මගේ කලින් කතාවක මම කිව්වානෙ අපි අතේ තියෙන සල්ලි එකතු කරලා ඉඩමක් මිලදීි ගෙන බැංකුවට ඔප්පුව පරිස්සමින් තියාගන්න කියලා සල්ලි ටිකක් ඉල්ලා ගෙන පුංචි ගෙයක් හදාගත්තා කියලා .
ඉතින් දෙන්නම රාජ්ය සේවකයෝ වෙච්චි අපිට ඒ් කාලේ ලැබුනෙ හරිම පුංචි වැටුපක් . බැංකුව අපිට සල්ලි දුන්නාට මොකද හැම මාසේම එක වැටුපක් එයාලට දෙන්න ඕනෙ .
අනිත් වැටුපෙන් කෑම බීම වියදම් දරුවාගෙ වියදම් සේවිකාවගෙ වැටුප් ගෙවීම් , සේවා ස්ථාන වල මගුල් ගෙවල් , මල ගෙවල් මෙකි නොකි අනෙකුත් හැම වියදමක් දරන්න සිදුවුනේ.
ඔය අතරතුර අපි එනවා රජයේ විවාහක නිවාස වලට දැන් පුතා ටිකක් ලොකුයි. ළදරු පාසල් යනවා . විවාහක නිවාස වල විවිධ වයස් කාණ්ඩ වල දරුවන් එකතු වෙලා සෙල්ලම් කරනවා. එයාලා හරිම සතුටින් විනෝදයෙන් ගත කරනවා . දරුවන් හැමදාම වගේ හවසට බයිසිකල් පදිනවා . මගේ දරුවට බයිසිකලයක් නෑ. මගේ පුතා කලේ බයිසිකල් පදින දරුවන්ගේ පිටුපසින් දුවපු එක. පුතා අපෙන් එයාටත් බයිසිකලයක් ඉල්ලුවා එ්ත් බයිසිකලයක් අරන් දෙන්න තරම් අමතර වියදමක් දරන්න අපිට පුලුවන් කමක් තිබුණේ නැහැ .
දිගින් දිගටම පුතා මේ බයිසිකල් පස්සේ දුවන එක ගැන හිතේ දුක නොතිබුණාම නෙමෙයි . ඒත් අනවශ්ය විදිහට ණය වෙන්න හෝ කාගෙන්වත් ආධාර ඉල්ලන්න පුරුද්දක් එදා ඉදන්ම මගෙ ලග තිබුණේ නැහැ . අවශ්යතා අවම කරගෙන අපි ජීවත් වුනේ . ( එහෙම නොවුනා නම් අද මේ තත්වෙන් ඉන්න බැරි වෙනවා )
අනේ දවසක් පුතා බැරි බැරි ගානේ දන්නා අකුරු එකතු කරලා තාත්තා ට ලියුමක් ලියලා ” තාත්තා මට බයිසිකලයක් අරන් දෙන්න ” කියලා . ඒකෙ ඉතින් ඉස්පිලි පාපිලි නැහැ .
ඒක දුන්නෙත් හරිම දුක හිතෙන විදිහට තවත් කොහොම මග හරින්නද ?
මා සතුව තිබූ එකම වළල්ල පරිස්සමට බැංකුවට දීලා . බම්බලපිටිය “ලුමාලා ” එකෙන් රුපියල් 3500/= ක් දීලා බයිසිකලයක් අරන් දුන්නා .
දැන් ඔයාලා හිතුවෙ බයිසිකල් පස්සේ දුවන එක නවතියි කියලාද ? නැහැ මගේ පුතා වටයක් පදිනවා බයිසිකලයක් නැති යාලුවෙකුට දීලා එයා පස්සෙන් දුවනවා . අද පොඩි දරුවෝ බයිසිකල් පදිනවා දැකලා මට ඒ අතීතය මතක් වුනා .
උපුටා ගැනීම: Sugandika Ranakawa