බර කතා රඟ දැක්වේ.
02. රංග භූමිය….
එළිමහන් රංග භූමියක් වූ මෙය “තානායම්පොළ” නමින් හඳුන්වයි. මඩුවක් තනා ඉන් ඉදිරිපස කොටස කවාකාර හැඩයකින් නිමවා එය රංග භූමිය ලෙසත්, එම ප්රදේශයත් මඩුවත් අතර කණු තුනක් සිටුවා හරස් අතට ශක්තිමත් ලී පටි බැඳ ඒ අතරට කොළ අතු බස්සවාගනු ලබයි. මෙය ” වෙස් අත්ත ” යන නමින් හැඳින්වේ. මෙය නළුවන් තම වාරය එනතෙක් රැඳී සිටීමට යොදාගනී.
සාමාන්ය භූමි මට්ටමට වඩා අඩියක් හෝ දෙකක් උසට පස් ගොඩකර උඩින් තානායම්පොල සකස්කරගෙන ඇත. රංගභූමියෙහි එක් පසෙක මල් පැලක් ද අනෙක් පස බෙර වාදකයෝ දෙදෙනෙක් ද හොරණෑ වාදකයෙක් ද සිටියි. ආලෝකය සඳහා පොල්තෙල් පහන් හා පන්දම් පත්තුකර ඇත. ප්රේක්ෂකයන් රඟමඩල වටා කවාකාරව අසුන්ගෙන කෝලම් රංගයන් නරඹයි.
03. සියලු චරිත සඳහා නිෂ්චිත වූ වෙස් මුහුණක් හා රංග වස්ත්ර භාවිතා කිරීම…..
කාරිය කරවනරාල හැර සියලුම චරිත වෙස් මුහුණු පළදී. වෙස් මුහුණු නිර්මාණය කරන්නේ කදුරු ගහේ අරටුවෙනි. මෘදු සැහැල්ලු වීම සහ කැටයමට සුදුසු වීම හේතුවෙන් භාවිතයට ගන්නට ඇත. ඒ ඒ චරිතයන්ගේ භාවය නිරූපණය වන පරිදි අපූරුවට වෙස් මුහුණු නිර්මාණය කර ඇත.
කාන්තා චරිත පිරිමි විසින් රඟ දැක්වීම හේතුවෙන් රංග වස්ත්ර නිර්මාණයේදී විශේෂ සැලකිල්ලක් දක්වා ඇත. වෙස් මුහුණු පැළදීමෙන් පසු මුහුණෙහි හා හිසෙහි විවෘත වන ප්රදේශ කලු පැහැති රෙදි කඩකින් ආවරණය කරගනී. එමෙන්ම චරිතයට ගැලපෙන ලෙසත් හාස්ය මතුවෙන ලෙසත් රංග වස්ත්ර නිර්මාණය කර ඇත. නොන්චි කෝලම රංග වස්ත්ර ස්ත්රියකගේ අඟ පසඟ පෙනෙන ලෙස නිර්මාණය වීමත්, පනික්කලේ රතුපාට පච්චවඩමක් පැළඳ සිටීමත්, පොලිස් කෝලම් කරුවන් කලු කෝට් හා කලු දිග කලිසම් ඇඳ සිටීමත් නිදසුන් ලෙස දැක්විය හැක. මෙලෙස අනෙකුත් කෝලම් ද චරියට ගැලපෙන පරිදි රංග වස්ත්ර පැළඳ ඇත.
04. රංග භාණ්ඩ භාවිතා කිරීම.
05. ගායනය හා වාදනය යොදා ගැනීම.
06. විනෝදාස්වාදය අරමුණු කර ගැනීම.
04.රංග භාණ්ඩ භාවිතා කිරීම…..
කෝලම් රංගනයට, රංග භාණ්ඩ යොදාගෙන චරිත නිරූපණයන් ඉදිරිපත් කරයි. ඒ අනූව අණබෙර කෝලම රංග භූමියට පැමිණෙන්නේ දවුල කරේ එල්ලාගෙන සැරයටියක් ද රැගෙනය. හේවායින් කඩුද පොලිස් කෝලම් කරුවන් බැටන් පොලුද ආරච්චිරාල බස්තමද ජස කෝලම රෙදි මල්ලද රංග භාණ්ඩ ලෙස යොදාගෙන රංගනයන් ඉදිරිපත් කිරීම නිදසුන් ලෙස දැක්විය හැක.
05.ගායන හා වාදනය යොදාගැනීම…..
කෝලම් රංගනයට දේශිය ගැමි ගායනා ඇතුලත් ය. සෑම කෝලම් චරිතයක්ම රඟමඬලට පිවිසීමට පෙර හඳුන්වාදීමේ කවි ගායනා කරයි.
නිදසුන් ලෙස,
නොංචි එකවරුනේ
පුංචි වයසෙන් පසු වන්නේ
කොංචි මා විසිනේ
නොංචි අක්කා එන්න එන්නේ
කටේ දත් වැටෙමින
කබත් කුණු කෙළ පෙරමින
ගතත් වෙව්ලාගෙන
නොංචි අක්කා එයි දුවගෙන
06.විනෝදාස්වාදය අරමුණු කරගැනීම….
පුරාවෘත්තයට අනූව අතීතයේ දී බිසවගේ දොළදුකක් සංසිඳුවීම සඳහා යාතු කර්මයක් ලෙස ආරම්භවිය. පසු කාලයේදී මෙය යාතු කර්මයක් නොවූයේ කාන්තාවන් සඳහා මෙවැන්නක් අවශ්ය නොවීමයි. එමනිසා විනෝදාස්වාදය අරමුණු කරගෙන රඟදක්වන ලදී. විනෝදාස්වාදය ලබාගැනීම සඳහා කෝලම් වෙස් මුහුණු, රංගනයන්, නර්තනයන්, ගායනයන් හා සංවාද ඉවහල් විය. නිදසුන් ලෙස පොලිස් කෝලමේ එන සංවාදයක් දැක්විය හැක.
සබේ විධානේ – මොකද රාළහාමි කලබලේ ?
I පොලිස් – අපි කලබල තමයි.
සබේ විධානේ – What are you doing ?
II පොලිස් – කොට්ටාවට පයින්.
I පොලිස් – I know හූනෝ බකමූණෝ.
II පොලිස් – I can you can කෙසෙල් කැන්.
සබේ විධානේ – මේ සතියේ කෙසෙල් කැන් ගිය සතියේ වික්කා දැන් නෝ කැන්.
07 පහතරට ශාන්තිකර්මවල අාභාෂය කෝලම්වල ද දක්නට ලැබීම…..
පහතරට ශාන්තිකර්මයන්ට යොදාගන්නා ප්රධාන වාද්ය භාණ්ඩය වන යක්බෙරය කෝලම් හි ප්රධාන වාද්ය භාණ්ඩය ලෙස යොදාගැනීම. එසේම සන්නි යකුමෙ නර්තන ශෛලීන්ට සමානකම් කෝලම් රංගයේ ඇතුලත්වීම, එහි වෙස්මුහුණු පැළඳ සන්නි දහඅට නිරූපණය වීමත් ඒ ආභාෂයෙන් කෝලම් වෙස්මුහුණු නිර්මාණය වන්නට ඇත යන්න බෝහෝ දෙනාගේ මතයයි. එමෙන්ම සන්නියකුමෙ එන චරිත නිරූපණයන්ට සමානකමක් දක්වමින් කෝලම් චරිත ගොඩනගා ඇත යන්න තවත් මතයකි. නිදසුන් ලෙස තොටකඩවරයා චරිතය ආශ්රයෙන් ජස කෝලමත්, මොහිණි අවතාරයේ ලක්ෂණ ලෙන්චිනා කෙරේ විද්යමාන වන ලෙස ඉදිරිපත්කර ඇත යන්නය. ශාන්තිකර්මයෙහි යකදුරාගේ කාර්යය කෝලම්හි කාරියකරවනරාළ සිදුකිරීමත්, හිටිවන සංවාද ඇතුලත්වීම ආදී ලක්ෂණ පහතරට ශාන්තිකර්මවල ආභාෂයෙන් නිර්මාණය වන්නට ඇත යන්න සඳහන් කලහැක.
……………අන්තර්ජාලය ඇසුරෙනි…………….