උතුරු අත්ලාන්තික් සාගරයේ තියෙන පුංචි රටක් තමයි බ’මියුඩා.
තවමත් එංගලන්තය යටතේ ඉන්න, එංගලන්ත සහ අමෙරිකානු සංස්කෘති මුහු වෙච්ච, වැඩිපුර සුදු ජාතීන් ජීවත් වෙන බොහොම පොහොසත් රටක්.
කැරිබියානු කලාපෙ අසබඩම පිහිටියත් මේ රට කැරිබියන් රටක් ලෙස නම් සැලකෙන්නෙ නැහැ.
කවුරුත් බියෙන් සලිත කරවන, නැව් සහ අහස් යානා කිසිම හෝඩුවාවක් නැතුව ගිල ගන්නා බව පිළි ගැනෙන බ’මියුඩා ත්රිකෝණෙ එහෙමත් නැත්තං ඩෙවිල්ස් ට්රෑංගල් පිහිටල තියෙන්නෙත් මේ හරියෙ.
ඇමරිකාවෙ මයාමි, බ’මියුඩා, පුවටරීකෝ(පෝටරීකෝ) තමයි මේ බ’මියුඩා ට්රෑන්ගල් වලට අයත් මුහුද වටා පිහිටි ගොඩබිම් ප්රදේශ..
බහාමාස් වගේම ඉතාම පොහොසත් රටක් බ’මියුඩා. අගනුවර වෙලිංටන්.
ඒ වගේම තවමත් බ්රිතාන්යට අයත් වීම ගැන එහි වැසියො බොහොම සතුටුයි සහ ආඩම්බරයි.
බහාමාස් වලත් ජනගහනෙං භාගෙකට වඩා මිනිස්සු හිතන්නෙ අපරාධෙ බ්රිතාන්ය යටත් විජිත කමිං මිදුනෙ කියල.
ඉතිං මේ බ’මියුඩා වලත් ශ්රී ලාංකිකයො ඉතා සුළු පිරිසක් රැකියා කරගෙන ජීවත් වෙනව.
අපේ ලඟම හිතවත් මිත්රයෙකුත් ඔහුගෙ දරු පවුල සමග අවුරුදු 20ක් තිස්සෙ ජීවත් වෙන්නෙ මෙහි.
හසිත සහ ඔහුගෙ බිරිඳ රිස්නියාට ඉන්නෙ එකම පුතයි.
දැං වයස 15ක් වන මේ පුතා ඉපදුනාම ඒගොල්ලො මුහුණ දීපු ලොකුම ප්රශ්නෙ උනේ ළදරුවා ගෙදර තියල මව කොහොමද රැකියාවට යන්නෙ කියන එක.
පුතාට වයස අවුරුදු දෙකක් වෙනකං අපේ යාලුවගෙ බිරිඳ ගෙදර නැවතී ඔහුව බලා ගත්තත් ඉන් පස්සෙ ඇය රැකියාවට යා යුතු උනා.
මේ දෙන්නම වරලත් ගණකාධිකාරිවරු නිසා ඒ වගෙ ඉහල වැටුපක් ලැබෙන රස්සාවක් දමල ගහල ගෙදර නවතින්නත් ඇය කැමති උනේ නෑ.
ළමයව ඩේ කෙයා එකකට දාන්නත් අකමැති නිසා හිතල හිතල අන්තිමේ තීරණය කළා ලංකාවෙං බේබි සිට’ කෙනෙක් ගේන්න.
ජෝඩුව පොඩි බබාත් එක්කම නිවාඩුවකට ලංකාවට ඇවිත් දහ දෙනෙක් විතර ඉන්ටවිව් කරල අවසානයේ , වයස තිහක විතර කඩිසර සහ පිරිසිදු පෙනුමැති කාන්තාවක් තෝර ගත්ත.
මැයට බ’මියුඩාහි ව’ක් ප’මිට් (work permit) එකකුත් ලොකු මුදලක් ගෙවල හදල ආපිට යනකොට කැටුව ගියා…යන ගමං ඇමරිකාවෙ මයාමි වලත් දින දෙකක් නැවතුනා තකහනියෙම, මේ කිව්ව බේබි සිට’ හෙවත් ප්රියංකා ට යන්න හදන රස්සාව කෙරෙහි ආසාව වැඩි කරවන අරමුණ ඇතිව…
එතකොට ගෑණිට හිතෙනවනෙ ඉතිං තව ඉස්සරහට කොහෙ කොහෙ යන්න ලැබෙයිද කියල.
අනේ ඉතිං ආපහු බ’මියුඩා හි සේන්ට් ජෝජ’ස් ටවුන් බලා ගියාට පස්සෙ අපෙ යාලුවයි එයාගෙ නෝනයි හිත සැනසීමෙං යුතුව ආපහු රැකියාව කරන්න පටං ගත්ත.
ප්රියංකාට රස්සාව එපා වෙලා දමල ගහල ගියොත් කියන බයෙං අපෙ රිස්නියා ගෙවල් අස් කරණ වැඩ, උයන වැඩ සේරමත් තමංම කළා.
කොටිංම උදේ පහට නැගිටල උයල තියල තමයි ගෙදරිං පිටත් උනේ.
මෙහෙම අවුරුද්දක් විතර කල් ගත උනා.
හසිත රිස්නියා යුවල පුංචි පුතා එක්ක මේ කාලය තුල බාබේඩෝස් , බහාමාස් සහ කියුබාවට කෙටි නිවාඩු ගත කරන්නත් ගියා.
ඒ හැම ගමනකටම ප්රියංකාවත් නොවැරදීම එක් කර ගත්ත.
බහාමාස් ආපු වෙලාවෙ අපිවත් මුණ ගැහුන දින දෙකක්ම.
අපිත් කථා උනා ප්රියංකා කොච්චර වාසනාවන්තද මේ වගේ යහපත් උදවිය ගාව සේවය කරන්න කියල.
ලංකාවෙ ඉතාම පොහොසත් අයගෙනුත් කීයෙං කී දෙනාටද ඔය විදිහට කැරිබියන් රටවල් වල ඇවිදින්න ලැබෙන්නෙ.
දැං පුතාට වයස අවුරුදු 3 විතර ඇති. ලඟදිම පෙර පාසල් යවන්නත් තියෙනව.
කොල්ලගෙ චරියා රටාවෙ පොඩි පොඩි වෙනස් කම් පේන්න ගත්ත රිස්නියාට ටික දවසක පටං.
මේ ගෙදර මව්පියො ජාතීන් දෙකකට අයත් නිසා භාවිතා කෙරෙන්නෙ ඉංග්රීසි භාෂාව.
ප්රියංකා නිසා සිංහලත් කථා කරණව දැං.
ප්රියංකා , පුතාට කථා කරන්න ඉංග්රීසි සිංහල දෙකම භාවිතා කළත් , දරුවා වැරදි ඉංග්රීසි ඉගෙන ගනී කියන සැකයෙන් රිස්නියා ඇයට කියල තිබ්බෙ සිංහලෙන් විතරක් කථා කරන්න කියල.
ඒ ක්රමයට ළමයට භාෂා දෙකම හසුරුවන්න හැකියාව ලැබෙනවනෙ.
ඉතිං මේ පොඩි එකාගෙ අමුතු නිහඬ බව සහ බිරාංත උනා වගේ බලාගත්තු අත බලාගෙන ඉඳිල්ල ගැටළුකාරී උන මව්පියො , ඔහුව ළමා රෝග විශේෂඥයෙකුට විතරක් නෙමෙයි, ළමා මනෝ වයිද්ය වරයෙකුටත් පෙන්නුව.
හසිත සති දෙකකට පාරක් අපෙ මනුස්සය එක්ක කරණ කථා බහේදි මේ විස්තරේ කිව්ව.
මං ඉතිං Desperate House Wives කියන රූපවාහිනී කථා මාලාව කට පාඩං කරල හිටපු නිසා, පුංචි උපදේශයක් දුන්නා හසිතට..
පුංචි පුංචි කැමරා ගෙදර තැන තැන හයි කරන්න කියල , අර කිව්ව බේබි සිට’ ට නොදැනෙන්න.
ඕකට හසිත විතරක් නෙමෙයි අපෙ මානුස්සයත් හිනා උනත්, රිස්නියාගෙ බල කිරිල්ල නිසා වැඩේ ක්රියාත්මක උනා.
අනේ ඉතිං දවස් හතරක් ඇතුලත ප්රථිපල ලැබුණ.
මව්පියො වැඩ ඇරිල ගෙදර ඇවිත් රෑ නිදා ගන්න පෙර රහසිං ස’වේලන්ස් චෙක් කරද්දි
පුතා අතිං වතුර කෝප්පයක් කුස්සියෙ බිම හැලෙනව පේනව.
එතනට එන අර බේබි සිට’ ප්රියංකගෙ ප්රතිචාරය මෙහෙමයි.
” නෙද්දකිං තෝ වගේ මෝඩයෙක්…තොපෙ මහ උං වගේම ගොං හරකෙක් තෝ…
මොන —ක්ද මංද මං මේ ගෙවන ජීවිතේ…තොපිට කඹුර කඹුර හැ—- නැතුව මං තොලොංජි වෙලා යනව වෙලාවක…”
තව දේවල් ඇය කිව්වත් මං ඒ සේරම මේකෙ ලියන්න උත්සහ කරන්නෙ නෑ ඉතිං…
පොඩි එකා ගල් ගැහිල ඇසුත් ලොකු කරං බලං ඉන්නව තිරයේ අගේට සටහන් වෙලා තිබුණ.
තවත් හේතු හොයන්න අවශ්ය උනේ නෑ ළමයගෙ නිහඬ හැසිරීම් වලට…
පුදුමාකාර ඉවසීමක් ඇතිව අපෙ මිතුරු යුවල කරපු ප්රශ්න කිරීම් වලදි අර කාන්තාවට පිළි ගන්න සිදු උනා තමං කළ දේ.
ඇය කිව්ව , ඇතැම් අවස්ථා වල
වැඩ වැඩි කමට ඇති වෙන නුරුස්නා ස්වභාවය නිසා එහෙම බැන්නට ළමයට තේරෙන්නෙ නැති නිසා ඒක වරදක් කියල හිතුවෙ නැහැ කියල.
අනේ ඒ පුංචි එකාට එහෙමටම සිංහල බැරි උනත් , තමුංට රැකවරණය දෙන්න ඕනෙ කෙනා හරිම කෲර ලෙස බණින බව නං වැටහිලා තිබුණ.
කොහොම උනත් ඇයව පොලිසියට ගෙනියන්නෙ නැතුව පහුවදාම ලංකාවට පිටත් කරල අරින්න අපේ යාලුවො කටයුතු කළා.
සතියක් විතරක් ගෙවිල තිබුණත් මාසෙ වැටුප වූ ඩොල තුංදාහම ඇයට ගෙවන්නත් ඔවුන් තීරණය කළා. ඒ මුදල ඒ කාලෙත් රුපියල් ලක්ෂ හතරහමාරක් විතර.
දැං නිසල් පුතා ලොකු කොල්ලෙක්.
රිස්නියා අවුරුදු ගානක් ආපහු ගෙදර ඉඳං පුතා බලා ගත්ත.
මීට අවුරුදු තුනකට පෙර ආයෙමත් ඇය රැකියාවට යන්න පටං ගත්තා…
උපුටා ගැනීම: -ලසන්ති කොඩිකාර-