ක්රීස්…..
වාහනේ පොඩ්ඩක් වේගෙ අඩු වුනු නිසා අදත් බේරුන. මේ කෙවෙනි වතාවද? මට නිච්චි නැහැ. තව කී වතාවක් මේ විදිහට බේරෙන්න පුලුවන් ද? මම දන්නෙ නැහැ. මෙහෙම ජීවත් වෙන එක එපා වෙල ගොඩක් කල්. ඉන්න ඉන්න මොහොතක් පාසා මැරෙනව.
පාර පැනල තාප්පෙ දිගේ ගිහිල්ල, කුස්සියේ බිත්තියට ගොඩ වෙල වහලත් බිත්තියත් අතරින් කුස්සියට ඇතුල් උනා.
අවුරුදු ගානකින් මිනිස් පුලුටක් නොදැක්ක කුස්සියේ තියෙන්නේ වෙනද වගේ හැම තිස්සෙම එන මාළු කරවල සුවඳ, කැම සුවඳ නෙවෙයි. පුස් ගඳ, දූවිලි ගඳ. රැවුලෙ පැටලෙන මකුළු දැල්, කකුල් වල ඇලෙන දූවිල්ලට මම ප්රිය නෑ. ඒත් මම හැමදාම එනව. ඉස්සෙල්ලම ඇවිල්ල කුස්සියෙ අම්ම ඉන්නවද බලනව. අම්ම ගොඩක් වෙලාවට ඉන්නේ කුස්සියෙ. ඉස්සර කුස්සියට එන බොහෝ වෙලාවට අම්ම කියන වචන හැමදාම දෝංකාර දෙනව.
“ආ රෝසි උඹට බඩහිනිද? උඹට මාව මතක් වෙන්නේ බඩහිනි වෙලාවට විතරනේ.” කියද්දි මම පුරු පුරු කර කර කකුලෙ දැවටෙනව. අම්ම කරන වැඩේ නවත්තල, කැමට මොනව හරි, කිරි ටිකක් මගේ භාජනේට දානව. මම ටිකක් වෙල ඈතින් බලන් ඉඳල ගිහින් හිමීට කනව, කිරි නම් දිවෙන් රස්නෙ බලල හිමීට බොනව. අම්ම කර කර හිටපු වැඩේ කර ගෙන යනව.
ඒත් දැන් අම්ම නෑ. අම්ම විතරක් නෙවෙයි, චූටි, ලොකූ, මහත්තය කවුරුත් නෑ. මීට අවුරුදු ගානකට කලින් ඒ ගොල්ල මැකිල ගියා. එහෙමත් වෙනවද? මට තාම තේරෙන්නේ නෑ. ඒකයි මම හැමදාම, හැම තිස්සෙම ඒ ගොල්ල ඇවිල්ලද බලන්න එන්නේ.
අම්ම කුස්සියේ නැති නිසා මම ඊලඟ ට චූටි ගෙ කාමරේ ට යනව. චූටි ගෙ පොත් මේසෙ යට තියෙන එයා ඉස්කෝලෙ දාපු සපත්තු දෙක ඉඹල බලනව. චූටි ගෙ ඒ සුවඳ, ඒ කරුණාව මට ආත්ම ගානක් මතක තියෙවි. ඒත් ඒ සුවඳ දැන් කාලෙකට මේ සපත්තු දෙකෙන් ආවෙ නෑ. හම් ගඳයි, පුස් ගඳයි විතරයි. ඒ කියන්නෙ අදත් චූටි ඇවිත නෑ. ඊට පස්සෙ මම චූටි වාඩිවුනු පුටුවට ගොඩ වෙල, පොත් මේසෙට එනව. පොත් මේසෙ උඩ තියෙන් චූටිගෙ පින්තූරෙත් එක්ක කතා කරනව.
“ඤාව්….”
මේසෙ උඩ බෝතලයක දාල තියෙන් පෑන්, පෑන්සල් වලින් චූටිගෙ සුවඳ තාම යංතං දැනෙනව. ඒ හින් ද මම චූටිගෙ මේසෙ උඩට වෙලා සැහෙන වෙලාවක් ඉන්නව. මෙතෙන්ට හොඳට චූටි ගෙ ඇඳුම් රාක්කෙ, ඊට එහායින් බිත්තියෙ එල්ලපු පොත් බැග් එක, චූටි නිදා ගත්තු ඇඳ පේනව. ඇඳ දිහා මම හොඳට බලන් ඉන්නව. චූටි නිදා ගෙන ඉන්න හැටි පේනව.
“පුතා ඔය පූසා ඇඳට ගන්න එපා. ඔය ලෝම නහයෙ ගිහින් නැති ලෙඩක් හදා ගනියි.”
“හරි හරි අම්මෙ, තව ටිකකින බිමට දානව.”
එහෙම කිව්වට කවදාවත් මාව බිමට දැම්මෙ නෑ. චූටිට නින් ද ගියාම අම්ම නං ඇවිත් මාව බිමට දැම්ම. අම්ම ගියාට පස්සෙ මම ආයෙත් ඇඳට ගොඩ වෙල චූටි ගෙ පය පාමුල නිදා ගන්නව. උදේට අම්ම කතා කරන කොට ඉස්කෝලෙ යන්න අවදි උනාම මට එයා පොරවන් හිටපු රෙද්ද පොරොවල, ඔලුව අතගාල යනව, ලැස්ති වෙන්න. මම නං බඩගිනි වෙනකම්ම නිදා ගන්නව. දැන්නම් මම ඇඳට ගොඩ වෙන්නෙ නෑ. ගොඩ වෙන්න බෑ. කාලයක් එකතු වෙච්ච දූවිලි තට්ටු ඒක් උඩ. හදිස්සියෙන් වෙලාවක ගොඩ වෙන්නෙ චූටි ගෙ කොට්ටේ ඉඹින්න. ඒත් දැන් ඒකෙන් චූටි ගෙ මූනෙ සුවඳ එන්නෙ නැහැ. නහයට දූවිලි යනව, හච්චිං යනව විතරයි.
ඊට පස්සෙ මම ලොකූ ගෙ කාමරේට යනව.
සමහර දාට චූටියි, ලොකුයි මට රණ් ඩු වෙනව. එතකොට චූටි කියනව…
“මම තමයි රෝසි මේ ගෙදර ට ගෙනාවෙ. ඌ අයිති මට.”
“එතකොට මම ඌව හැදුවෙ නැද්ද? මම උගේ කක්ක අස් කලේ නැද්ද? මතක තියා ගන්නව මම තමයි උගේ නමත් දැම්මෙ රෝසි කියල.”
මම පැනල සෙටියෙ යටට ගිහින් අහන් ඉන්නව. ඒ ඔක්කොම ඇත්ත.
ලොකු ඉස්කෝලෙ ගියපු දවසක තමයි චූටි මාව මුලින් ම දැක්කෙ. ඒ වෙනකොට චූටි යංතං ඇවිදින්න පටං ගත්ත විතරයි. පාරට ගෙනත් දාල බඩගින්නෙ කෑ ගගහ ඉන්න කොට තමයි, චූටි මගේ ගාවට ඇවිල්ල පහත් වෙල මගේ මූණ දිහා බලන් හිටියෙ. හෙල්ලුනේ නෑ. ඒ ඇස් වල තිබුණ කාන්තිය, ආදරය, කරුණාව ඊට කලින් දැකල විඳල තිබුනේ මගේ අම්මගෙන් විතරයි.
චූටිගෙ වදේට තමයි, අම්ම ලඟ ගෙදරකින් පෙට්ටියක් ඉල්ල ගෙන, මම ඒකෙ දාගෙන, යන ගමනත් නවත්තල ගෙදර ආවෙ.
“දැන් කවුද මූට සාත්තු කරන්නේ? මට නම් බෑ මට තියෙන වැඩ කන් දරාවෙ හැටියට.” මහත්තය මම ගැන දැන ගත්තු ගමන්ම නෝක්කාඩු කිව්ව.
“මොනව කරන්න ද? කෙල්ල එතනින් හොල්ලන්න බැරි උනා. සත්තු හදන්න ඕන නං මම ගේන්නේ මේ ගොල්ල හම් බවෙන්න කලින්.” අම්ම උත්තර දුන්න.
ඒ කිව්වට මහත්තයත් අම්මට හොරෙන් මට සාත්තු කරා. දවසක් මහත්තය මාව කරේ එක්ක ගෙන යන කොට, අම්ම…
“ගේනකොට විරුද්ද වෙච්ච මනුස්සය දැං ඌ බැලුවොත් කරේ තියාගෙන.”
“මම අනිත් සත්තුන්ට වඩා, ඒ කියන්නෙ බල්ලන්ට වඩා පූසන් ට කැමතියි, නෝනෙ. මොකද උන් ටිකක් මං වගෙ. උන්ට හානි කරන අයව මඟ අරිනව විතරයි. වෛර බඳින්නෙ, එලවල හපා කන්නෙ නෑ. “
“මල්ලි, අයියෙ කියාගෙන ඇවිත්, ඕන තැනට ගිහිල්ල බැහැල හයර් එක හවස් දෙන්නම්, හෙට දෙන්නම්, ගෙදරට එවන්නම් කියල නොදීපු කී දෙනෙක් මේ ගමේ ඉන්නවද?”
“ලැජ්ජ නැතුව ආපහු ඇවිල්ල ත්රිවීල් එකට නගිනව. හැබැයි මම එතකොට මඟ අරිනව.”
“මම කතාකරගත්තු හයර් එකක් තියෙනව. අන්න අරයගෙ එකට නගින්න.” කියල සුමනෙ මාම හරි සරත් හරි පෙන්නනව.
“මම ඇහැක් ගහල කවුරුහරි එවනකොට ඒ ගොල්ලො දන්නව සතා මොකාද කියල. හයර් එක ගන්න හැටිත් දන්නව.”
“මමත් ගොඩක් මිනිස්සුන් ට වඩා සත්තුන් ට කැමැතියි, මහත්තයෝ. ආදරය කරුනාව ළමයි හොඳටම තේරුං ගන්නෙ සත්තුන් ගෙන්. මිනිස්සු ඒව කරන්නෙ පේන්න. පොඩ්ඩ එහාමෙහා වෙච්ච ගමන් ඉවරයි. සත්තු එහෙම නැහැ.”
“ඒ හින් ද තමයි කරදර උනත් ඌ මම අරන් ආවෙ. මට උගෙ රාජකාරි ස්වල්පයක් යැ.”
ලොකූ ගෙ කාමරේ දොර රෙද්ද අයිනෙන් ඔලුව දාන කොටම එන නහය හාරවන සුවඳ අදත් නැහැ. මම ඒ සුවඳ ට කැමැති නැති උනාට, ඒ සුවඳ තියෙනවට කැමැතියි. ඒ කියන්නෙ ලොකු ඇවිල්ල කියන එක.
කාමරේට ඇතුල් වෙල ම කෙලින්ම යන්නෙ ලොකුගෙ අඳුම් රාක්කෙ පහලම තියෙන සපත්තු තට්ටුව ගාවට. ලොකුට ගොඩක් සපත්තු සෙරෙප්පු තියෙනව. මම ඒව එකින් එක් ඉඹිනව. ඊට පස්සෙ උඩින් එල්ලෙන ඇඳුම් ඉව කරල බලනව. ඒ එකක වත් ලොකුගෙ සුවඳ දැන් නැහැ.
කබඩ් එක් ගාවට යන කොට තියෙන උස් කන්නාඩියෙ අද ඉන්නෙ මම විතරයි. දූවිලි තට්ටු ගනන් තියෙන කබඩ් එක උඩට පැන්නහම, මගෙ ඊයෙ අඩි සලකුණුත් මටම පේනව. කබඩ් එක උඩ ඇති පින්තූර හැම එකක් ම වගේ බලනව. ඒ දවස්වලත් මේව මෙහෙමමයි. සෙන්ට් බෝතල් වලිනුත් තාම සුවඳ හමනව වගේ දැනෙනෙව.
ලොකූ ලියන මේසෙට පැන්නහම, ලොකූ ඉඳගෙන ඒකෙ ලියන හැටි මැවිල පේනව. සමහර වෙලාවට මම පෑනෙ හොස්ස අතුල්ලනව. ඒ වෙලාවට ලොකූ ආදරෙන් මගේ ඇස් දෙක දිහා බලාගෙන මගේ ඔලුව අත ගානව, කතා කරනව. මම යන්න හැදුවොත ආයෙත් මෙසෙ උඩම වාඩි කර ගන්නව.
මම පොඩි කාලෙ මොහොතක්වත් නිකන් හිටියෙ නෑ. චූටිත් ඒ කාලෙ ඒ වගේමයි. චූටි දුවනකොට මම ගිහිල්ල කකුලෙ එල්ලෙනව. සමහර වෙලාවට උඩවල් වල ඉඳල ලොකූගෙ ඇඟට පනිනව.
“මේ පූසගෙ තියෙන දාංගලේ, කෙල්ලො දෙන්නගෙම අතපය හූරල.” දවසක් අම්ම මහත්තයට කිව්වා
මහත්තය පස්සෙන් දා මාවත් උස්සගෙන ගිහින් සෙටියෙ වාඩි උනා. එක අතක නේල් කටර් එකක් තිබුන. මාව උකුලට අරන් දකුණු අතේ ඇඟිල්ලක් මිරිකල නියපොත්ත එලියට ගත්ත. මට කැගැහුන.
“එපා තාත්ති එපා.” චූටි දුවගෙන ඇවිත් මාව තාත්ත ගෙන් උදුර ගත්ත.
අම්මත් එතනට ආව.
“මොකක්ද මහත්තය කරන්න හැදුවෙ?”
“මම මුගේ නියපොතු ටිකක් කොට කරන්න බැලුවෙ.”
“එතකොට ඌට රිදෙයි, උගේ හමත් කැපෙයි.” චූටි කිව්ව.
“ඌට උගෙ පාඩුවෙ ඉන්න දෙන්න. ඌ හින් ද තමයි මම කෙල්ලට බත් ටික හරි කවා ගන්නෙ.” අම්මා කිව්ව.
වැහි දවසට අදුරත් එක්ක මූසල ගතිය වැඩි වෙනව. මම හුඩ් එක උඩ වැස්සට මුවා වෙලා වැස්ස දිහා බලන් ඉන්නව. හුඩ් එකට වැටෙන වැහි බිංදු ආපහු පැනල ලෝම වල හිටිනව. ඒත් වහලට වැටෙන වැහි බිංදු සද්දේ මාව අතීතයට ගෙන යනව.
වෙනද මේ වගේ දවස් වලට මම ඇඳෙන් බහින්නේ කුස්සියට යන්න විතරයි. වතුර පෑගෙනවට මම හරි අකමැතියි. කුස්සියේ ගෑස් ලිප ගාවට වෙලා ඈතින් අම්ම උයන හැටි බලන් ඉන්නව. ගෑස් ලිපෙන් එන රස්නෙ සනීපයි. අම්ම මට කතා කරන හඩත් සනීපයි.
පායන දවස් වල දවල්ට මම තාප්පෙ දිගේ ගිහින් ගේට්ටු කණුව උඩට වෙලා පාර දිහා බලන් ඉන්නව.
අම්මෙකුයි දුවෙකුයි පාර දිගේ ඈත එනව පේනව, හරියට අම්මයි ලොකුයි වගේ. කොච්චර ලොකු උනත් ලොකු අම්ම ගාව ඉන්න කොට අම්මගෙ අත වටේ අත යවාගෙන තමයි ඉන්නෙ. චූටිත් එහෙමයි. සමහර වෙලාවට අම්ම මේ ගතියට යංතං නෝක්කඩු කියනව.
පාරෙන් ගේට්ටුව දිහාට හැරෙයිද කියල මම හොඳට බලං හිටිය. නෑ, ඒගොල්ල කෙලින්ම ගියා.
මහත්තය එන්න විදිහක් නැහැ, ත්රී වීල් එක ගෙදර නවත්වපු තැනමනේ.
අන්තිමට අම්මයි දූල දෙන්නයි පණ පිටින් දැක්කෙ ඉරිද දවසක් පල්ලි යන්න ලැස්ති වෙල.
“ඔය දෙන්න හැම තිස්සෙම මගෙ දෙපැත්තේ එල්ලෙන්න එපා. මහ වදයක්.”
මම ඒ තුන් දෙනා ලස්සනටම ඇඳල හිටිය දැක්කෙ එදා. හතර දෙනාම පාරට ඇරලුවේ මම. කොච්චර බැන්නත් චූටියි ලොකුයි එදත් ගියෙ අම්මගේ දෙපැත්තෙ එල්ලිලා. ඒත් එදා ආවෙ නෑ. පස්සෙන් දා ආවෙ පෙට්ටි තුනක නිදා ගෙන. එහෙමත් දවස් තුනක් ඉඳල යන්නම ගියා.
පල්ලියේ තමයි විනාසෙ වෙලා තිබුනේ. මහත්තය තුවාල සනීප වෙල ආවෙ ඊටත් සතියකට පස්සෙ.
මහත්තය වැඩි හරියක් හිටියෙ අඩ අඩා. එයාලගෙ කාමරේට ගියේ නැති තරං. සාලෙ සෙටියෙ තමයි නිතරම හිටියෙ. ලඟ තිබුන ටීපෝ එක උඩ චූටි ගෙයි ලොකු ගෙයි අම්මගෙයි පින්තූර තිබුනා.
කෑවෙ බිව්වේ නෑ. මගේ කෑම භාජනේ හෝදල තුන් වේලට ම කෑම දාල තිබුනා. අහල පහල ගෙවල් වලින් අපිට කැම ලැබුනා. මිනිස්සුත් කාල සටහනකට වගේ දවල් දවසෙම ගෙදර හිටියා. මොනවහරි කරගනියි කියල බයටලු එහෙම හිටියේ.
ගොඩක් රෑ වෙල මිනිස්සු ගියාට පස්සෙ, මාව ගෙදරට දාල මහත්තය හිමීට පිට වෙනව. මම ඒ උනාට ගෙදර පිටිපස්සෙ වහලෙන් බැහැල ඈතින් පස්සෙන් යනව.
තුන් දෙනාගෙම වලවල් තිබුනෙ පේලියට. මහත්තය හැමදාම ගියේ එතෙන්ට. ගිහින් අඬ අඬා ආඩ පාලි කියනව.
“ඇයි මාව විතරක් දාල ගියේ චූටි, ලොකූ, අම්මේ.”
ටික වෙලාවකින සොහොන් තුන අයිනෙන්ම ඇල වෙල නිදා ගන්නව. එළිය වැටෙන්න පැයකට විතර කලින් ගෙදර ඇවිත් මගේ ආවතේව කරනව.
පල්ලිය හරි ඉක්මනට තිබුනටත් හොඳට හැදුව. මැරිච්ච ඔක්කොගෙම නම් කුරුසයක් ගහපු කොට බිත්තියක ලියල තියෙනවලු. චූටිගෙයි, ලොකූගෙයි, අම්මගෙයි නම් එතන තියෙනවලු.
එච්චරයි!
මහත්තයට හිත හදා ගන්න බැරි උනා. දුර්වල උනා. දවසක් උදේ පාන් දර කනත්තේ චූටියි, ලොකුයි, අම්ම් යි ඉන්න තැන මැරිල හිටිය. වස බීලලු.
දැං ඉතිං එහෙම හතර දෙනෙක් මේ ලෝකෙ හිටිය බව දන්නෙ මම විතරයි. පාඩුව උනේ මට විතරයි.
දැං මම කවුරුත් හුරතල් කරනවට කැමැති නෑ. ඔලුව අතගානවට වත් කැමැති නෑ. ගෙවල් වලට යන්නෙත් නෑ. කෑම දුන්නත් කන්නෙ ඒ ගොල්ල එහාට මෙහාටා වෙනකං ඉඳල.
මට තවත් අලුත් සුවඳවල් ඕන නෑ.
කවුරුනැතත් මං චූටියි, ලොකුයි, අම්මයි, මහත්තයයි ගැන හොයල බලනව.
මම මැරෙනමම්ම ඒ ගොල්ලගේ සුවඳ මගේ නහයෙන් යන්නේ නෑ.
උපුටා ගැනීම: Terrance Withana