‘ගෙදර වැඩ….මගේ තාත්තා…..’අලුත් ටීචර් ලොකු අකුරින් කලු ලෑල්ලේ ලිව්වා.
“අද බුද්ධාගමට ඉගැන්නුවේ තාත්තාට වඳින ගාථාව…..අපි තාත්තලා ගැන ගොඩක් කතා කලා. ඉතින් ගෙදර වැඩට තාත්තා ගැන රචනාවක් ලියන්න ඕනෙ. පිටුවක් පිරෙන්න ලියන්න ඕනෙ.” අලුත් ටීචර් විස්තර කලා.
“සිරිමල්ට ගේන්න වෙන්නෙ හිස් පිටුව තමා.” ජයලතා විනීතාට කසු කුසුවෙන් කියන හැටි සිරිමල්ට ඇහුනා.
“අප්පා නැති එකා!” ජයසුමනත් පිටිපස්සේ ඉඳන් ඒකට ඔලොගු තිබ්බා.
“අවජාතක!” සුමනසීලිත් ‘චිකිස්’ ගාලා හිනා වෙන ගමන් කතාවට එකතු වුණා.
“මං මොනවද ලියන්නේ? මට තාත්තා නෑ!” සිරිමල්ට පුටුවෙන් නැගිටලා කියන්න හිතුණා.
‘ආයෙ මොකටද?’ සිරිමල් හිතුවා.
‘මම මේ වෙලාවෙ ඕක කීවොත් පන්තියේ ළමයි අලුත් ටීචර්ට දාහක් දේ කියාවි. අලුත් ටීචර්ට මාවත් එපාවේවි!’
ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්කොටත් සිරිමල්ට මග දිගට මතක් වුනේ රචනාව ගැන.
‘අලුත් ටීචර් මට තාත්තා නෑ කියලා දන්නෙ නෑ නොවැ. හෙට උදේම ඉස්කෝලෙට ගිහින් මේ ගැන ටීචර්ට කියනවා.’ සිරිමල් හිත හදා ගත්තා.
සිරිමල් ගෙදර යනකොට අම්මත් වත්තෙ වැඩ ඉවර කරලා ගෙදර ඇවිත්. සිරිමල් කුස්සියට ගිහින් හිරමං කොටේ උඩ ඈඳි ගත්තා.
“ඉඳා කාහං!”නිල්පාට බෙලෙක් පිඟානට බත් එක බෙදපු අම්මා බත් පිඟාන සිරිමල්ගේ අතට දුන්නා.
බත් එක දැක්කා විතරයි සිරිමල්ගේ මූණට ලොකු හිනාවක් මෝදු වුනා.
“අම්මා බොම් බිලි හදලා.”සිරිමල්ගේ හිනාව දැකලා අම්මාටත් හිනා.
බත් එකට බොම් බිලි කරවල කෑල්ලක් තෙල්දාලා තියනවා නම් සිරිමල්ට ඊට වඩා දෙයක් නෑ. ඒත් අම්මා වැඩිය කැමති නෑ බොම් බිලි තෙල්දාන්න.
“ඕක තෙල් දානකොට මුලු ගමටම ගන් දස්සාරයි….” අම්මා කියන්නේ එහෙමයි.
“හැබෑට උඹ කැමති වෙන කෑමක් ඇත්තෙම නැද්ද?” එහෙම කීවට අම්මා පොලට ගියොත් බොම් බිලි ගන්නවාමයි.
අම්මත් නොකන නිසා ඒ ටික සිරිමල්ට දවස් කීපෙකට ඇති.
අම්මා උණු අලු පල්ලෙ දාලා හදන බොම් බිලි බැදුමත් නරක නෑ. අම්මාත් කැමති ඒ විදිහට හදන්න. එතකොට ගඳ අඩුලු. ඒත් සිරිමල් කැමති බොම් බිලි තෙල්දාලා කන්න. ආස විදිහට එපායැ හදලා දෙන්න. ඉතින් අම්මත් සිරිමල්ට බොම් බිලි තෙල්දාලා දෙනවා.
“උඹට ඕනෙනං ගනිං. තව තියනවා හට්ටියේ!”
සිරිමල්ට මතක ඇති කාලෙක ඉඳන් මේ පැල්කොටේ හිටියෙ සිරිමලුයි අම්මයි විතරයි.අම්මා සිරිමලුත් අරන් මේ ගමට ඇවිත් තියෙන්නෙ සිරිමල් ඇච්චා කාලෙදිලු.
සිරිමල් දන්න හැටියට නම් සිරිමල්ලාට නෑදෑ වෙන කෙනෙක් අහල් ගම් හතක්වත් නෑ.මුලින් කීවා වගේ මතක ඇති කාලෙක ඉඳලා සිරිමල්ට හිටියේ අම්මා විතරමයි.
සිරිමල්ලා ඉන්න පුංචි ගේ කෑල්ල අම්මාට අයිති එකක් නෙමේ. කාලයක් තිස්සේ වහලා දාලා තිබුණ මේ ගේ කෑල්ලට අම්මා මාසෙකට ගානක් ගෙවනවාලු. ඒත් අයිතිකාරයාට පින්සිද්ද වෙන්න අව් රුදු හයක් වෙනවා තාම සතයක්වත් වැඩි කරලා නෑ.
ගෙවල් කුලී ගෙවන ගමන් ගෙවල් අයිතිකාර මොරවක හාමිනේට අම්මා හැමදාම පින් දෙනවා.
“වහල තියන ගෙදරනේ බං. පාලුවට යනවට වඩා කවුරු හරි පදිංචි වෙලා ඉන්න එක කොච්චර දෙයක්ද?”මොරවක හාමිනේ හැමදාම එහෙම කියනවා.
අම්මාට මොරවක හාමිනේ මුණ ගැහිලා තියෙන්නේ සිරිමල්වත් උකුලේ ගහගෙන වැඩක් හොය හොයා ගම පුරා ඇවිදිද්දි.
මොරවක හාමිනේලාගේ පං කොටුවේ වැඩත් ලැබිලා, ඉන්න තැනක් නෑ කීවාම බොහෝම අඩු කුලියකට ගේත් ලැබිලා!
ඇත්තම කීවොත් නිකං හිටපල්ලා කීවට අම්මා ඒකට කැමති වෙලා නෑ.
සිරිමල්ගේ අම්මා බොහෝම දහිරවන්ත මනුස්සයා. සිරිමල්ව එක වේලක් බඩගින්නේ තියලා නෑ. ඇඳුම් පැලඳුම් ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමා.
සිරිමල්ට මතක ඇති කාලෙ ඉඳන් සතියේ දවස් හතේම අම්මා වැඩට යනවා. කවුද වැඩට කතා කරන්නෙ කංකෙදිරි නොගා වැඩට යනවා.
පොල් අහුලන්න, පං කපන්න, උයන්න, ගෙවල් සුද්ද පවිත්තර කරන්න, කිරි කපන්න…….කොට අදින්න එන්න කීවා නං ඒත් යයි.
සමහරු කඩප්පුලි කතා කීවා තමයි. ඒත් අම්මා නෙමේ තුට්ටුවකටවත් ඒ කතා මායිං කොලේ.
සමහරු සිරිමල්ගේ තාත්තා ගැනත් එක එක කතා කීවා. ඒත් තාත්තා කවුද කියලා දැනගන්න සිරිමල්ට මහා ලොකු උවමනාවක් තිබුණෙත් නෑ.
එක අතකට නෑම කියන්නත් බෑ. ඒක දැනගන්න ඕන කියලා හිතුන දවසුත් තිබුණා.
දවසක් අම්මත් එක්ක නාන්න ලිඳට ගිය වෙලාවක වතුර පනිට්ටුව ලිඳට වැටිලා ඒක ගන්න ගිහින් සිරිමලුත් ලිඳට පතබෑ වෙච්චි!
අම්මාත් මර හඬ දීගෙන ලිඳට පැන්නා. අම්මාගේ ලතෝනිය ඇහිලා මිනිස්සු දුවගෙන එනකොට අම්මා සිරිමල්ව බේරගෙන ඉවරයි.
“අනෙ අප්පේ තාත්තත් නැති අහිංසකයා!” කවුදෝ ඒ වෙලාවේ කියනවා සිරිමල්ට ඇහුනා.
තාත්තා කවුද කියලා අම්මගෙන් අහන්න ඕනෙ කියලා සිරිමල්ට හිතුනත් ඒක එහෙමම අමතක වෙලා ගියා.
ඉස්කෝලෙ යන්න පටන් ගත්තට පස්සෙ නං කොල්ලො කෙල්ලො සිරිමල්ට තාත්තෙක් නැති එක ගැන් කට කැඩිච්ච කතා ඕනෑ තරම් කිව්වා.
අප්පා නැති එකා කිව්වා.
අවජාතකයා කිව්වා.
අම්මා වේස කමේ ගිහින් හදා ගත්ත එකා කියලත් කිව්වා.
හිතට දුකක් දැනුණත් සිරිමල් මේ කතා මහා ලොකුවට ගනන් ගත්තෙත් නෑ.
සිරිමල්ට ‘අප්පා නැති එකා’ කියලා හැම තිස්සෙම ඔලොක්කුවට කතා කරන ජයසුමනගේ තාත්තා හැමදාම ගෙදර එන්නේ හතර ගාතෙන්. ඒ ඇවිල්ලත් ගමටම ඇහෙන්න කුණු හරුප කිය කියා කෑ ගහනවා. ජයසුමනගේ අම්මා ජයසුමනලාට කන්න දෙන්න ගමටම ණය වෙනවා. දවසක් සිරිමල්ගේ අම්මාගෙනුත් කීයක්දෝ ඉල්ලා ගත්තා.
‘අම්මා වේස කමේ ගිහින් හදා ගත්ත එකා’ කියල සිරිමල්ට කියන සිරිල්ගෙ තාත්තා හිරෙන් නිදහස් වෙලා ආවෙ මේ ලඟදි. ඒ ආව කියලත් වගතුවක් නෑ. බීඩි බිබී ගම පුරා ඇවිදිනවා. සිරිල් අඳින්නෙ ඇඳුම් නෙමෙයි කඩමාලු.
සිරිමල්ට හිනාවෙන ජයලතා අඳින ඇඳුම ලිපට දැම්මත් පිච්චෙන එකක් නෑ. ජයලතාටත් තාත්තෙක් ඉන්නවා. කම්මැලි කමට ඔහේ ගෙදරට වෙලා ඉන්නවා. ළමයි අපා දුක් විඳිනවා.
එහෙව් තාත්තලා මොටද මං අහන්නේ? සිරිමල්ට හිතෙන්නේ එහෙමයි.
සිරිමල්ට ඉස්කෝලෙට අඳින්න ඇඳුම් දෙකක් තියනවා. ගෙදරට අඳින්න ඇඳුම් දෙකක් තියනවා. අම්මා ඒවා වෙලාවට හෝදලා, පොල්කටු ඉස්ත්රික්කෙන් මැදලත් දෙන හින් දා සිරිමල් ඉස්කෝලෙ යන්නෙ කිරි කොකා වගේ. කාලයක් තිස්සේ ඉස්කෝලෙට දැම්මේ රබර් සෙරෙප්පු වුණාට අම්මා කිරි කපලා ලැබුණු සල්ලි වලින් අලුත් සපත්තු දෙකකුත් අරන් දුන්නා.
පොත් බෑග් එක අරන් දුන්නේ නම් නියදගල නෝනා. අම්මා නියදගල වලව්වේ වැඩට යනකොට ගෙදර හිටියොත් සිරිමලුත් යනවා. එහෙ සුදුපාට බූල් බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා එක්ක සෙල්ලං කරන්න සිරිමල් කැමතියි. ඔන්න ඔහොම ගිය වෙලාවක තමයි නියදගල නෝනා පොත් බෑග් එක දුන්නේ.
“අනේ පේමෝ තාත්තෙක් නොහිටියට උඹ මේ කොල්ලව හොඳට චාලිත්තරේට හදලා තියනවා.” බෑග් එක අතට දෙන ගමන් නෝනා සිරිමල්ගේ ඔලුව අතගාලා කියුවා.
“අනේ නෝනා මට පුලුවන් උපරිමෙන් මම ඔය කොල්ලාව හදා ගන්නවා” අම්මාත් කීවා.
මොන හේතුවකටද මන් දා සිරිමල්ට එදා අම්මාගෙන් තාත්තා ගැන අහන්න හිතුණා.
හැමෝගෙම කටේ තියෙන්නේ තාත්තා!
තාත්තා….. තාත්තා….තාත්තා….
“කෝ අම්මේ මගේ තාත්තා?” එදා නියදගල වලව්වේ ඉඳන් එන අතර මගදී සිරිමල් අම්මාගෙන් ඇහුවා. අම්මා ටික වෙලාවක් ඇස් ලොකු කරගෙන සිරිමල් දිහා බලන් හිටියා.ඊලඟට හීන්සිරුවේ මෙහෙම කීවා.
“උඹේ අම්මත් මම! උඹේ තාත්තත් මම!”
එකපාරටම හීං හිනාවක් සිරිමල්ගේ මූණට මෝදුවුණා.සිරිමල් හිස් පිඟාන මේසෙ උඩ තියලා කළේ වහලා තිබුණු පොල් කට්ටටම වතුර එකක් නවාගෙන බීගන බීගන ගියා.
“කොහෙද බන් ඔය ආස බූත කඩාගෙන දුවන්නෙ?”අම්මා බෙරිහන් දුන්නා.
සිරිමල් පොත්බෑගයෙන් ගෙදර වැඩ පොත එලියට ගත්තා.
“මගේ තාත්තා…” පිටුවේ උඩින් මාතෘකාව ලිව්වා.
” මගේ තාත්තාද මගේ අම්මාය.”ඒ පළවෙනි වාක්යය.
‘දැන් ඉතින් පිටුවක් නෙමේ පිටු දෙකක් වුණත් පුරවන්න බැරියැ.’ සිරිමල්ට හිතුණා.
උපුටා ගැනීම: Sripali Kotuwella