පොඩි අයියාගේත් මගේත් ළමා කාලය ඉතා සුන්දරය.අපේ සෙල්ලම් වෙනත් පොඩිඋන්ගේ සෙල්ලම් මෙන් නොව හැට පැහිච්ච නාඩගම් වැඩ බව අම්මාත් ලොකු අම්මාත් නිතර පවසන කරුණකි.
පොඩි අයියාගේ අක්කා විවාහ කර ගැනීම සදහා මනාලයෙක් පැමිණෙන විට අප දෙදෙනා 2 සහ 3 ශ්රේණි වල ඉගෙන ගනිමින් සිටියෙමු.
එකල අද මෙන් නොව විවාහ උත්සව පවත්වන්නේ නිවසේමය.ඒ සදහා මාස ගනනක සිට පෙර සූදානම සිදුවේ.
මමත් පොඩි අයියාත් මේ මගුලට පුදුමකාර වෙහෙස මහන්සියක් ගත්තෙමු.ඊට හේතුව අක්කා නිවසින් යාම නිසා හිස්වන කාමරය පොඩි අයියාට ලබා ගත හැකි වීමයි.
යොදාගත් දිනයේදී අක්කා මනාලියක් ලෙස සූදානම් වු අතර මා මල්කුමරියක් ලෙසද පොඩි අයියා මල් කුමරෙක් ලෙසද හැඩ ගන්වනු ලැබීය.
කෙතරම් ප්රීතිමත් දිනයක් වුවත් අක්කා උදේ සිටම ඇඩූ කදුලෙන් පසු වූවාය.
ඒ අයියාට බත් උයන්නට වෙන නිසායැයි පොඩි අයියා මගේ කණට කෙදිරුවේය.අඩන්න වෙන වැඩේම තමයි.අක්කා මහම කම්මැලියා.
අක්කා විවාහපත් ව නිවසින් පිටවූ දා සිට අපේ එකම විනෝද ක්රීඩාව වූයේ මගුල් ගෙවල් දැමීමයි.ගෙදර ඉතුරු බිතුරු වන ආහර කෝප්ප ,පොල්කටු ආදියේ දමා එලියේ ඇටවූ පැලකට ගෙනගොස් රසවිදීම එහි අවසාන අදියරයි.
එම ක්රීඩාව ටික දිනකින් ඇල්මැරී යන්නට වූයේ එහි මගුල් ජෝඩුවක් නොසිටි බැවිනි.මේ පිලිබදව ගැඹුරින් සාකච්ඡා කර අවසානයේ පොඩි අයියා මට විවාහ යෝජනා කලේය.
එය හරසරින් බාරගත් මම පසුදින සෙල්ලම් ගෙදරට එනවිට අම්මාගෙන් ඉල්ලාගත් පරණ සාරියක්,මාල වලලු ආදිය ද බිස්කට් පැකට්ටුවක්ද රැගෙන ආමි.
මා එහි යනවිට අපේ සෙල්ලම් ගෙදර එකම මගුල් මඩුවකි.ඇන්තුරියම් මල් බදුන් කිහිපයක්,ක්රේප් සැරසිලි ආදියෙන් මනස්කාන්ත ලෙස එය සරසා තිබුනේ පොඩි අයියා විසිනි.
එම සෙල්ලම් ගෙදර තුලදී ඔහු මට සාරියක් ඇන්දවූයේය .ඉන්නකට ලණු ඔතන්නාක් මෙන් ඔහුට වඩා උසින් සිටි මට මහත් වෑයමකින් රෙදි පිලි ඇන්දවූ ඔහු වහා ගෙතුලට දුවගොස් ලොකු තාත්තාගේ සරමත් අත් දිග කමීසයකුත් හැදගෙන පැමිනියේය.
කුඩා මේසය මත තබා තිබුණු මල් පොකුර අතට ගත් මම ඔහුගේ අතින් අල්ලාගෙන සිනාසෙමින් සිටියෙමි.
ඔහොම හිනා වෙලා බෑ නංගි.ඔයා අද අඩන්න ඕන. පොඩි අයියා කීවේය.
අර මොකටද මං අඩන්නෙ.
මතක නැද්ද එදා අක්කා හරියට ඇඩුවෙ.
ඔයින් මෙයින් මමද හඩන්නට පටන් ගත්තෙමි.සිහින් ඉකිබිදුමකින් පටන් ගෙන මර ලතෝනි දී හැඩීමි.පොඩි අයියාගේ මුහුණ සාඩම්බර සිනාවකින් ඔපවැටී ඇත.මනමාලයගෙ ගැම්ම.
මොහොතකින් රහසෙ කෙරුණු මගුල එලිවිය.නිවසේ සියලු දෙනා මගේ විලාපය අසා සෙල්ලම් ගෙදරට එක් රැස් විය.ලැජ්ජාවට පත් මනාලිය මගුල් කෑම පසෙක ලා නිවසට දිව්වාය.
ඉන් වසර ගනනාවක් ගෙවී මගේ විවාහය උදාවිය.එදා මම දෙමාපියන් අත හැර යාමට නොහැකිව හඩද්දී මා අසලට පැමිණි පොඩි අයියා ඔහුගේ උණුසුම් සහෝදරත්වයේ දෑත මගේ දෑත් මත පටලා ,
නංගී එදා ඇඩුවට අද ඉදන් හිනාවෙලාම ඉන්න ඕන හොදද .තමන් කැමතිම කෙනා එක්ක ජීවත් වෙන්න යන දවස නෙ අද.
උපුටා ගැනීම: මධූ සේනානායක