මේක ටිකක් වෙනස් කතාවක්. අපේ තාත්තගේ අත්දැකීමක්. අපේ තාත්තා වෙන්නප්පුව කියන නගරයේ රැකියාවක් කරලා තිබුණා. 1992 දි තමයි පත්වීම ලැබිලා තියෙන්නෙ. වෙන්නප්පුවේ විදුලි අධිකාරී වරයා විශ්‍රාම ලැබූ පුරප්පාඩුව පුරවන්න තමයි අපේ තාත්තා එහෙ ගියේ. එහේදි නවතින්න ගෙයක් හොයාගන්න බැරිව දවස් දෙක තුනක් යාලුවෙකුගේ ගෙදර නැවතිලා ඉඳලා තියෙනවා. ඉතින් එහේ ගිය පලවෙනි දවසේ හවස පොඩ්ඩක් සප්පායම් වෙලා දෙන්නා කතා කර කර ඉන්න අතර තුර ගේ ඇතුලේ ඉඳන් කලු පාට බලල් තඩියෙක් ඇවිත් තාත්තා ගාවින් වාඩි වුනාලු. තාත්තා බලලුන්ට ආස නෑ. අනික කලු එවුන්ට කොහොමත් ආස නෑ. යාලුවා මේ බව දැකල මෙහෙම කීවලු.. “විමල් මේ අපේ පූසා. මමත් පූසන්ට කැමති නෑ. ඒත් මේ පූසා මට ගෙදර අරන් එන්නම වුනා. ඒකයි” තාත්තාට ඒ ගැන තවත් දැනගන්න ඕනි වුනාලු. “මේකයි විමල්, මේ ලඟ පාත ගෙදරක මේ පූසා හිටියේ. මම දවසක් හැන්දෑවෙ ඒ ගෙදර ලඟින් යනකොට ඒ ගෙදර මිනිහා තඩි පොල්ලක් අරන් මේ සතාට ගහලා මරන්න හදනවා දැක්කා. මම ටක් ගාලා පැනලා පූසව අල්ලා ගත්තා. මිනිහා කියාපි.. ‘මහත්තයා ඔය සතාව මෙතනින් තියන්න. එක පාරින් කම්මුතු කරන්න පුලුවන්’ මට පුදුමාකාර කේන්තියක් ආවේ විමල්.. මම කීවා.. ‘තමුසෙට පිස්සුද මේ අසරණ සතෙකුට මෙහෙම කරන්නෙ?’ මේ මිනිහ පොල්ල විසි කරලා මං ලඟට ආව. පූසා මගේ අතේ. ‘හොඳයි මහත්තයෝ. නමුත් මේ බලලා ආයෙම මේ පැත්තෙ ඇවිත් ඉන්නව අහු වුනොත් චප්ප කරලා දානවා. ඔය බලලා මහ අපලයක්’ ඉතින් විමල් මම මූව අපේ ගෙදර ගෙනාවා” ඉතින් ඊට පස්සේ තාත්තා ඒ ගැන තවත් අහලා නෑ. සතාව අර දුශ්ඨයගෙන් බේරගත්තු එක ගැන යාලුවාට ප්‍රසංසා කරලා වෙන කතාවක් පටන් ගත්තලු. ටික දවසකින් ගෙයක් ලැබුන නිසා යාලුවාගේ ගෙදරින් යන්න වුනාලු. මාස දෙකකට වගේ පස්සේ යාලුවා බලන්න තාත්තා ගියාලු නැටුම් තෙල් බෝතලයකුයි බැදපු කෑම ටිකකුයි එක්ක. යාලුවා දැකපු තාත්තට බය හිතුනලු. මූන කලු වෙලා. හොඳටම කෙට්ටු වෙලා ඇවිද්දෙත් අමාරුවෙන්ලු. තාත්තා ඇහුවලු මොකද මේ කියලා.. යාලුවා කතාව පටන් ගත්තලු. ‘විමල්, මට දැන් මාසයක් විතර වෙනවා නින්ද යන්නේ නෑ. පුදුම හීන පේනවා. හැමදාම පේන්නෙ මාව මැරෙන හීන. මම බෙහෙත් ගන්න ගියා. කිසිම ලෙඩක් නැතිලු. විවේක ගන්න කීවා. මට හැම තිස්සේම පුදුම බයක් දැනෙනවා. පුදුම දේවල් වෙනවා.” යාලුවාගේ කතාවට තාත්තට හොඳටම දුක හිතුනාලු. මේ මනුස්සයට ඉහෙන් බහින ලෙඩක් නැතුව මේ මොකද වුනේ කියලා. තාත්තා හිතුවලු තව ටිකක් මේ ගැන අහන්න. “විමල්. මේ ගෙදර මම ඇරුනුකොට තව කවුරුහරි ඉන්නවා. මට ඒක දැනෙනවා. මම පුටුවක ඉඳගත්තම මට තේරෙනවා කවුරුහරි මගේ පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා කියලා. සමහර වෙලාවට මම දොරවල් වහලා යතුරු දැම්මට පස්සේ ආයෙ බලනකොට ඒ දොරවල් ඇරලා. පෙරේදා තමයි ඔක්කොටම හපන් වැඩේ වුනේ.” තාත්තා මේ වෙනකොටත් ගොඩක් කලබල වෙලා ඉඳලා තියෙන්නෙ. මේ මනුස්සයට මානසික ලෙඩක්වත් හැදිලද කියලා සැක හිතුනලු. පෙරේදා මොකද වුනේ කියලා දැනගන්න තාත්තට ලොකු කුතුහලයක් ආව නිසා ඒ ගැන ඇහුවලු. “එදා මුලු දවසම වැස්ස. මම හවස හයට විතර ජනේලයෙන් එලිය බල් හිටියා. කිටියාත් මගේ ලඟමයි. (කිටියා කීවෙ අර පූසට). කලබල නතුව හිටි කිටියා එක පාර කලබල වෙලා ගෙට දිව්වා. මම ඌ ගිය දිහා බලා ඉඳලා ගේට්ටුව දිහා බලනකොට එතන කවුද ඉන්නවා. ගේට්ටුවේ එල්ලිලා වවුලෙක් වගෙ. මට හෙල්ලෙන්නවත් බැරි වුනා. ඒ විදිහේ ඉඳිල්ලක් මනුස්සයෙකුට ඉන්න බැහැ. ඒත් මේ හිටපු එකා මනුස්සයෙක්. අඩු තරමේ මනුස්ස රූපයක් තිබුනේ. වැස්ස හරිම තද කලා පුදුම කලුවරක් තිබුනේ. මම අමාරුවෙන් හිත එකඟ කරගෙන වැස්සෙම ගේට්ටුව ලඟට එන්න ආවා. මම එනකොට ඌ නැහැ. මම ගෙට එනකොට කිටියා ආපහු ආව.” අපේ තාත්තා යාලුවට ගොඩක් උපදෙස් දීලා අඳුනන දොස්තර මහත්මයෙක් ඉන්න තැනකුත් කියල එදා එන්න හැරුනාලු. තව සති දෙකකින් විතර ආපහු යාලුවා බලන්න ගියාලු. තාත්තට පුදුම හිතුනාලු යාලුවා දැක්කම. යාලුවා ඉතාම හොඳ සනීපෙන් හීයාලු. තාත්තට ගොඩක් සතුටු හිතුනාලු. තාත්තා ඇහුවාලු අසනීපය හොඳ වුනේ කවදද, අර කියාපු දොස්තර ලඟට ගියාද කියල වගේ විස්තර ඇහුවලු. යාලුවා කීවලු දොස්තර ලඟට ගියේ නැත, නිකන්ම හොඳ වුනා කියල. තව මෙහෙමත් කීවලු.. ‘ඔක්කොමත් හරි විමල්, ඒත් මේ කිටියා ආගිය අතක් නෑනේ. දැන් සතියක වෙලේ ඉඳන්.” තාත්තට නිකමට හිතුනලු ලෙඩේ හොඳ වුනු දවසයි පූසා නැති වුනු දවසයි එකම දවසෙද කියලා දැනගන්න. වටෙන් ගොඩෙන් අහලා දැනගත්තු විදිහට යාලුවාට සනීප වෙලා තියෙන්නෙ පූසා නැති වුනාට පස්සේ. ඒ බව යාලුවාට නොකියා යාලුවාගෙන් පූසාගෙ කලින් අයිතිකාරයා ගැන ඇහුවාලු. මේ කියන ගෙදර යාලුවාගේ ගෙදරට ටිකක් ලඟයි. උලු මෝලක් එහෙම තියන මුදලාලි කෙනෙක් තමයි අයිති කාරයා. පස්සේ දවසක මේ මනුස්සයා ලයිට් කනුවක් සම්බන්දයෙන් පැමිනිල්ලක් කරන්න තාත්තාව හම්බ වෙන්න ඇවිත්. පස්සේ ගජ යාලුවෝ වෙලා. දවසක් පොඩි පානයක් එහෙම දාපු වෙලාවක තාත්තා අර සිද්දිය මෙයාගෙන් අහලා තියෙනවා. මෙයා මහ පුදුමාකාර කතාවක් කීවලු තාත්තට.. “විමල් මහත්තයා, ඔය පූසා අපේ ගෙදරට ආවෙත් ඔය විදිහටමයි. දවසක් මිනිහෙක් මූව කූඩුවක දාලා වතුරේ ගිල්ලලා මරන්න යද්දි මම බේර ගත්තා. මූව ගෙදර ගෙනා දවසේ ඉඳන් ගෙදර අමුත්තක් තිබුනා. ඒ දේවල් ඔක්කොම මම කියන්න කැමති නෑ. කොහොමින් හරි අන්තිමේ වෙන දේවල් ඉවසගන්න බැරිව තමයි මම මේ සතාව මරන්න හැදුවේ. එතකොට තමයි මහත්තයාගේ යාලුවා මේකව අරන් ගියේ. මහත්තයෝ මම කොහොමද ඇස් පනාපිට මිනිහෙක් තමන්ගේ මරන සහතිකේ ලියාගන්නවා බලන් ඉන්නේ? මම අන්තිමේ පූසව අල්ලාගත්තා. උට කරපු දේ අහන්න එපා. හරි නම් අර ඔබ තුමාගේ යාලුවා මට මල් තියලා වඳින්න ඕනි කරපු උදව්ව්වට. ඔය බලලා ඇත්ත සතෙක් නෙවෙයි. ඌ අවතාරයක්.” අපේ තාත්තා කියන්නේ ඒ කතාව ඇත්ත කියල. මම නම් දන්නේ නෑ. දැනගන්න ඕනිත් නෑ. ඔය අවතාර කතා මට දිරවන්නෑ. බයකට නෙවෙයි😂.