“නකල්ස් හිල් රිසෝට් හිදී හමුවූ පිරිමි මළ සිරුර තවදුරටත් පොලිස් පරීක්ෂණ යටතට”
– පුවත් සිරස්තලයක් –
“මැඩම්, මේ ඩයරි එක ඩෙත් බොඩි එක තිබ්බ රූම් එකේ කොට්ටයක් යට තිබුණේ”
“ඕක එයාගේ අනිත් බඩු දැම්ම ලොකර් එකටම දාන්න කමල්. Investigation වලට ඕනි වෙයි.”
Postmortem එකෙන් හෙළිවුණේ ඖෂධ අධිමාත්රාවක් ලබා ගැනීම නිසා සිදුවූ මරණයක් බවත් මෙය සියදිවි හානි කරගැනීමක් බවත්ය.
කල්පික අනුශල්ය, රැකියාවෙන් බැංකු කළමණාකරුවෙක්. වයස අවුරුදු 35යි. ඒ වගේම එක්දරු පියෙක්. දරුවට වයස අවුරුදු 5යි. බිරිඳ නගරයේ ප්රසිද්ධ පාසලක ගුරුවරියක්. ඩෙත් බොඩි එක දිහා බැලූ බැල්මට පේනවා කඩවසම් තරුණයෙක් බවත්.
“මේ මනුස්සයට සියදිවි හානිකරගන්න තරම් තිබුණු ප්රශ්නේ මොකක්ද?”
පොලිස් පරීක්ෂක නික්ෂා ප්රනාන්දුට ඇතිවෙච්චි ගැටළුව ඒක. ඒ නිසාම තමයි ලොකර් එකේ තිබුණු ඩයරිය කියවන්න කියලා අතට ගත්තේ.
2020. 01. 05
අපේක්ෂා ඔයා කවද්ද තේරුම් ගන්නේ පිරිමි හිතේ තියන හැමදෙයක්ම කියන්නේ නෑ කියලා. තාමත් පොඩි ළමෙක් වගේ “ඔයා මට ආදරේ නෑ” කිය කිය අඬන්න එපා අපේක්ෂා. ඔයා දැන් අම්මා කෙනෙක්. මං ඉස්සර ඉඳන්ම ඔයාට කියනවා අහස තරම් පොළව තරම් ආදරේ ලස්සනට කිව්වේ නැති උනාට මම ඔයාට ආදරෙයි කියලා. ඔයාට බොළඳ වෙන්න එපා කියලා කියන්න මට බෑ. ඒත් ඔයා කවදද පරිණත වෙන්නේ?
2020.02.10
අම්මා, කවදාවත් අම්මගේ තැන අපේක්ෂාට ගන්න බෑ. ඒත් අපේක්ෂා මගේ හිතේ ඉන්න තැනයි අම්මා ඉන්න තැනයි වෙනස්. ඒ දෙන්නටම මම එක වගේම ආදරෙයි. ඒත්, අම්මා බිරිඳ කියලා කියන්නේ එකම අහසක තියන ඉරයි හඳයි වගේ. අහසට ඉරයි හඳයි දෙකම ඕනි. ඒත් කවදාවත් ඉර පායන වෙලාවට හඳ පායන්න බෑ. හඳ පායන වෙලාවට ඉර පායන්නත් බෑ. ඒත් එකම අහසේ ඉරයි හඳයි දෙකම තියනවා.
2020.02.22
ආදරේ වැඩි උනාම මිනිස්සුන්ට ජීවිතේ එපාවෙනවා කියලා කියන්නේ ඇත්තක්. ආදරේ ඇතුළේ තියන අයිතිකරගැනීම ප්රබල උනාම ඒ අතරමැද්දේ ඉන්න මනුස්සයා ගිරේට අහුවුණු පුවක්ගෙඩිය වගේ තැලෙනවා. මගේ ජීවිතෙත් හුණුවටයේ කතාව වගේ අම්මයි බිරිඳයි දෙන්නම දෙපැත්තට අඳිනවා. ඒත් මට ඒ දෙන්නම ඕනි. මේ මිනිස්සු දෙන්නා මට පුතෙක් සැමියෙක් කියන චරිත දෙක නිදහසේ රඟපාන්න දෙන්නේ නැති හැටි.
2020.03.15
අම්මයි අපේක්ෂයි අදත් රණ්ඩුවෙලා. අපේක්ෂා ගෙදර යන්න හදනවා. චූටි දුව බිම පෙරළි පෙරළි අඬනවා මං එනකොට. ජීවිත්වෙනවා කියන්නේ මෙච්චර අපායක් කියලා දන්නවා නම් මම කවදාවත් කසාදයක් බඳින්නේ නෑ. මම කාගේ පැත්ත කියලා ගන්නද? අම්මට බනින්නද අපේක්ෂාට බනින්නද. නිහඬව දරාගන්නවා කියලා තව කොච්චර දවසක් දරාගන්නද? පිරිමි හිත් ගල් කියලද මේ ගෑණු මිනිස්සු හිතන්නේ?
2020.04.25
අම්මව දාලා ඇනෙක්ස් එකකට යන්නේ කොහොමද මම. අපේක්ෂා කියන්නේ මේ ඔක්කොටම එකම විසඳුම වෙනම ගෙදරකට යමු කියලා. එයාට ඇයි ඉවසන්න බැරි. මේ හැමදේකින්ම අන්තිමට තැලෙන්නේ මම කියලා මේ කාටවත් තේරෙන්නේ නෑ. ආදරෙයි ආදරෙයි කිව්වට අනික් කෙනාගේ හිතට බරක් නොදී ඉන්න මෙයාලගේ ආදරේ මුලපොතේ කිසිම තැනක ලියලා නැද්ද කොහෙද?
2020.05.10
(හිස් පිටුවක කුරුටුබලියක්)
2020.06.20
ගෙදර එනගමන් අම්මා බලන්න ගියා. හුඟ දවසකින් යන්න බැරිවෙච්චි නිසා ටිකක්වෙලා ඉඳලා රෑටත් කාලම ආවා. ෆෝන් එකත් ඕෆ්වෙලා තිබුණේ. ගෙදර එද්දි චූටිදුවට නින්ද ගිහින්. අපේක්ෂා අඬ අඬ ඉන්නවා. සාලේ තිබ්බ මල් වාස් එකත් බිඳිලා. මම හොඳටම බයවුණා මොකක් හරි ප්රශ්නයක්ද කියලා.
මගේ ජීවිතේ සැනසීම කියන දේ ලබන්න තරම් මම පින් කරලා නෑ. ඇනෙක්ස් එකකට ආවම ඔක්කොම ප්රශ්න විසඳෙයි කියලා හිතුවා. ඒත් ප්රශ්න තාම එහෙම්මමයි. කසාදයක් බැන්දා කියලා මම පවුල අතාරින්න ඕනිද. හැම වැරැද්දකටම සොරි කියලා සමාව ගන්න තරම් මම කරපු වැරැද්දක් නෑ කියලා එයා කවදා තේරුම් ගනීද?
2020.08.27
සැකය. හැමදේම ඉවසන්න පුලුවන් ඒත් හේතුවක් නැතුව සැක කරන එක ඉවසන්න පුලුවන්ද. යාලුවෙක් එක්ක ඩ්රින්ක් එකක් දාන්න යන්න බෑ. කෝල් සීයක් ගන්නවා. එයාලට ශොපින් කරන්න යන්න යාලුවෝ එක්ක කයිය ගහන්න ඔක්කොම පුලුවන්. මොකටද මෙහෙම හිරවෙච්චි ජීවිතයක්. සතුට තියෙන්න නම් නිදහසක් තියෙන්න ඕනි. නිදහසක් නැති තැන කොහෙද සැනසීමක්. අම්මා බලන්න යන්න එන්න කිව්වම හැම සතියෙම එන්න බෑ කියලා එයා එන්නේ නෑ. ඒ ආවම “අම්මා බලන්න යනවා කියලා කොහේ යනවද දන්නේ නෑ” කිය කිය ඇනුම්පද කියනවා.
2020.09.02
අපේක්ෂා සැක කරන එකේ සීමාවක් නෑ දැන්. ආපහු අපේ ගෙදරට යමු කියලා මම කිව්වේ ඒකයි. සැක කර කර හැමදාම රණ්ඩුවෙද්දි අර පොඩි එකීගේ මනසටත් මේ දේවල් බලපානවනේ. සමහර ගෑණු නිදහසේ ඉන්න ඊළඟ ආත්මේ පිරිමි ආත්මයක් ප්රාර්ථනා කරනවා. ඒත් පිරිමි කියන්නේ වගකීම් බර වැඩි නිසා ඒ පීඩනේ බැලන්ස් කරගන්න නිදහසක් හොයන ජාතියක් කියලා ගෑණු උදවිය කවද්ද තේරුම් ගන්නේ.
2020.10. 15
අපේක්ෂා එයාලගේ අම්මගේ ගෙදර ගියා. දැන් සති දෙකක් වෙනවා. එක්කන් එන්න කියලා මම දවස් කිහිපයක්ම ගියා. අනේ මන්දා. ජීවිතේ අමාරුම කාලේද මේ ගෙවන්නේ කියලා හිතෙනවා. ඉස්සර අපි කොච්චර සතුටින් හිටියද? ආදරේ කරපු කාලේ තිබ්බ තේරුම්ගැනීම හොරු අරන් ගිහින් වගේ.
2020.10.29
අපේක්ෂා ඩිවෝස් පේපර්ස් එවලා.
I can’t go more
I want to die
I want to die
Please god
2020.11.09
ආදරේ හැමදාම පිරිලා ඉතිරිලා තියනවා නම් ජීවිතේ කොච්චර ලස්සනයිද? පොඩි පොඩි රන්ඩු සරුවල් තිබ්බට ජීවිතේ ජීවත්වෙන්න හේතුවක් තියනවා නම් ජීවත්වෙන්න ආසයි. ඒත් හේතුවක් නැත්නම් මොකටද ජීවිතයක්?
ඊටපස්සේ ඩයරියේ කිසිමදෙයක් ලියලා තිබ්බේ නෑ.ලස්සන චූටි කෙලි පොඩිත්තියෙක්ගේ ෆොටෝ එකක් ඩයරි එක අස්සේ තිබිලා බිමට වැටුණා.
“මේ කල්පිකගේ දුව වෙන්න ඇති”
නික්ෂා හිතුවා. කසාද බැන්දට පස්සේ ආදරේ පෑල දොරින් පලා යනවා කිව්වට ඒක මිනිස්සුන්ට මේ තරම් පීඩනයක් ගේනවා කියලා නික්ෂාට කවදාවත්ම හිතිලා තිබුණේ නෑ. ලස්සනට විසඳගන්න පුලුවන් පුංචි පුංචි ප්රශ්න මිනිස්සු මෙච්චර දුර දික් ගස්සන්නේ ඇයි කියලා නික්ෂා කල්පනා කළා. කෙනෙක් කොච්චර ලොකු තනතුරක හිටියත්, කොච්චර ඉගෙනගත්තත් දරාගන්න බැරි තරම් දුකක් ආවම මිනිස්සු මරණය තෝරගන්නවා.
නික්ෂාට මතක් උනා මේ වැඩ නිසා අද දවසටම ගෙදරට කෝල් එකක් ගත්තේ නෑ නේද කියලා.
“හෙට ඔයා මොනවත් වැඩක් එහෙම දාගන්න එපා. සෙනසුරාදනේ. අපි ඔයාලගේ මහගෙදර යමු”
නික්ෂා එයාගේ සැමියට කෝල් එකක් දීලා එහෙම කිව්වේ කසාදයක් බැන්දා කියලා පුතෙක්ව කවදාවත්ම අම්මා කෙනෙක්ගෙන් දුරස් කරන්න හීනෙකින්වත් ඉඩක්දෙන්න ඕනි නැති නිසා.
උපුටා ගැනීම:~ශෂිනි ලක්ෂිකා~