අද පුතා මට එයාව ගන්න ඉස්කෝලේ ළඟට එන්නම කීවා. “අනෙක් අම්මලානම් හැමදාම එනවා. මටත් ආසයි අම්මගේ අතේ එල්ලිලා යන්න. අනේ අම්මේ අද විතරක් එන්න”පුතා බලාපොරොත්තු පුරෝගෙන ඉල්ලීමක් කළා. “හා අදනම් මං එනවාමයි “පුතාගේ නළල ඉඹලා පොරොන්දු උනා. දොළහයි තිහට ෂොට් ලිව් එකක් දාලා එක වෙද්දී ගේට්ටුව ගාවට මං ආවා. පුතා ඈත ඉඳන් එබි එබී එනවා. මාව දැක්කා විතරයි අනෙක් ළමයින්ට ඇහෙන්න “ආන් මගේ අම්මත් ඇවිල්ලා “හයියෙන් කෑ ගහගෙන දුවගෙන ඇවිත් අතේ එල්ලුනා. සතුට උතුරනවා පුංචි මූණෙන්.
බස් එකෙන් බැහැලා එයා ආසම අයිස්ක්රීම් එකකුත් කකා මගේ අත අල්ලාගෙන පද්ද පද්ද යනවා. “අම්මේ එකක් කියන්න තියෙනවා අම්මට ගොඩක් සල්ලි නැති නිසා මම ඒකට යන්නේ නෑ. ඒ මොකද්ද පුතේ. බෑන්ඩ් එකට ළමයි ගන්නවා. ඇඳුම් වලට රු දහදාහක් විතර යනවලු අම්මට සල්ලි නැති නිසා මම යන්නේ නෑ “මාව පිච්චුනා. මායි මහත්තයයි දෙන්නම ගුරුවරු වුනත් ණය අරන් ගේ හඳන නිසා අපේ අතට ඉතුරු වෙන්නේ සුළු මුදලක් විතරයි. ඉතිං පුතා ඉල්ලන මිල අධික දේවල් අපිට අරන් දෙන්න විදිහක් නෑ. ඒක අපි එයාට කියලා දීල තියෙන්නේ. ඒ නිසා පුංචි උනත් එයා කොච්චර ආස උනත් මොකුත් ඉල්ලන්නේ නෑ.
“මයේ අම්මා යන්න මං කොහොම හරි ඔයාට ඇඳුම් වලට සල්ලි හොයලා දෙන්නම්කො “සතුටින් හිනා වෙලා “අම්මේ ඔලුව ටිකක් පාත් කරන්නකෝ “මම නැමුනා එයා ළඟට ලොකුම ලොකු උම්මා එකක් දුන්නා බෙල්ල බදාගෙන. මගේ ඇස් වලට කඳුළු පිරුනා. දෙමවුපියන්ගේ කැමැත්ත ප්රකාශ කරලා ලියුමකුත් එවන්න කියලා තිබුන නිසා මම ලියුමකුත් ලියලා දුන්නා.
සතියකින් විතර මං ඇහුවා තාම බෑන්ඩ් එකට ගත්තේ නැද්ද කියලා.” නෑ නේ අම්මේ හෙට ඇවිල්ලා මැඩම්ගෙන් අහන්නකෝ “මම උදේ පුතත් එක්ක ගිහින් මැඩම්ගෙන් ඇහුවාම අද තමයි තෝරාගන්නේ කියලා කීවා. අපේ ගෙදර මෙලෝඩ්කාවකුත් තියෙනවා හැබැයි පුතාට ගහන්නනම් බෑ. ටීචර් පොඩ්ඩක් තෝරන කෙනාට කියන්නකෝ කියලා මං පුතාගේ ඔලුවත් අත ගාලා ඉස්කෝලේ ගියා. හවස මම එනකොට පුතා පේර ගහ යට ඉන්නවා කඳුළු පුරෝගෙන. “අනේ අම්මේ මාව බෑන්ඩ් එකට ගත්තේ නෑ “ඉකි ගගහා අඬනවා. මයේ පුතා අඬන්න එපා. ඔයා හොඳට විභාගේ පාස් වෙන්නකෝ එතකොට ඔයාව බෑන්ඩ් එකෙන් පිළිගනියි කියලා මං හිත හැඩුවා.
දවසක් මං පුතාට හොරෙන් පුතාගේ ඉස්කෝලෙට ගිහින් මගේ යාලුවෙක් හම්බවෙලා විස්තරේ කීවාම එයාට හරිම දුකයි මං කොල්ලව දාලා දෙන්නම් කියලා පොරොන්දු උනා. මම ඉතිං මේලෝඩ්කාව තියෙන බවත් කීවා. බෑන්ඩ් එක භාරව ඉන්නේ බබෙක් හම්බෙන්න ඉන්න ටීචර් කෙනෙක්. එයා දවසක් මෙලෝඩ්කාවකුත් අරන් පුතාගේ පන්තියට ගිහින් “අශේන් මේක ගන්න “කියලා පුතාට මෙලෝඩ්කාව දුන්නලු. මට ගහන්න බෑ කියලා පුතා කීවලු. අර ටීචර් “එහෙනම් ඔයාගේ අම්මා කියලා තියෙන්නේ තමුසෙට ගහන්න පුළුවන් කියලා. එයාලට කියනවා බොරු කියන්න එපා කියලා “එයා හරිම නපුරු විදියට පුතාට බැනලා. ගෙදර ආපු පුතා හරිම කනගාටුවෙන් ඉන්න හැටි මං දැක්කා. ඇයි පුතේ කියලා මං එයාගේ ඔලුව ඉම්බා. එයා හයියෙන් අඬ අඬා විස්තරේ කීවා. “මට බෑන්ඩ් එකට යන්න ඕනේ නෑ අම්මේ. මට දුක අම්මට බැනපු එකට. අම්මා බොරු කීවේ නෑනේ අම්මේ. ඔයා කීවේ මෙලොඩිකාවක් තිබුනට මට ගහන්න බෑ කියලනේ. ඉතිං අම්මේ අනෙක් ළමයින්ටත් ගහන්න බෑනේ. මයේ පුතා අඬන්න එපා අපිට බෑන්ඩ් ඕනේ නෑ ඔයා ඉස්කෝලේ වැඩ හොඳට කරන්න. මම එයාව බදාගෙන කීවා. මගේ කඳුළු හංගගෙන. ගුරුවරුන්ට මේ පුංචි මල් කැකුළු වල හිත් රිදවන්න පුලුවන්ද. ගුරුවරියක් වෙච්ච මම මගෙන්ම ඇහුවා 



උපුටා ගැනීම: Himali Weerasingha