මනමාලි බදුල්ලේ. බදුල්ලේ කිව්වට බස් එකෙන් 8km විතර ගිහිල්ලා තවත් කිලෝමීටර් දෙකක් විතර පල්ලම් බහින්න ඕන දුෂ්කර ගමක. මනමාලි කැම්පස් ගිහිල්ලා ටීචර් කෙනෙක් වෙලා කොළඹ ඉස්කෝලෙක උගන්වනවා. මනමාලයා රත්මලානේ. හොද පවුලක හොද කොල්ලෙක්. දැන් මගුල තීන්දුයි.
මනමාලිගේ පුංචි අම්මා පදිංචිය ඉංගිරියේ. මනමාලි ටික කාලයක් කැම්පස් ගියෙත් පුංචි අම්මලා ගෙදර ඉදන්. ඒ කාලේ ඔය හොටෙල් වල මගුල් ගන්න කලාව තිබුනේ නෑ. දෙපාර්ශවයටම පහසු නිසා මනමාලිගේ අම්මයි තාත්තයි තීරණය කලා ඉංගිරියේ මගුල්ගේ ගන්න. පුංචි අම්මයි බාප්පයි ඒකට කැමති උනා මොකෝ තමන්ගේ දුව වගේනේ , අනික ඒ ගෙදර පෝරුමස්තකේ තියලා දෙන්න දුවෙකුත් නෑ , ඉන්නෙම කොල්ලෝ තුන් දෙනෙක්.
ඕන් ඉතින් මගුල් දවස එලබුනා කියමුකෝ. වැඩේ ජයට යනවා. දෙපාර්ශවයේම ඥාති පිරිස ආවා ඉංගිරියේ ගෙදරට. මනමාලි උඩරට තාලෙට ඇදලා, මනමාලයත් ඒ වගේම නිලමේ කිට් එක ගහලා ආ……. කියන්න බැරි උනා රත්මලානේ හිටියට එයාගේ මුල් ගම් පියස උඩරට. ඉතින් පෝරුවේ චාරිත්තරත් ඉවරයි.
මනමාලයගේ තාත්තා හොද උගත් පෙනුමක් තියෙන සමාජශීලි අයෙක්. ඕන කෙනෙක්ගේ හිත දිනාගන්න එයාට වැඩි වෙලා යන්නේ නෑ. ඔන්න ඉතින් මනමාලිගේ අම්මයි තාත්තයි , මනමාලයගේ අම්මයි තාත්තයි දෙපාර්ශවයේම ඥාතින් හදුන්වා දෙනවා.
“අයියේ මේ මගේ ලොකු මාමයි, පොඩි මාමයි.” ජාතික ඇදුම ඇදලා හිටි විශ්රාමික විදුහල්පතිවරයකු වන ලොකු මාමා හා යුරෝපීය අැදුම ඇද සිටි රජයේ පරිපාලන නිලධාරියකු වන පොඩි මාමා පෙන්වා මනමාලිගේ මව පැවසුවා. ” අදනේ ඉතින් අදුන ගත්තේ. අපි එක සමාන වයසේ උනාට එහෙනම් අද ඉදලා මගෙත් මාමලා නේ……” කියමින් හිනාවෙමින් ආචාර සමාචාර කලා.
මේ මගුල් ගේ තිබුනේ කුඹුරක් අයිනේ ලස්සන පරිසරයක. වසන්ත කාලයේ ගස්වල පලතුරු පිරිලා. අඹ, රබුටන් , ජම්බු , පේර , වැල වරකා ආදිය. කොල්ලෝ කුරුට්ටෝ දැන් ගස් උඩ. තරුණ කෙල්ලෝ බිම ඉදන් ආයාචනා කරනවා. අම්මලාගේ වදේ පොරේ ළමයි ගස්වලින් බස්සන්න. සමහරු කුස්සියට ගිහින් පිහි එහෙම ගෙනල්ලා වැල වරකත් අඹ කපාගෙන කනවා. දෙපාර්ශවය දැන් එකම පාර්ශ්වයක්. මොකද තමන්ගේම තැනක්නේ.
ඔය අතර පිරිමි ජේ්යෂ්ඨ පුරවැසියෝ , ඊට පහල කට්ටිය වෙන වෙනම සෙට් වෙලා අනුමත වෙන්නයි හදන්නේ. ඔය අතරට මනමාලයාගේ තාත්තා අඩුයි. ඒ මොකෝ එයා සුරාමේරය මජ්ජපමා වත් නැති නිසා. ඒක කිව්වේ එයාගෙම මල්ලි , මනමාලයාගේ බාප්පා. අර ලොකු මාමා නැගිටලා ගියා. ” පුතා, යමුකෝ අර පැත්තට” කියලා ආරාධනාව.
” අනේ , ලොකු මාමා මම ඕවා ජීවිතේට පාවිච්චියක් නැහැ. මම මෙහෙන් ඉන්නම් “
“නෑ .. නෑ… ඒකට නෙමෙයි. කෝ …. අද අදුන ගත්තට හරියට කතා කරන්නත් බැරි උනානේ. යමු පොඩ්ඩක් කතා කරන්න” කියලා එයාගේ අතින් අල්ලගෙන ගිහින් ලගින් වාඩි කර ගත්තා කියමුකෝ.
මෙන්න දැන් වැඩේ නැගලා යනවා. බෝතල් බයිට් හිස් වෙනවා. අලුත් ඒවා මේසෙට එනවා. හිනා හඩ දසත පැතිරෙනවා.
“අද ඉතින් ලොකු පුතාගේ වෙඩින් එක දවසේ සන්තෝසෙටත් එක්න අදට විතරක් පොඩ්ඩක් ගම්මු” හැම දෙනාම එක හඩින් යෝජනාව ස්ථිර උනේ හිස් වීදුරුවක් මනමාලයාගේ පියා ඉදිරිපිට මේසය මත තැබීමෙන්. අනේ ඉතින් කෝඩුකාර එතුමට එ්ක ප්රතික්ෂේප නොකර ඉන්නම බැරි තැනට ආවා.
එක දෙක උනා. දෙක තුන උනා …. තුන…..හතර….. පහ….. උනා. අන්තිමට වැඩි උනා.
දැන් දිවා භෝජනයට ආරාධනාව. කොහොම යන්නද කට්ටිය කෑමට , ජ්යෙෂ්ඨ පුරවැසියන්ගෙන් කෙනෙක් කරටි කඩාගෙන. ඒ අතරේ දාලා තිබුන සෙට් එකේ යනවා සිංදුව ජිප්සීස්ලගේ.
නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා…….
බොන්නට බැරිනම් මොකකට බිව්වද මන්දා…….
මනමාලයාගේ අම්මත් “අදනේ ඔය ජීවිතේටම බිව්වේ. පුරුදු නෑනේ ඕවා” කියලා විස්සෝප වෙනවා. ඒ අතරේ සිංදුවේම තියනවා ප්රතිකාරය. දෙහි…. ” අපි දෙහි ටිකක් මිරිකලා දෙමු” එහෙම කියලා මනමාලිගේ අම්මගේ ලොකු මල්ලි කුස්සිය පැත්තට දිවිවා.
කට්ටිය දිවා භෝජනයත් අරගෙන අහවරයි. ඒත් පියාණන්ට තාමත් එහෙමමයි. මොනවා කරන්නද ජෝඩුව පිටත් වෙන වෙලාවත් ලං ලංව එනවා. මංගල සභාවත් ඊට කලින් තියන්න එපැයි.
“පේර කොල කොටලා දෙමු . එතකොට ඉක්මනට අඩු වෙනවා”. කාගෙදෝ කීමකට කුස්සියට ගිහින් පේර කොල වංගෙඩියේ දා කොටා කෝප්පයකට ඉස්ම ගෙන පෙව්වා. ඒක බිව්වට පස්සේ දැන් මෙයාගෙන් එන්නේ වෙනමම හැසිරීමක්. ඇඔරෙනවා , කිබුහුන් අරිනවා එක විකාරයයි. අන්තිමට වමනෙත් ගිහිල්ලයි නතර උනේ. මගුල් ගෙදර ඉවර උනාම තමයි දැනගත්තේ පේර කොල කොටන්න කලින් වංගෙඩියේ ගම්මිරිස් කොටලා කියලා.
දැන් කාලය ගෙවිලා යනවා. මංගල සභාව පටන් ගත්තා. සභාව මෙහෙය වූයේ ගෙහිමියා වූ මනමාලියගේ බාප්පා. එයා ඉතින් කට්ටියම පිලි අරන් හොද කතාවක් කරලා මනමාලයාගේ පාර්ශවයන්ට ආරාධනා කලා කථාවකට. එහිදී කතා කලේ මනමාලයාගේ බාප්පා. එයත් නව යුවලට දැන මුතු කම් දීලා කරපු ආචාර සමාචාර සංග්රහ වලට ස්තුති කරලා තම සහෝදරයාගේ මංගල මධුපානය නිසා යම් අපහසුතාවයක් වූවා නම් සමාවත් ඉල්ලුවා.
ඊලගට පැමිණියේ මනමාලියගේ පාර්ශ්වයේ ස්තුති කතාව. ඒකට ආරාධනා ලැබුවේ විශ්රාමලත් විදුහල්පති ….. ඔව්… ඔව්… මනමාලිගේ අම්මගේ ලොකු මාමට. එයත් හොද ගානට අනුමත වෙලා හිටියේ, හැබැයි කෙලින් ඈ……
එයා ඉතින් ඔවදන් උපදෙස් සමග බරසාර කතාවක් කලා කියමුකෝ. කතාව අවසානයේ හැමෝටම ස්තුති කරලා මෙහෙම දෙයකුත් කියපි.
” මම මේ ටික නොකියම බෑ ….. වෙන කවුරුවත් නෙමේ මනමාල මහත්තයාගේ පියා ගැන. එතුමව අද තමයි ඉස් ඉස්සෙල්ලාම අපි හදුන ගත්තේ. ඒක පැය කීපයයි. කෙනෙක් කොහොම කෙනෙක්ද කියලා දැනගන්න…… මහා කාලයක් ඕනේ නෑ ඇසුරු කරන්න. ඇත්තෙන්ම කියනවනම් දැන් අපි දන්නවා එතුමා මොන වගේ පුද්ගලයෙක්ද කියලා”
කාගෙත් ඇස් යොමු වුනේ මනමාල මහතාගේ පියා දෙසට. හාන්සි පුටුවේ වාඩි කර ඇති ඔහු සිටියේ හිස පහතට කඩා වැටී තද නින්දකය. කොටින්ම කිව්වොත් රියල් බේබද්දෙක් විලසිනි.
” තව එකක් කියන්න ඕනේ. දෙමව්පියන්ගේ ගති ගුණ ඒ අයුරින්ම දරුවන්ට පිහිටනවා. ආයේ ඒකේ දෙකක් නැහැ. මම හිතනවා මනමාල මහත්තයාත් තම පියා වගේමයි කියලා” කියා කතාව අවසන් කලා.
කාගෙත් මුහුණුවල දිස්වූයේ ප්රශ්නාර්තයකි.
මට කියන්න ඒ ඇයි කියලා…….
උපුටා ගැනීම: Lalana Lalith Wijekoon